ගැබ්බර මිනිසා, සාරාංගා නැවෙන් ඇවිත්, දෙයියොත් දන්නෙ නෑ, කෑම ලෑස්තියි, 'පාදඩ අසපුව' ආදී නිර්මාණ වේදිකාව හරහා ගෙන ආ දක්ෂ පිටපත් රචකයෙකු මෙන්ම වේදිකා නාට්‍ය අධ්‍යක්ෂවරයෙකු ලෙස අජිත් මෙන්ඩිස් කලාකරුවා හැඳින්වීමට හැකිය.
අජිත් මෙන්ඩිස්ගේ නවතම නාට්‍ය නිර්මාණය වූ 'අලුත් හොරෙක් ඕනෑ' නාට්‍ය නිර්මාණය මේ වනවිට සියවැනි දර්ශන වාරය සම්පූර්ණ කිරීමට සූදානම් වන අතර, ඒ වෙනුවෙන් අනිද්දා (25දා) කොළඹ නවනගර ශාලාවේදී 3.30ට සහ 6.30ට දර්ශනවාර දෙකක් සූදනම් කර තිබේ. දර්ශන සියය සම්පූර්ණ කරන අලුත් හොරෙක් ඕනෑ නාට්‍ය සම්බන්ධයෙන් අජිත් මෙන්ඩිස් පැවසුවේ මෙවැන්නකි.
Q දර්ශන වාර සියයක් පසුකළ 'අලුත් හොරෙක් ඕනෑ' නාට්‍යයේ ගමන්මග ගැන මුලින්ම කතාකරමු?
පසුගිය වසරේ මාර්තු මාසයේ නාට්‍ය වේදිකාගත කළේ. අවුරුද්දයි මාස දෙකක් ඇතුළත කාලය තුළ නාට්‍ය දර්ශනවාර 100ක් පෙන්වන්න පුළුවන් වුණා.
මේ කාලයේ නාට්‍යයක් පවත්වා ගැනීමේ තිබෙන බාධක හමුවේ දර්ශන වාර සියයක් පෙන්වීමට පුළුවන් වීම වැදගත් සන්ධිස්ථානයක් කියලා අපි හිතනවා. මොකද නාට්‍ය අසාර්ථකනම්, නාට්‍ය ප්‍රේක්ෂකයා ප්‍රතික්ෂේප කළානම් අපට මේතරම් දුර එන්න වෙන්නේ නැහැ.
අපි කොළඹ වගේම පිටපළාත්වලත් නාට්‍ය දර්ශන පැවැත්වුවා. ආපු ගමනේ හැටියට අපේ නාට්‍ය සාර්ථකත්වයක් ලබාගෙන තිබෙනවා කියල මම හිතනවා.
Q'අලුත් හොරෙක් ඕනෑ' නාට්‍ය පිළිබඳව කෙටි හැඳින්වීමක් කළොත්?
මෙහිදී අපි කතා කරන්නෙ මීට වසර 32කට පමණ කලින් ලංකාවේ ජීවත් වෙලා ඝාතනයට ලක්වුණු මාධ්‍යවේදියෙක් ගැන. මාධ්‍යවේදියා ඉතිහාසය පුරාම හැමදාම දේශපාලඥයා එක්ක ගැටුණා. දේශපාලඥයාට අනුගත වන මාධ්‍යවේදීන් සහ එලෙස අනුගත නොවන මාධ්‍යවේදීන් සිටිනවා. මෙවැනි කණ්ඩායම් දෙකක් සිටිනවා.
මේ ගැටුම පිළිබඳවයි අපි නාට්‍යයේ කතා කරන්නේ. මිනිසුන්ව ප්‍රඥාවට ගෙනියන්න නම් අපට ආනන්දය භාවිත කරන්න වෙනවා. ඒ නිසයි අපි ප්‍රහසනය භාවිත කරන්නේ. ප්‍රහසනය භාවිත නොකළොත් අපට අද නාට්‍යයක් කරගන්න බැරි වෙනවා. විශ්වවිද්‍යාලයක නාට්‍යයක් පෙන්වන් ගියත් ශිෂ්‍යයෝ අපෙන් අහන්නේන නාට්‍යයේ කොමඩි තියෙනවද කියලා. ඒ නිසා ප්‍රඥාවට යන්නනම් අපට ආනන්දය බහුලව භාවිත කරන්න වෙනවා.
Q නාට්‍යයේ ප්‍රධාන චරිතයට පණපෙවූ විජය නන්දසිරි අහිමිවීමේ අභියෝගයට මුහුණ දුන්නෙ කොහොමද?
විජය නන්දසිරි මහත්මයා අපේ නාට්‍යයේ 38 වැනි දර්ශනය තමයි අවසන් වරට රඟපෑවේ. 39 වැනි දර්ශනයට තිබුණේ තව සතියයි. 38 වැනි දර්ශනය පවත්වා ඊට පසු දිනයේ තමයි විජය නන්දසිරි මහත්මයා මියගියේ.
'අලුත් හොරෙක් ඕනෑ' නාට්‍ය තමයි විජය නන්දසිරි මහත්මයාගේ වසර 50ක නාට්‍ය දිවියේ අවසන් නාට්‍ය. ඒ වගේම අවසන් නාට්‍ය දර්ශනය වුණෙත් 'අලුත් හොරෙක් ඕනෑ' නාට්‍ය කුරුණෑගලදී පැවැත්වූ නාට්‍ය දර්ශනය.
විජය නන්දසිරි මහත්තයා අහිමිවීම නාට්‍යයට ලොකුම අභියෝගයක් වුණා. මොකද ඒවෙද්දි නාට්‍ය දර්ශන 38 යි වේදිකා ගතකර තිබුණේ.
විජය නන්දසිරිලා දෙන්නෙක් ලංකාවේ නැහැ. ඊට පර්යාය වූ නළුවෙන් ලංකාවෙ නැහැ. මොකද විජය නන්දසිරි කියන්නේ ප්‍රහසනය ඉරියව්වෙන් සහ දෙබස්වලින් ඉදිරිපත් කරපු නළුවෙක්. ඔහු අතපය විහිදුවලා උපහාසය මතුකරපු නළුවෙක් නොවෙයි. ප්‍රහසන නළුවෝ අතර විජය නන්දසිරි සුවිශේෂී වෙන්නේ ඒ නිසයි.
ඒ වගේම රංගන කාර්යේදී විජය නන්දසිරි විශාල දායකත්වයක් දැක්වුවා. නාට්‍යයේ කුමන හෝ අඩුපාඩුවක් තිබුණොත් ඒ බව කියනවා. සෑම නාට්‍ය දර්ශන වාරයක්ම ඔහු නරඹනවා. ඔහු රඟපාලා ඉවර වුණා කියලා අයින් වුණේ නැහැ.
නිර්මාණයේ ගුණාත්මකභාවය රැකගන්න ඔහු බොහෝසේ වෙහෙසුණා. විජය නන්දසිරි අහිමි වීම තුළ අපි විශාල අභියෝගයකට මුහුණ දුන්නා. ඒ අභියෝගය ජයගන්න අපට සහාය වෙන්නේ තවත් දක්ෂ නළුවෙක් වන මහින්ද පතිරගේ.
ඔහු තමයි නාට්‍යයේ 39 වැනි දර්ශනයේ සිට 100 වැනි දර්ශනය දක්වා නාට්‍යයේ ඉතුරු රංගන කාර්ය ඉටුකර ගෙන ආවේ.
Q විජය නන්දසිරිගේ අඩුපාඩුව මහින්දගෙන් මකාගන්න පුළුවන් වුණාද?
මම මේ නළුවෝ දෙදෙනාව සංසන්දනය කරන්න යෑම වැරදියි. මොකද කිසිම නළුවෙක් අපට තවත් නළුවෙක් සමග සංසන්දනය කරන්න බැහැ. ලෝකයේ හොඳම නළුවා වුණත් තවත් නළුවෙක් එක්ක අපට සංසන්දනය කරන්න බැහැ. ඒ හැමෝගේම රංගන පරාස වෙනස්.
විජය නන්දසිරිගේ රංගන පරාස වෙනස්.
මහින්දගේ රංගන පරාසය වෙනස්. විජය නන්දසිරි උපහාසය මතුකරගන්න ක්‍රමවේදය වෙනස්, මහින්ද උපහාසය මතුකර ගන්න ආකාරය වෙනස්. ඒ වගේම තමයි මහින්ද පතිරගේ නෙවෙයි මාලන් බැන්ඩ්රෝ ආවත් විජය නන්දසිරි වෙන්න බැහැ. මහින්ද පතිරගේ ඔහුට ගැළපෙන ආකාරයට නාට්‍යයට අගතියක් නොවෙන ආකාරයට තමාගේ කාර්ය ඉටුකළා. ඔහු අපටත් සාධාරණයක් ඉටුකළා. නිර්මාණයටත් සාධාරණයක් ඉටුකළා. මහින්ද අසාර්ථක වුණානම් මේ වනවිටත් ප්‍රේක්ෂකයෝ නාට්‍ය අතහැරලා ගිහිල්ලා.
Q දේශපාලන ප්‍රහසනයක් වූ මේ නාට්‍ය වේදිකාගත කිරීමේදී කොළඹ සහ පිටපළාත්වල පේක්ෂකාගාරයන් අතර වෙනස කෙබඳුද?
මේ නාට්‍යයේ මුඛ්‍ය තේමාව වෙන්නේ දේශපාලන ප්‍රහසනය. මොකද රජයක් වෙනස් වෙලා ටික කාලයක් යද්දි මිනිස්සුන්ට එපා වෙනවා. විදෙස් රටවලදී නම් මේවාට පොදු විරෝධතාවක් ඇතිවෙනවා. ලංකාවේ සාමාන්‍යයෙන් විරෝධතා ඇතිවෙන්නේ අදාළ පුද්ගලයෝ විතරයි. ශිෂ්‍යයන්ගේ ප්රශ්නවලදී ශිෂ්‍යයෝ විතරයි, දොස්තරලගේ ප්රශ්නවලදී දොස්තරලා විතරයි.
ඒවගේ නමුත් මධ්‍යම පාන්තිකයන්ට මේවාට වෙලාවක් නැහැ. පවතින ක්‍රමය තුළ මධ්‍යම පාන්තිකයන්ටත් විරෝධතාවන් තිබෙනවා. නමුත් මේ විරෝධතාවන් මුදාහරින්න වේදිකාව, කළුවර ප්‍රේක්ෂකාගාරය තෝතැන්නක් කරගන්නවා. කිසියම් සිදුවීමක් සම්බන්ධයෙන් ඔවුන් කළුවරේ හිඳ ඔවුන්ගේ සතුට ප්‍රකාශ කරනවා. ප්‍රහසන නාට්‍ය පවත්වාගෙන යන්න එය උත්තේජනයක් වෙනවා. කොළඹදී මේ තත්ත්වය වැඩියි. පිටපළාත්වලදීත් හොඳ ප්‍රතිචාර ලැබුණා.
Q නාට්‍ය වේදිකාගත කිරීමේදී මොනවගේ අභියෝගවලටද මුහුණ දුන්නේ?
සමහර විට අපි මේ කතාකරන දේශපාලන සංසිද්ධිය තුළ ඉන්න කණ්ඩායම් ඇතැම් අවස්ථාවල මේ නාට්‍ය සංවිධානය කරලා, නාට්‍ය අවසන් වෙද්දි මුහුණ ඇඹුල් වෙලා තිබුණා. ඇතැම් වෙලාවට ඔවුන් හිතන්න ඇති අපි අපටම ගහගත්තා කියලා.
ඇත්තටම මේ නාට්‍යය නරඹන්න දේශපාලඥයන් බොහොමයක් ආවා. මම ඒ ගැන සතුටු වෙනවා. මොකද දේශපාලනය අතර 'හොරු' කියන වචනය සමීප වෙලා තිබෙන්නෙ. මොකද එක කාලයක හොරා කියන්නේ හොඳ රාජ්‍ය පාලකයෙක් කියලත් කිව්වනේ.
ඒ වගේ වෙනස් හොරෙක් ගැනයි අපි කතා කළේ. අද ලංකාවේ තනි නාට්‍ය සංවිධායකයෝ අඩුයි. අද නාට්‍ය සංවිධානය කරන්නෙ කිසියම් සමිතියකින් හෝ සංගමයකින්. එහි හොඳක් තිබෙන්නෙ ඔවුන් ප්‍රේක්ෂකාගාරය පුරවනවා. ඒ නිසාම අලුත් ප්‍රේක්ෂකයෝ ඇතිකර ගන්න අවස්ථාව මේ හරහා උදාවෙනවා.
Q ඔබේ ඉදිරි වැඩකටයුතු ගැන කතා කළොත්?
අලුත් නාට්‍යයත් පටන් ගත්තා. ඒකෙ නම 'හදන්නම බැහැ'. ඒකත් දේශපාලන කතාවක්. මේ දිනවල පුහුණුවීම් කරගෙන යනවා. ඉදිරියේදී එය වේදිකාගත කරන්න බලාපොරොත්තු වෙනවා.
මගේ නාට්‍ය කණ්ඩායම ගැන සඳහන් කළ යුතුයි. මගේ නාට්‍ය කණ්ඩායමේ පොරොන්දම් ගැළපුණා. හැමෝම කැපවීමෙන් කටයුතු කළා, උපරිම සහයෝගය දුන්නා. නාට්‍ය බිඳවැටෙන කිසිවක් කළේ නැහැ. අලුත් නාට්‍යයටත් ඒ පිරිසකම ඉන්නවා. වෙනසකට තිබෙන්නෙ ශ්‍රියන්ත මෙන්ඩිස් ආදේශ වී තිබීමයි.