ජනප්‍රිය සාහිත්යවේදනියක සහ මාධ්යෙව්දිනයක වන චන්දි කොඩිකාර මේ වන විට නවකතා සියයකට වැඩි ප්‍රමාණයක් රචනා කර ඇති ඇයගේ අලුත්ම නවකතාව වන 'තාරානාථ' පිළිබඳ කතාබහ කිරීමට 'අද' සමග මෙලෙස එක්විය.
Q 'තාරානාථ' නවකතාව ලියන්න සංකල්පය ඇතිවෙන්නේ කොහොමද කියල මුලින්ම කතා කළොත්?
වරක් මම පෞද්ගලික පාසලක පැවති උත්සවයකට සහභාගි වුණා. එහි අධ්‍යක්ෂිකාව බොහෝ චාම් සුන්දර කාන්තාවක්. ඇය නිහතමානියි. කාන්තාවක් ව්‍යාපාරයක් පවත්වාගෙන යනවා කියන්නෙ එතරම් පහසු කටයුත්තක් නෙමෙයි. එහෙම වුණත් මේ කන්තාව ඉතාම දක්ෂ අයුරින් මේ ව්‍යාපාරය පවත්වාගෙන යනවා. මම ඇය සමග කතා කළා. එහිදී ඇය සඳහන් කළේ මේ ව්‍යාපාරය බොහෝ දුෂ්කරතා මැද්දේ පවත්වාගෙන යනව බවයි. කාන්තාවක් ඉදිරියට එනකොට ඇයට එන ප්‍රශ්න වැඩියි කියලා ඇය සඳහන් කළා. මේ සංකල්පය මගේ හිතේ තිබුණා. මේ ග්‍රන්ථය රචනා කරන්න සංකල්පය ඇතිවෙන්නේ එහෙම. 'සිරිකත' පුවත්පතට නවකතාවක් ලියන්න කියලා ආරාධනා කළාම මම මේ සංකල්පය තමයි පාදක කරගත්තේ.
Q ඒ කියන්නේ 'තාරානාථ' නවකතාව පුවත්පතක කොටස් වශයෙන් පළ වූ නවකතාවක්?
පුවත්පතේ පළවන විට පාඨකයන් කොටස් වශයෙන් තමයි නවකතාව කියවන්නේ. නමුත් නවකතාව එක දිගට කියවන්න කැමති පාඨකයන් සිටිනවා. ඒ වගේම මේ නවකතාව ළඟ තියාගන්න කැමති පාඨක පිරිසකුත් ඉන්නවා. පුවත්පතක පළ වූ කතාවක් පොතකට ගන්න විට ඒ විදිහටම ගන්න හැකියාවක් නැහැ. සමහර තැන් වෙනස් කරන්න සිදුවෙනවා. පුවත්පතකට නවකතාවක් රචනා කරද්දි සිමා ඇති කරගෙන ලියන්න සිදුවෙනවා. නමුත් ග්රන්ථයක් රචනා කරද්දි එලෙස සීමාවන් තබාගත යුතු නැහැ. ඒ වගේම මේ වන විට මම ග්රන්ථ 120ක් පමණ රචනා කර තිබෙනවා. ඒ හැම එකකටම වෙනස් තේමාවන් තමයි පාදක කරගත්තේ. මේ 'තාරානාථ' ග්‍රන්ථයේ තේමාව ගැන මම මීට කලින් ලියල නැහැ. ඒ නිසා මේ ග්‍රන්ථය මට විශේෂ ග්රන්ථයක් බවට පත්වෙනවා.
Q ග්රන්ථයක් රචනා කිරීමට කොතරම් කාලයක් ගතවනවාද?
එය ග්‍රන්ථයෙන් ග්රන්ථයට වෙනස් වෙනවා. සති දෙක තුනක් ඇතුළත වගේම මාස හය හතක කාලයක් ගත කර රචනා කරන පොතුත් තිබෙනවා. ඒ වෙනුවෙන්ම කාලය වෙන් කරලා ග්රන්ථ රචනා කළොත් ග්රන්ථයක් මාසයකින් රචනා කරන්න හැකියාව තිබෙනවා.
Q එලෙස එක විට ග්රන්ථ තුන හතරක් ප්‍රකාශයට පත්වීමේදි එහි ගුණාත්මකභාවය ගැන ප්‍රශ්න ඇතිවෙනවා නේද?
අපි ජනප්‍රිය ලේඛක ගොන්නටයි එකතු වෙන්නේ. සමහර අය සඳහන් කරනවා වසර ගාණටම එක පොතයි නිකුත් කළේ. වසරකට එක පොතයි නිකුත් කරන්නේ කියලා. ඒ නිසා ඉක්මනින් ග්රන්ථ රචනා කරනවිට එය ගුණාත්මක බවෙන් හීනයි කියන චෝදනාව තියෙනවා තමයි. අපි පුවත්පත්වල වැඩ කළ අය. ඒ නිසා වේගයෙන් රචනා කිරීමේ හැකියාව තියෙනවා. ඒ වගේම නවකතා තුනක් පමණ එක විට ලියන්නත් හැකියාව තියෙනවා. මේ වන විටත් පුවත්පත් හතරකට නවකතා හතරක් මම ලියනවා. එකිනෙකට එය බාධාවක් වෙන්නේ නැහැ. මේ සමාජයේ ඕනතරම් වස්තුබීජ තිබෙනවා. හැම කෙනෙක් ළඟම පොතකට ගත හැකි වස්තුබීජ තිබෙනවා. ලියල අවසන් කළ නොහැකි තරම් තිබෙනවා.
Q අද වන විට පොත් කියවන පාඨකයන් දුරස්වෙලා කියල සඳහන් කරනවා. ඒ ගැන ඔබේ අදහස කුමක්ද?
පොත් කියවන පාඨකයෝ දුරස් වෙලාම නැහැ. නමුත් තරමක අඩුවීමක් දකින්න තිබෙනවා. විශේෂයෙන් තරුණයන් ඈත් වෙලා තියෙනවා නවීන තාක්ෂණය නිසා. මම සෑම වසරකම අවම වශයෙන් එක් ග්රන්ථයක් නිකුත් කරනවා. ඒ නිසා අලුත් පාඨක පිරිසක් අවුරුද්දකට වරක්වත් එකතු වෙනවා.
Q අද නවකතාවලට තාක්ෂණයත් එක්ක අන්තර්ජාලයේ වෙළදපලක් තිබෙනවා නේද?
එය හොඳ තත්ත්වයක්. නමුත් අද එයත් ප්‍රශ්නයක් බවටත් පත්වෙලා තියෙනවා. අපෙන් අවසරයක් නැතුව අපේ ග්රන්ථ වෙබ් අඩවිවල පළ වෙනවා. ඒ වෙනුවෙන් අපිට මුදලක් වත් ලැබෙන්නේ නැහැ. ඔවුන් නමත් ඉවත් කරලා තමයි පළ කරන්නේ. එය ලොකු ගැටලුවක් බවට පත්වෙලා තියනවා. නීතිමය පියවර ගන්න මේ වන විට සාකච්ඡා කරමින් ඉන්නවා.
Q ඔබ රචනා කරන ග්රන්ථ නිකුත් කරන්නේ ඔබේම ප්‍රකාශන ආයතනයකින් නේද?
මුල් කාලයේ ප්‍රකාශන ආයතනවලට දීල තමයි පොත් ප්රකාශනය සිදුකළේ. නමුත් සිදු වූ අසාධාරණය නිසාම අපි හිතුවා අපේම ආයතනයක් ආරම්භ කිරීමට. සමහර ආයතන අවංකව කර්තෘභාගය ගෙවනවා. සමහර ආයතන ගැන නම් කලකිරීමක් තිබුණා. අනිත් දේ මගේ නිවසේ තුන්දෙනෙක් ග්රන්ථ රචනා කරනවා. ඒ නිසා සෑම වසරකම පොත් දහයක් පමණ නිකුත් කරනවා. හැබැයි ප්‍රකාශන ආයතනය පවත්වාගෙන යන්න නෙමෙයි අපි පොත් නිකුත් කරන්නේ.
Q තාරානාථ ග්රන්ථයට අමතරව මෙවර පාඨකයන් අතට පත්වන ග්රන්ථ ගැන කතා කළොත්?
පොත් ප්‍රදර්ශනයට අලුත් පොත් කිහිපයක් පැමිණෙනවා. 'නිහඬ කැඳැල්ලේ අපි දෙන්නා' කියල පොතක් මම රචනා කළා. එයට පාදක වෙන්නේ විවාහක යුවළකට දරුවන් නොමැති වූ විට ඇතිවන ගැටලු ගැන. විශේෂයෙන් ඒ ගැටලුවට මුහුණ දෙන්න සිද්ධ වෙන්නේ කාන්තාවට. එවැනි තත්ත්වයකට මුහුණ දුන්න කාන්තාවක් ගැන තමයි මේ ග්රන්ථයට අන්තර්ගත වෙන්නේ.