ශ්‍රී ලාංකේය සිනමා වංශ කතාවට හැත්තෑ වසරක් සපිර තිබේ. මෙරට සිනමා කලාවේ දෙවැනි සුසමාදර්ශය නම් වූ ආචාර්ය ධර්මසේන ජතිරාජයන් සිනමාව වෙනුවෙන් පනස් වසරක් සිය සේවය ලබාදී ඇති අතර, එය අගය කළ යුතුම කාරණයකි. ආචාර්ය ධර්මසේන පතිරාජයන්ගේ නිර්මාණාවලෝකනය අගයනු වස් සංවිධානය කළ උපහාර උලෙළක් පෙරේදා (26දා) චිත්‍රපටි සංස්ථා තරංගනී ශාලාවේදී පැවැත්විණි.
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම උපහාර පුදකිරීමේ උත්සවය සඳහා හිටපු ජනපතිනී චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය මෙන්ම, මැති ඇමතිවරු, ප්‍රවීණ කලාකරුවෝ ඇතුළු පිරිසක් සහභාගි වූහ.
උත්සව සභාවේ පතිරාජයන් පිළිබඳ ප්‍රවීණ කලාකරුවන් වන මාලිනී ෆොන්සේකා සහ ධර්මසිරි බණ්ඩාරනායකයන් අදහස් දැක්වූ අතර, ඔවුන් පැවසුවේ මෙවැන්නකි.
ධර්මසිරි බණ්ඩාරනායක
''මීට අවුරුදු 38කට කලින් මම අලුත් චිත්‍රපටියක් හදන්න තීරණය කරලා ධර්මසේන පතිරාජයන් මුණ ගැහෙන්න යනවා. ඒ අවස්ථාවේ පතීට මම පිටපත දීලා කිව්වා පතී මේකට සින්දුවක් ලියලා දෙන්න කියලා. එතුමා චිත්‍රපටි තුනක විතර ගීත ප්‍රබන්ධ කරලා තිබුණා. ගීතය ලියන්න කියලා ආරාධනා කළාට පස්සේ පතී කිව්වා නිස්කලංක තැනකට යමු කියලා.
ඒ අනුව අපි වැල්ලවත්ට ගියා. හවස් යාමයේ පතී කොළයක් අරගෙන මුහුද පැත්තට ගිහින් එන්නම් කියලා ගියා. විනාඩි තිහකට විතර පස්සේ අරගෙන ගියපු කොළේ මොනවද ලියාගෙන ඇවිත් කොළේ මට දීලා ධර්මේ බලන්න මේක හොඳද කියලා කිව්වා. මගේ හිතේ ඇඳුණු රූපරාමු සමූහය ඒ ගීතයෙන් අර්ථගන්වලා තිබුණා.
'හෙමින් සැරේ පියා විදා
සුමුදු සයනේ සිනිඳු ඇතිරිල්ලේන්
පලා ඇවිත් සිතුම් සියොතුන්'
මේ ගීතය ලියපු කොළය මාස්ටර් කේමදාසට මම දුන්නාම මාස්ටර් ඇහුවා මොකද හිතන්නේ කියලා. මම කිව්වා හරි කවද්ද අපි මේක රෙකෝඩ් කරන්නේ කියලා. මීට අවුරුදු 38කට කලින් අපි මේ ගීතය රෙකෝඩ් කළා, සුනිලා අබේසේකර සහ ටී.එම්. ජයරත්න එක්ක. පුරා 38 වරසක් මේ ගීතය ඇහෙනවා. ඒ ගීතය මාවත්, මේ රටේ සිනමා රසික රසිකාවනුත් ජීවත් කරවනවා. ඒ ගීතය ලියන්න ධර්මසේනට ගතවුණේ විනාඩි 30කටත් අඩු කාලයක්. ඒ නිසා මම මගේ මරණය දක්වාම ධර්මසේනට ගරුකරනවා.
පතිරාජයන් 'අහස් ගව්ව' හදපු නිසා තමයි ධර්මසිරි 'හංස විලක්' හැදුවේ. මම හැමදාම ඒ කතා කියනවා.
එතුමා 1974 හදපු ප්‍රථම චිත්‍රපටය 'අහස් ගව්ව'. අපි පාසල් යන කාලයේදී පුදුම ආසාවෙන් බැලුවේ. 'අහස් ගව්ව' කොච්චර අපේ තරුණ ජීවිතවලට සමීප වුණාද කිව්වොත් අමරසිරි කළංසූරිය වගේ අපි කොන්ඩේ පීරන්නෙ නැතුව හිටියා. තාම මම කිසිම දවසක කමිසේ උඩ බොත්තම දාන්නේ නැහැ.
මම බොත්තම දැම්මේ නැත්තේ අමරසිරි නිසයි. 'අහස් ගව්වේ' රඟපාන කොට අමරසිරි මම හිතන්නේ කලිසම හෝදන්නේ නැහැ. අපිත් කලිසම් හෝදන්නෙ නැතුව හිටියා. ඒ තමයි පතී අපට කරපු උදව්ව. 'අහස් ගව්ව' නිසා තමයි අපටත් චිත්‍රපටි කරන්න පුළුවන් කියන විශ්වාසය තැබුවේ.
'පළගැටියෝ' චිත්‍රපටියේ රඟපාපු මට ජාතික චිත්‍රපට උලෙළේදී සම්මානයක් ප්රදානය කළා. ඊට පස්සේ මම පුවත්පතක දැක්කා එවකට හිටපු ජේ.ආර්. ජයවර්ධන ජනාධිපතිතුමා කියලා තියෙනවා අඩුම ගානේ ෂර්ට් එකක් ඇඳපුවාම බොත්තමක්වත් දාන්න බැරි නළු නිළියෝ තමයි මෙතැන සම්මාන ගන්නේ කියලා. මගේ නම සඳහන් කරලා කියලා තිබුණා.
ජයවර්ධන මහත්තයා ජීවතුන් අතර නැති නිසායි මම මේ කියන්නෙ. එතුමා ජීවතුන් අතර හිටියනම් එතුමා නැතිවෙනකම් ඉඳලා මම මේක කියනවා. එතුමා දැනගෙන හිටියේ නැහැ අපට මේ ලෙඩේ බෝ කළේ පතිරාජ කියලා.''
මාලනී ෆොන්සේකා
''පතිරාජයන්ගේ නිර්මාණ තුනකට දායක වෙන්න මට අවස්ථාව ලැබුණා. 'හන්තානේ කතාව' රූප රාමු දකිද්දී මට අදත් ඒ දුක දැනෙනවා. මොකද හන්තානේ කතාවට මාව ගත්තේ නැහැ.
එහෙම වුණානම් මට පතිරාජයන්ගේ නිර්මාණ පහකට පමණ දායක වෙන්න අවස්ථාව තිබුණා. මගේ කලා ජීවිතයේ මෙවැනි තත්ත්වයකට එන්න මාව කැටයම් කර මගේ දක්ෂකම් එළියට ගත්තේ පතිරාජයන්. 'උදුම්බරා' හැටියට මට මේ රටේ පමණක් නොවෙයි ජාත්‍යන්තරයට පවා යන්න අවස්ථාව ලැබුණා.''
සිය ජීවිතයේ උපන් දිනයක් හෝ සමරා නොමැති පතිරාජයන් උපහාර උත්සවය පිළිබඳ අදහස් දැක්වූයේ මෙලෙසිනි.
ආචාර්ය ධර්මසේන පතිරාජ
'මම කවදාවත් මගේ උපන් දිනයක්වත් සමරලා නැහැ. මම වෙනුවෙන් පවත්වන උපහාර උත්සවයක් කියන දේ මට හිතාගන්නත් අමාරුයි. පහුගිය දවස්වල බොහෝ මාධ්‍යවේදීන් මට කතා කළා. ඔවුන් මගෙන් ඇහුවා පසුගිය අවුරුදු 50 ගැන මොකද හිතන්නේ කියලා. එක එෆ් එම් නාළිකාවක මාධ්‍යවේදීයෙක් මට කතා කළා.
'හලෝ මේ ධර්මසේනද?' කියලා ඇහුවා. මම උත්තර දෙන්න මැළි වුණා. ඊට පස්සේ එයා කිව්වා 'මම මේ අසවල් එෆ්.එම්. නාළිකාවෙන්, ඉතිං පණහ පිරුණා නේද?' කියලා ඇහුවා. මම ඒකටත් උත්තර දුන්නේ නැහැ. උත්තර දෙන්න හිතුණා නමුත් දුන්නෙ නැහැ. මේ අවුරුදු 50 කියන්නේ මොකද්ද කියන දේ ගැන කියන්න මේ කාරණය මම පාදක කර ගන්නවා.
මගේ සිනමා ජීවිතයට අවුරුදු පනහක් පිරීම තමයි මේ කතා කරන්නනේ. මට ලොකු ගැටලුවක් තිබෙනවා මම සිනමාකරුවෙක්ද නැද්ද කියන කාරණය පිළිබඳව. නමුත් මම වෘත්තියෙන් සිනමාකරුවෙක් නෙවෙයි.
මේ අවුරුදු පනහටම මම චිත්‍රපට කරලා තියෙන්නෙ දහයයි. ඒ අනුව අවම වශයෙන් අවුරුදු පහකට එක චිත්‍රපටියයි මම හදලා තියෙන්නේ. 1980 'පාරදිගේ', 1981 'සොල්දාදු උන්නැහේ' චිත්‍රපටි හැදුවට පස්සේ මම ආයේ චිත්‍රපටියක් හැදුවේ අවුරුදු 23කට පස්සේ 2001 දී. මම ජීවත් වුණේ 1968 සිට විද්යාලාංකාර විශ්වවිද්‍යාලයේ කථිකාචාර්යවරයෙක් හැටියට. 2008 දී කොළඹ විශ්වවිද්‍යාලයෙන් විශ්‍රාම ගත්තෙ.
චිත්‍රපටි ක්ෂේත්රය කර්මාන්තයක් ලෙස වර්ධනය කිරීමට රජය මැදිහත් වීම අවශ්‍යයි. ඔවුන්ගේ ප්රාග් ධනය හොයලා දෙන්න අවශ්‍යයි.''
ඡායාරූප - ඉසුරු පෙරේරා