ධර්මසේන පතිරාජ නිර්මාණාවලෝකනය ජූනි 26 දා
ශ්‍රී ලාංකීය සිනමාවේ ප්රගමනයට සුවිශේෂී දායකත්වයක් ලබාදුන් ප්‍රවීණ චිත්‍රපට අධ්‍යක්ෂක ආචාර්ය ධර්මසේන පතිරාජ මහතාගේ කලා දිවියට වසර 50ක් පිරීම නිමිත්තෙන් උපහාර පිදීමේ උලෙළක් රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාව, ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාව සහ ජාතික චිත්‍රපට සංස්ථාව එක්ව පැවැත්වීමට සියලු කටයුතු සංවිධානය කර තිබේ.
'පතිට පනහයි' ධර්මසේන පතිරාජ නිර්මාණාවලෝකනය යන මැයෙන් පවත්වනු ලබන මෙම උපහාර උලෙළ ජූනි 26 වන දින සවස 7.00ට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් ජාතික චිත්‍රපට සංස්ථාවේ තරංගනී සිනමා ශාලාවේදී පැවැත්වීමට නියමිතය.
ශ්‍රී ලාංකීය සිනමාවේ උත්කර්ෂවත් යුගයක් වූ 70 දශකයේ කැපී පෙනෙන නිර්මාණ දායකත්වයක් ලබාදුන් චිත්‍රපට අධ්‍යක්ෂකවරයෙක් මෙන්ම මාධ්‍ය අධ්‍යයනය පිළිබඳ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්යවරයෙක් වූ ධර්මසේන පතිරාජ මහතා ලංකා විශ්වවිද්‍යාලයේ ගෞරව සම්මාන උපාධිධාරියෙකි.
එමෙන්ම ඔහු පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ නාට්‍ය පිළිබඳ පශ්චාත් උපාධිධාරියෙකි. ඔස්ට්‍රේලියාවේ මොනෑෂ් විශ්වවිද්‍යාලයේ සිනමා අධ්‍යයනය පිළිබඳ ආචාර්ය උපාධිධාරියෙක් වන ඔහු 1968 සිට 1978 දක්වා විද්‍යාලංකාර විශ්වවිද්‍යාලයේ සහ යාපනය විශ්වවිද්‍යාලයේ සහකාර කථිකාචාර්යවරයෙක් ලෙස සේවය කර ඇත.
ඉන් අනතුරුව රුහුණු විශ්වවිද්‍යාලය, ශ්‍රී පාලි මණ්ඩපය, කොළඹ විශ්වවිද්‍යාලයේ යනාදියේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්යවරයෙක් ලෙස සේවය කරන ලදී.
1974 'අහස්ගව්ව' චිත්‍රපටය අධ්‍යක්ෂණය කරමින් වෘතාන්ත චිත්රපටකරණයට අවතීර්ණ වූ ධර්මසේන පතිරාජ මහතා 'එයා දැන් ලොකු ළමයෙක්', 'පොන්මනී', 'බඹරු ඇවිත්', 'පාරදිගේ', 'සොල්දාදු උන්නැහේ', 'වාසුලි', 'මතුයම් දවස', 'ස්වරූප' සහ 'සක්කාරං' යන වෘතාන්ත චිත්‍රපට අධ්‍යක්ෂණය කරන ලදී.
'අඳුරෙන් එළියට', 'වෙරළ', 'Putting the last First', 'Shelter for million families', 'දළ රළ පෙළ', 'පුනරාවර්තන', 'මාවතක් සොයනු පිණිස' සහ 'A road to sampur' යන වාර්තා චිත්රපටද කොරා සහ අන්ධයා, පුටු සහ කුරුල්ලෝ යන නාට්‍යද නිර්මාණය කරන ලද්දේ ආචාර්ය ධර්මසේන පතිරාජ මහතා විසිනි.
පුංචි තිරයේ ප්‍රේක්ෂක ආකර්ෂණය දිනාගත් ටෙලි නාට්‍ය රැසක් ධර්මසේන පතිරාජ මහතා අතින් නිර්මාණ විය. ඒ අතර 'ගඟුලෙන් එගොඩ', 'මායා මන්දිර', 'ඇල්ල ළඟ වලව්ව', 'වන්නිහාමිලාගේ කතාව', 'සුදුබණ්ඩලාගේ කතාව', 'පුර සක්මන', 'කඩුල්ල', 'සුබ අනාගතයක්', 'නන්නාඳුනන පුත්තු', 'දුර්ගාන්තය' සහ 'කම්පිත විල්' යන නාට්‍ය ප්රමුඛ තැනක් ගනී.
1988 පැවති උන්ඩා අභිනන්දන සම්මාන උලෙළේදී 'ඇල්ල ළඟ වලව්වට' හොඳම ටෙලි නාට්‍යයට හිමි සම්මාන හිමි වූ අතර, 1991දී පැවති එම සම්මා උලෙළේදී කඩුල්ල ටෙලි නාට්‍යයට ප්රතිභාත්මක ටෙලි නාට්‍යයට හිමි සම්මානය හිමි විය.
දේශීය වශයෙන් පමණක් නොව විදේශීය වශයෙන්ද කීර්තියක් අත්කරගත් ආචාර්ය ධර්මසේන පතිරාජ මහතා ජාතික සහ අන්තර්ජාතික මට්ටමේ චිත්‍රපට උලෙළවල් කිහිපයකම ජූරි සභිකයෙක් ලෙසද කටයුතු කර තිබේ. ඒ අතර 1998 බෙල්බර්න් හි පැවැති ජාත්‍යන්තර චිත්‍රපට උලෙළ, 2003 පැවති 16 වන සිංගප්පූරු අන්තර්ජාතික චිත්‍රපට උලෙළ, 15 වන කයිරෝ අන්තර්ජාතික චිත්‍රපට උලෙළේ (සභාපති) මෙන්ම 1998 පැවති චිත්‍රපට විචාරක සම්මාන උලෙළ සහ 2001 පැවති රාජ්‍ය නාට්‍ය උලෙළ (සභාපති) දැක්විය හැකිය.
ඔහු විසින් අධ්‍යක්ෂණය කරන ලද 'සතුරෝ' කෙටි චිත්‍රපටය බිල්බාවෝ අන්තර්ජාතික චිත්‍රපට උලෙළේ හොඳම චිත්‍රපට 10 අතරට තේරුණු අතර, 1972දී චිත්‍රපට විචාරක සම්මානයෙන් පිදුම් ලැබුවේය. 1978 තිරගත වූ 'බඹරු ඇවිත්' චිත්‍රපටය සඳහා හොඳම අධ්යක්ෂණයට හිමි ජනාධිපති සම්මානයත්, 1937 තිරගත වූ 'සොල්දාදු උන්නැහේ' චිත්‍රපටයට හොඳම අධ්යක්ෂණයට සහ තිර රචනයට හිමි ජනාධිපති සම්මානයත් හිමිකර ගත්තේය.
ශ්‍රී ලංකාවේ සිනමා ක්ෂේත්රයට දැක්වූ දායකත්වය වෙනුවෙන් ජීවිතයට එක්වරක් පමණක්ම පිදෙන 'ස්වර්ණ සිංහ' සම්මානයෙන් (Golden Lion) 2000 වසරේදී පිදුම් ලැබූ ඒ මහතා 16 වන සිංගප්පූරු අන්තර්ජාතික උලෙළේදීද ඇගයීමට ලක්විය.
සැලසිනේ රූපවාහිනී ආයතනයේ සභාපතිවරයා ලෙස 2003 වර්ෂයේ කටයුතු කළ ධර්මසේන පතිරාජ මහතා රජයේ චිත්‍රපට අංශයේ උපදේශක අධ්යක්ෂ ලෙසද, ශ්‍රී ලංකා කලා මණ්ඩලයේ සභාපතිවරයා ලෙසද කටයුතු කර තිබේ. මේ වන විට ශ්‍රී ලංකා රූපවාහිනී අභ්‍යාස ආයතනයේ සභාපතිවරයා ලෙස කටයුතු කරමින් තමා උගත් දැනුම නව පරපුරට දායාද කිරීමේ උදාරතර හැඟීමෙන් ප්රශස්තව නව සිනමාකරුවන් බිහිකරලීමෙහිලා පුරෝගාමී සේවයක යෙදී සිටියි.
එල්. ජී. තිලකරත්න
අංශ ප්‍රධානී (ප්රචාරක අංශය)
රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුව