වර්ෂ 1972දී සහය කැමරා ශිල්පියෙකු ලෙස සිනමාවට එක්වූ ජයනාත් ගුණවර්ධන, ධර්මසේන පතිරාජ මහතාගේ 'සොල්දාදු උන්නැහේ' චිත්‍රපටයේ ප්‍රධාන කැමරා ශිල්පියා වශයෙන් කටයුතු කළේය. පසුව චිත්‍රපට 35ක පමණ ප්‍රධාන කැමරා ශිල්පියා ලෙස කටයුතු කළේය.
'සොල්දාදු උන්නැහේ', 'දොරකඩ මාරාව', 'අංජලිකා' චිත්‍රපට සඳහා ජනාධිපති සම්මාන හිමිකර ගත් හෙතෙම, 'සුවඳ දැනුනා ජීවිතේ', 'පාදඩයා' චිත්‍රපට සඳහා OCIC සම්මානද, විචාරක සම්මානද ලබාගෙන තිබේ.
ජයනාත් ගුණවර්ධනයන් පිළිබඳව අද කතාකරන්නට හේතුසාධක වන්නේ කැමරා ශිල්පියෙකු නිසා නොව, සිනමාවට අලුතින් එක්වූ අධ්‍යක්ෂකවරයකුද වන බැවිනි. මේ දිනවල සී.ඊ.එල් මණ්ඩලයේ සිනමා ශාලා වල ප්‍රදර්ශනය 'පරාවර්තන' ඔහුගේ ප්‍රථම සිනමා අධ්‍යක්ෂණයයි. 'පරාවර්තන' පිළිබඳව අප ජයනාත් ගුණවර්ධන සමග කතා කළෙමු.
-
සිනමා නිර්මාණයක් කරන්න හිතුවේ ඇයි?
බොහෝ කාලයක් තිස්සේ මගේ හිතේ පැවති දෙයක් තමයි සිනමා නිර්මාණයක් කිරීම. ඒ නිසයි මම චිත්‍රපටයක් අධ්‍යක්ෂණය කළේ. ඒ වගේම ලංකාවේ ඉන්න දෙකෝටියක ජනතාව අතරින් චිත්‍රපට නරඹන පිරිස ඉන්නේ ලක්ෂ 30ක් පමණයි. ඒ අය අතරින් ලක්ෂ 10ක් වත් බුද්ධිමත් ප්‍රේක්ෂකයන් ඇති කියලා මම හිතුවා. අන්න ඒ බුද්ධිමත් ප්‍රේක්ෂක පිරිසට තමයි මම මේ 'පරාවර්තන' චිත්‍රපටය නිර්මාණය කළේ.
මෙවැනි කතා තේමාවක් ඔස්සේ නිර්මාණයක් කරන්නට අදහස් කළේ ?
වර්තමානයේ සිදුවන සිදුවීම් පිළිබඳව බලනවිටත්, ඒවා ඇහෙනවිටත් වස්තුබීජයක් මගේ සිතට පැමිණියා. මේ හරහා යම්කිසි දෙයක් කරන්නට පුළුවන් කියලා මම හිතුවා. ඒකතමයි මම කතාවක් බවට සම්බන්ධ කරගත්තේ. ඒ සම්බන්ධව මම කිසිම කෙනෙකුගෙන් උපදෙස් ලබාගත්තේ නැහැ.
-
'පරාවර්තන' ප්‍රදර්ශනය අරඹා දැන් සති කිහිපයක් වෙනවා. ලැබෙන ප්‍රතිචාර කෙබඳුද?
සිනමාහලට එන බොහෝ ප්‍රේක්ෂකයන් මාව අඳුරන්නෙ නැති නිසා ප්‍රේක්ෂකයෝ ඇතුල් වෙන වෙලාවට මම අහල බැලුවා ඔවුන්ගෙන් චිත්‍රපටය කොහොමද කියලා. ඔවුන් මට කිව්වෙ කාලෙකින් හොඳ චිත්‍රපටයක් බැලුවා කියලයි. චිත්‍රපටය බලලා සියලුදෙනාම පිටතට පැමිණ එය හොඳ චිත්‍රපටයක් කියල කියන එක තමයි මම ලබපු ලොකුම සතුට.
නමුත් අපේ ලංකාවේ හොඳ දේ පිළිගන්නට සිටින කොට්ඨාසය අඩුයි. මොකද තැඹිලි ගෙඩියට වඩා ආශාවෙන් පාවිච්චි කරන්නේ මත්පැන් බෝතලයනේ. ඒ නිසයි මම කියන්නේ බුද්ධිමත් මිනිසුන්ටයි මම මේ චිත්‍රපටය නිර්මාණය කළේ කියලා. ඒ වගේම මතක් කරන්න ඕන පරාවර්තන පවුලේ සියලුදෙනාටම නැරඹිය හැකි චිත්‍රපටයක් බව.
-
මෙය ඔබේ පළමු සිනමා නිර්මාණය. ඔබට පැමිණි අභියෝග මොනවාද?
කැමරා අධ්යක්ෂවරයෙක් කියලා කියන්නෙ චිත්‍රපටයක දර්ශන තලයේ සිටින ප්‍රබල චරිතයක් නිරූපණය කරන්නෙක්. එම දර්ශන තලයේ අවුරැදු තිස්ගාණක් කටයුතු කළ පුද්ගලයකුට මම හිතන්නේ අධ්‍යක්ෂණය කිරීම ඒ තරම් ලොකු කාර්යයක් නොවෙයි. ඒ මොකද මේ කර්මාන්තයේ තිබෙන සුවිශේෂීම අංශය තමයි කැමරාකරණය. ඒ සුවිශේෂීම අංශයේ යම්කිසි තැනකට ආපු පුද්ගලයකුට අධ්‍යක්ෂණය කියන දේ ඒ තරම්ම බැරෑරුම් නැහැ.
-
'පරාවර්තන' තිරපිටපත, රූගත කිරීම් ආරම්භ වනතුරුම නළු නිළියන් අතට පත් නොකළේ ඇයි?
මම එහෙම කළේ කැමරා අධ්යක්ෂවරයෙක් වශයෙන් මට පුළුවන් රූපරාමුත් සමග මගේ චිත්‍රපටය දකින්න. නළු නිළියන් රඟපාන ආකාරය, හැසිරෙන ආකාරය අනුව මම චිත්‍රපටය දකිනවා. ඒ අයට තිරපිටපත දුන්නම මුලින් ඔවුන් විවිධ දේවල් ඇතුළත් කරගෙන වෙනස් චරිත මවන්නට උත්සාහ කරනවා. එවිට එළියට එන්නේ මගේ චිත්‍රපටය නොවෙයි. වෙනස් චිත්‍රපටයක්. ඒක හරියට කෝකියො ගොඩක් හදපු සුප් එක වගේ වෙනවා. ඒ නිසා තමයි චිත්‍රපටය බලපු බොහෝ අය කියන්නේ මේ චිත්‍රපටයේ නළු නිළියෝ රඟපානවා කියල දැනෙන්නෙ නැහැ කියලා.
-
මවට දරුවන් දෙදෙනාම අහිමිකර ඔබ චිත්‍රපටය නිම කරන්න හිතුවේ ඇයි?
එතැනින් මම කියන්න උත්සාහ කළේ මේ කිසිම දෙයකින් කාටවත් ලැබෙන විමුක්තියක් නැහැ, කිසිවෙක් ලබන ජයග්‍රහණයක් නැහැ. කිසියම් කෙනෙක් විනාශ කරලා තව කෙනෙකුට ජයග්‍රහණයක් ලබන්න බැහැ කියන දෙයයි. පසුගිය කාලේ ලංකාවේ සිදුවූ සිදුවීම් එයට හොඳම උදාහරණ සපයනවා. ඒ වගේම කෙසේ හෝ ජයග්‍රහණය ලබලා ටික කලක් හෝ සැඟවිලා හිටියත් සොබාදහමෙන් හෝ ඔවුන් දඬුවම් ලබනවා. ඒක තමයි මගේ තේමාව වුණෙත්.
අපි කරන සෑම හොඳ නරක සියල්ලක්ම අපේ පිටුපසින් පැමිණෙනවා. කොයි අයුරින් හෝ අපට එය බුක්ති විඳින්නට ලැබෙනවා. ඒ නිසයි මම එයට 'නීතියෙන් ගැලවුණද දෙවියන්ගෙන් සමාව නොලද මිනිසුන්ගේ කතාව' කියා නම් තැබුවේ.
-
මෙකල සිනමාවේ පවතින ඓතිහාසික නිර්මාණ රැල්ලෙන් බැහැරව ඔබ කලාත්මක නිර්මාණයක් කර තිබෙනවා? මොකද හිතෙන්නෙ ඒ ගැන?
එක එක කාලෙට එක එක රැලි එනවා. ඒ රැලි සමග ඉදිරියට යන්නට පුළුවන් අයට සිනමා කර්මාන්තයේ ඉන්න පුළුවන්. ඉතිහාස කතාවක් කරන්න, රජ ඇඳුම් ඇඳගෙන ඒවගේ චිත්‍රපටයක් කරන්නට යාම තමයි වර්තමාන රැල්ල. අතීතයේ තිබුණේ 'සූරයා' කියල නම එන චිත්‍රපට රැල්ලක්.
ඉතිං මේ රැල්ලට යන්නට එක කොට්ඨාසයකට ඉඩ දීලා අපි අපිට කැමති දේ කරනවා. නමුත් කෙනෙකුට වාණිජ අතින් ඉදිරියට යාමට අවශ්‍යනම් රැල්ලක් සමග ඉදිරියට ගියොත් හොඳයි කියල මමත් හිතනවා.
-
අපගේ සිනමාව ඩිජිටල්කරණය විය යුතුයි කියා ඔබ සිතන්නේ නැද්ද?
අනිවාර්යයෙන්ම සිනමාව ඩිජිටල්කරණය විය යුතුයි. සිනමා කැමරා ශිල්පියකු හැටියට මම කියන්නේ හැමදාම අපිට දළ සේයා පට මුද්‍රණය කරන්න බැහැ. සමහර නිෂ්පාදනාගාර දැන් වහලා දාලා. බර කරත්තේ ඉඳලා හයිබ්ඩ්ර් වාහන දක්වා ආවා නම් අපිත් ඩිජිටල් යුගය දක්වා යා යුතුයි.
-
ඔබේ ඉදිරි බලාපොරොත්තු මොනවාද?
මම එන විදිහට මුහුණදෙනවා. ඇතැමුන් සමහර විට මාව කැමරා අධ්යක්ෂවරයකු ලෙස තෝරා ගනීවි, සමහර විට තෝරා නොගනිවී.
නමුත් අධ්යක්ෂවරයෙක් කැමරා අධ්‍යක්ෂවරයෙකු ලෙස මාව තෝරාගතහොත් එතැනදි මම කැමරා අධ්‍යක්ෂවරයෙකු පමණයි. මමත් චිත්‍රපටයක් අධ්‍යක්ෂණය කළ කෙනෙක් කියා කිසිසේත් සිතන්නේ නැහැ. කෙනෙක් කරන නිර්මාණයක් නිදහසේ කරන්න අපි ඉඩදෙන්න ඕන. එහෙම නොවුණොත් එය අපි නිර්මාණකරුවාට කරන හානියක්.