2015 රයිගම් සම්මාන රාත්‍රිය පසුගියදා නිමාවට පත් විය. එහිදී මෙරට ජනප්‍රියම ටෙලි නාට්‍යය ලෙසින් සම්මාන දිනාගත්තේ සිරස නාළිකාවේ විකාශය වන සඳුන් රාජකරුණා අධ්‍යක්ෂණය කළ, ආචාර්ය උපුල් ජයසිංහ නිෂ්පාදනය කළ ‘උතුම් පැතුම්’ ටෙලි නාට්‍යයයි. පුරා සය වසරක් සුමති සම්මාන උලෙළේ මෙකී ජනප්‍රිය සම්මානය දිනාගත්තේ ටෙලි නාට්‍ය නිෂ්පාදක උපුල් ජයසිංහය. අද කතාබහ දිගහැරෙන්නේ ඔහු සමගිනි.
Q සම්මානය පිළිබඳව මුලින්ම කතාබහ කරමු
සුජීව ප්‍රසන්නආරච්චිගේ ජනප්‍රියම නවකතා පොත් කිහිපයක් ඇසුරෙන් තමයි 'උතුම් පැතුම්' ටෙලිනාට්‍යය නිර්මාණය කළේ. එය රූපවාහිනියට රචනා කරන්නේ උදය ප්‍රියන්ත කංකානම්ගේ. දැන් කොටස් 500කට වැඩි ප්‍රමාණයක් විකාශය වෙමින් පවතිනවා. මේ ටෙලිනාට්‍ය දිගින් දිගටම අතිශය ජනප්‍රිය වුණා. කොරියානු හා ඉන්දියානු ටෙලිනාට්‍ය නිසා අපේ රූපවාහිනී ටෙලිනාට්‍ය පසෙකට විසිවන වකවානුවක ඒවා සමග සටන් කරන්න 'උතුම් පැතුම්' ටෙලිනාට්‍යයට හැකි වුණා.
ලංකාවේ රේටින්වලින් ඉහළින්ම තිබුණේ ඉන්දියානු ටෙලිනාට්‍ය. ඒවා අභිභවා යමින් පසුගිය වකවානුව පුරාම අපි අභියෝගයක් එල්ල කළා. එයට සාක්ෂි දරමින් පසුගිය සුමති සම්මාන උලෙළේදී ජනප්‍රියම ටෙලිනාට්‍යයට සම්මාන හිමිවුණා. එමෙන්ම ස්ලිම් නීල්සන් පීපල්ස් අවෝඩ්ස් සම්මානයත් මෙම ටෙලිනාට්‍යයට හිමි වුණා. ඉන් අනතුරුව පසුගියදා රයිගම් සම්මාන උලෙළේදීත් ජනප්‍රියම ටෙලිනාට්‍යයට හිමි සම්මානය හිමිවුණා.
Q කැසට්පට ක්ෂේත්රයෙයි සිටි ඔබ ටෙලිනාට්‍ය ක්ෂේත්රය ජයගත්තේ කොහොමද?
කැසට් ක්ෂේත්රයෙත් එම ජයග්‍රහණ හිමිකරගෙන තිබෙනවා. වසර තිහකට පමණ ප්‍රථමයෙනුයි කැසට් නිෂ්පාදනය ආරම්භ කළේ. එවකට තිබුණු එකම සංගීත සම්මාන උලෙළ තමයි රස සංගීත සම්මාන උලෙළ. 2000 වසරේදී යුගයේ ජනප්‍රියම කැසට් නිෂ්පාදකයාට හිමි සම්මානය හිමිවුණේ මට. ඒ අවදියේදීත් අද ටෙලිනාට්‍යවලින් ජනප්‍රිය වුණා වගේම ජනප්‍රිය වුණා. පහුගිය දශක තුන ගත්තොත් දශක දෙකක් සංගීත ක්ෂේත්රයේ ජය කෙහෙළි නැංවුවා. අංක එකේ නිෂ්පාදන ආයතනය බවට පත්වුණා කිසිම තරගයකින් තොරව. එහි රහස තමයි බහුතර ජනතාවගේ විඥානය හඳුනා ගැනීම.
අපි ජනතාවට ඉස්සරහින් ගියේ නෑ. ජනතාවට පස්සෙන් ගියෙත් නෑ. ජනතාවත් එක්කම ජනතාවගේ රසාස්වාදය උදෙසා රස මනස හා විඥානය පුළුල් කිරීම හෝ ආනන්දයෙන් ප්‍රඥාව කරා යෑම වැනි බර වචනවලින් නෙවෙයි අපි වැඩ කරන්නෙ. ප්‍රශ්නවලින් ගැටගැහිලා ඉන්න ජනතාවට සතුටක් ලබාදීමට කටයුතු කළා. මහජනතාවට අපේ ටෙලිනාට්‍යවලින් යම් පණිවිඩයකුත් දෙනවා. ඒ පණිවිඩය දෙන්නෙ මහජනතාවගේ ජීවිත ආශ්‍රයෙන්මයි. සමහරු කියන්න පුළුවන් ඔබලා මහජනතාවගේ විඥානය මොට කරනවාය කියා. සරල දේවල් හරහා දෙන පණිවිඩ මහා පාණ්ඩිත්‍ය වචන යොදා ඉහළ මට්ටමේ අය සඳහා කරන නිර්මාණ තියෙනවනේ. ඒ නිර්මාණවල ගැඹුරෙන් දෙන පණිවිඩය සියයට අසූවක් අනූවක් වන පිරිසට වටහා ගැනීමේ ශක්තියක් නෑ. ඒ අයට වටහා ගැනීමට අවශ්‍යත් නෑ.
ඔවුන් ජීවන අරගලයකයි නිරත වෙලා ඉන්නෙ. ඒ අයට සරල විදියට දෙන පණිවිඩය දැනෙනවා. අපි නරක දේවල් කරන්න කියන්නෙ නෑ. අපේ කතාවලත් ආදරය තිබෙනවා. අපි ඒ දේ සරලව දෙනවා. අපි දෙන දේ මිනිස්සුන්ට යනවා. අපි කියන්නෙ නෑ හොරා ජයගනී කියලා. අපේ කතාවලත් අපි කියන්නෙ හොරකමට දඬුවම ලැබෙනවා කියලයි. අපේ කතාවලත් පවුල් සංස්ථාවට වින කරන පුද්ගලයන්ට දඬුවම ලැබෙනවා. නමුත් අපි සරලවයි කරන්නෙ. ඇත්ත ජීවිතය තිබෙන්නේ අපේ ටෙලිනාට්‍යවල. ඒකයි මිනිස්සු තමන්ගෙ වැඩ ටික පැත්තක තියලා අපේ නාට්‍ය බලන්නෙ. දැඩි අභියෝගයන් මැද අපි කරන කැපවීම ජය ගෙන තිබෙනවා.
Q කොහොමද මේ නාඩි ඇල්ලිල්ල කරන්නෙ?
අපේ සිනමාවේ දීප්තිමත්ම අවධිය හැත්තෑව දශකය. ඒ කාලෙ සිනමාව හරි ලස්සනයි. ඒ කාලෙත් දැඩි දෝෂාරෝපණ මැද්දෙ ලෙනින් මොරායස්, යසපාලිත නානායක්කාර වැනි නිර්මාණකරුවො විජය කුමාරණතුංග, ගාමිණී ෆොන්සේකා, ප්‍රෙඩී සිල්වා, අනිත් පැත්තෙන් එච්.ආර්.ජෝතිපාල, මාලනී ෆොන්සේකා තමයි ජනප්‍රිය රැල්ල. මේ රැල්ල නිසා තමයි කලාව රැකෙන්නෙ. කලාත්මකයි කියල කියන නිර්මාණවල පාඩුවත් වැහෙන්නෙ මේවයෙන්. උදාහරණයක් විදියට කියන්නෙ මහා පඬිවරුන් විසින් කරන නිර්මාණවලට රූපවාහිනී චැනල්වලින් ගෙවන්නෙ ඔවුන් නිග්‍රහ කරන අපේ නිර්මාණවල සල්ලි. ඒක මං එදා ඉඳන්ම කියනවා.
පහත් කියනවා, සරලයි කියනවා, මෙගා කියනවා. එහෙම කියන නිර්මාණකරුවන්ගේ නිර්මාණයි, අපේ රේටිනුයි ගත්තම අහසට පොළව වගේ. ඒව බලන්නෙ නෑ. ඒකනේ අඬන්නෙ. ඒව පෙන්නුවාම රූපවාහිනී නාළිකාවලට පාඩුයි. ඒ පාඩුව වහගෙන අපේ නිර්මාණවලින් හම්බකරන සල්ලි තමයි ඔවුන්ට ගෙවන්නෙත්. මේ අය බැණ බැණ ජීවත් වෙන්නෙත් අපි හින්දා. පඬිවරු රැකෙන්නෙ සරලයි කියන අපේ නිර්මාණවලින්. අපි හම්බකරනවා ඒ අය රැකෙනවා.
Q ඇත්තටම අැයි එවැනි චෝදනා නැගෙන්නෙ?
මම ඉන්දියාව ගැන සතුටුවෙන්නෙ ෂාරුක් ඛාන්ටත් සම්මාන හිමිවෙනවා, අමිතාබ් බච්චන්ටත් හම්බවෙනවා. සල්මන් ඛාන්ටත් සම්මාන හම්බවෙනවා. රඟපෑම හොඳනම් සම්මාන ලැබෙනවා. අපේ රටේ කොහොමද සම්මාන ලැබෙන්නේ. දීර්ඝ කියන ටෙලිනාට්‍යයක ඉහළ රඟපෑමක් කරන ශිල්පියෙක් නිර්දේශ වෙන්නෙවත් නෑ. මම පාසල් යන කාලේ අවුරුදු පහක් පුරා එක දිගට මීටර් සියය සහ දෙසීය ජයග්‍රහණය කළා සහ නව වාර්තා පිහිටවූවා. හැම අවුරුද්දකම නව වාර්තා දෙකක් පිහිටෙව්වා. ඒ අවධියෙත් මිනිස්සු මට චෝදනා කළා.
මේ මිනිහ ඉන්නකම් අපිට දුවන්න බෑ කියල. ඒ වගේම තමයි අදත්. අපේ රටේ සම්මානවලට නිර්දේශ වෙන්න නම් එක්කෝ අමුඩයක් ගහන්න ඕන. එක්කො අලි බඩගෙඩියක් දාගෙන කුඹුරු කොටන්න ඕන. එක්කො කටුමැටි ගෙදරක ඉඳගෙන ගැමි ස්වරූපය පෙන්නන්න ඕන. මං හැමදාම කියනවා බුද්ධදාස විතානාච්චි මගේ ටෙලිනාට්‍යවල ටයි කෝට් දාගෙන සදාදරණීය පරමාදර්ශී පියෙකු වශයෙන් ඉහළ රඟපෑමක් කළා. නමුත් සම්මාන උලෙළවල් සඳහා නිර්දේශ වුණේ නෑ. ඔහුම අමුඩයක් ගහගෙන බඩ එළියට දාගෙන, ලේන්සුවක් කරේ දාගෙන, බුලත් විටක් හපල කෙල ගගහ කටු මැටි ගෙයක ඉඳගෙන මී හරක් පස්සෙ ගියොත් හරි, කඩුවක් අරගෙන සුද්දො පස්සෙ එළෙව්වොත් හරි එයා හොඳම නළුවා වෙනවා. ජනක් ප්‍රේමලාල්ටත් එහෙමයි. නිර්දේශ වෙනවා තියා බලන්නෙවත් නෑ. ඔය මොන බාධක ආවත් සුවිසල් ප්‍රේක්ෂක ප්‍රතිචාර මැදින් මම මගේ ගමන යනවා.