හෙළයේ මහා ගාන්ධර්වයාණන් ලෙස විරුධාවලි ලත් ඩබ්. ඩී. අමරදේව මහතා වෙනුවෙන් එතුමාගේ ජීවිත කාලයේදී කළ ඉල්ලීමක් ඉටුකිරීමක් වශයෙන් රජය විසින් අමරදේව මහතා නමින් රාජ්‍ය අනුග්‍රහය ලත් ආයතනයක් වෙනුවෙන් මුල්ගල තැබීම පසුගියදා (28දා) උත්සවාකාරයෙන් බත්තරමුල්ල අපේ ගම පරිශ්‍රයේදී සිදුකෙරුණි.
'අමරදේව අසපුව' නමින් නම්කොට ඇති එය ජනතා අයිතියට පැවරෙන්නේ කුමන ආකාරයෙන්ද යන්නත් එහි කාර්යභාරය කෙබඳු ආකාරයෙන් සිදුවේද යන්නත් සම්බන්ධයෙන් අපි අමරදේව පදනමෙන් යම් විමසීමක් කරන්නට අදහස් කළෙමු. එහිදී එතුමාගේ පුත් රංජන අමරදේව මහතා දැක්වූ අදහස් පෙළගැස්මකි මේ.
''සංගීත ක්ෂේත්රය තුළ අපේ ශිල්පීන්ට යම් නිර්මාණ කටයුත්තක් වෙනුවෙන් එක්රැස්වී කතාබහ කරන්න යම් පසුබිමක් සලසන ස්ථානයක් අප රටේ තිබුණෙ නැහැනේ. තාත්තා ජීවතුන් අතර සිටියදී මෙවන් ස්ථානයක් බිහිවීම සම්බන්ධයෙන් බොහෝ බලාපොරොත්තු තබාගෙන සිටියා. ඔහු මේ සම්බන්ධව විවිධ රජයන්වලින් ඉල්ලීම් කරමින් සිටියා. කෙසේනමුත් තාත්තා මෙම රජයෙන් කළ ඉල්ලීමට දැක්වූ ප්‍රතිචාරයක ඵලයක් ලෙස තමයි අමරදේව අසපුව බිහිවෙන්නේ.''
Q අමරදේව අසපුව නමින් එය නිර්මාණය කරන්නට බලපෑ විශේෂ හේතුවක් තියෙනවද?
අසපුව කියන වචනය තුළ යමක් ගම්‍ය වෙනවා නේද? මෙය මම හිතනවා සංගීත ක්ෂේත්රය වෙනුවෙන් ඉතාම ප්‍රතිඵලදායක එකක් වේවි. සංගීත ශිල්පියෙකුට ඇත්තෙන්ම සංගීත ඥානය හැර ඊට අනුපාන විය යුතු තවත් බොහෝ දැනුම් සම්භාරයක් අවශ්‍යයි.
ගීතයක් නිර්මාණය කරන විට එහි රසය, ගුණාත්මක බව වෙනුවෙන් ශිල්පීයත්වය භාවිත කරන්නට එය අත්‍යවශ්‍ය සාධකයක්. නමුත් එවන් තොරතුරු හෝ පොතපත පරිශීලනය කරන්නට දැනුම සොයාගන්නට තැනක් නොවීම අපේ සංගීත ක්ෂේත්රයට බලපෑ ලොකු අඩුවක්.
තාත්තා සංගීතය පමණක් නෙවෙයි සාහිත්‍ය භාෂාව ආදී බොහෝ දෑ පොතපත පරිශීලනය තුළින් හොඳින්ම උකහාගත් කෙනෙක්. ඔහු පරිශීලනය කළ පොත්පත්, ඔහු සංගීත නිර්මාණය කළ ස්වර ලිපි සහ සටහන් මෙන්ම වෙනත් රටවලින් ඔහු එකතුකරගත් සංගීතපට ආදී සියල්ලක්ම අමරදේව අසපුවට බාරදෙනවා.
එයින් මුළුමහත් රටේම සංගීතය ඉගෙන ගන්නා අයට, පර්යේෂණවල යෙදෙන්නන්ට ඒවා පරිශීලනය කිරීමේ අවස්ථාව උදාවෙනවා. එහි පුස්තකාලය සහ කෞතුකාගාරය, සම්මන්ත්රණ ශාලාව, ශබ්දාගාරය, දේශන ශාලා ආදී අංග ඇතුළත් වෙනවා. සංගීත ශිල්පීන්ට තම නිර්මාණ කටයුතු වෙනුවෙන් හමුවී සාකච්ඡා කර ඒවා ගැන තීරණ ගන්නට එයින් පහසුකම් සැලසෙනවා.
මෙරට පිටරට ඕනෑම කෙනෙකුට අමරදේව අසපුව වෙත පැමිණ බොහෝ නිදහස්ව තම දැනුම දියුණු කරගන්නට, ඉගෙන ගන්නට, ආභාසය ලබන්නට එහි පහසුකම් අන්තර්ගතයි. මේ සඳහා රජය පත්කරන නිලධාරී මඬුල්ලක් සහ ආයතන කිහිපයක සහය ලැබේවි.
Q මෙතෙක් අමරදේව මහතා සම්බන්ධයෙන් වූ සියලු කටයුතු සංවිධානය කළ අමරදේව පදනම මෙයින් පසු ක්‍රියාත්මක වෙන්නේ නැද්ද?
අමරදේව පදනම පෙර පරිදිම ක්‍රියාත්මක වෙනවා. අමරදේව පදනමත් අමරදේව අසපුවට අවශ්‍ය සියලු සහය ලබාදෙන අතර, අමරදේව මහතා සම්බන්ධයෙන් කරගෙන ආ වැඩකටයුතු තවදුරටත් ක්‍රියාත්මක කරනවා.
අමරදේව පදනම විසින් එතුමාගේ ගීත පිළිබඳ සිදුකළ සියලු කටයුතු ඒ ආකාරයෙන්ම ක්‍රියාත්මකයි. අප සොඳුරු වූ මිනිසා නමින් එතුමාගේ ගී සංයුක්ත තැටියක් නිර්මාණය කළා. එය සාර්ථකව ඉටුකර අවසන්ව අප දැන් දෙවැනි ගීත එකතුව නිර්මාණය කර එළිදැක්වීමට සූදානම්. මෙහි එතුමා ගැයූ අලුත්ම ගීත මෙන්ම ජනප්‍රිය වූ ගීත රාශියක්ම එකතු වෙනවා.
අලුත් සහ පරණ ගීත සියල්ල සියයට පනහ පනහ තරම් ප්‍රතිශතයකින් මෙහි ඇතුළත්. ඒ සම්බන්ධයෙන් අමරදේව පදනම මේ දිනවල කටයුතු කරමින් පවතිනවා. සාමාන්‍යයෙන් අමරදේව අසපුව ජනතා අයිතියට පවරන්නට තවත් වසර දෙකක් පමණ ගතවේවි. දැනට මුල්ගල තැබුවා පමණයිනේ. අමරදේව පදනම මෙතෙක් කරගෙන ආ වැඩපිළිවෙළ දිගටම පවතින අතර, එහි සහය අමරදේව අසපුව ඉදිවූ කාලෙක කාටත් ලබාදෙමින් ඉදිරියට පවත්වාගෙන යනවා.
Q මෙය මුළුමනින්ම රාජ්‍ය අනුග්‍රහය ඇතිව ඉදිවන ආයතනයක්ද? නැතිනම් කිසියම් ආකාරයක වෙනත් අනුග්රහයන් මේ වැඩකටයුත්තට ආධාර වෙනවාද?
වෙනත් රටවල නම් රසික ප්‍රජාව තමයි මෙවැනි වැඩ වෙනුවෙන් ක්‍රියාකාරී වෙන්නේ. නමුත් මෙම කටයුත්තේදී තනිකරම රජය තමයි මෙහි සියලු කටයුතු දරන්නේ. එහි පාලන කටයුතු වෙනුවෙන් සහ ශාලා පහසුකම්, ශබ්දාගාර ආදිය වෙනුවෙන් යම් මුදලක් අය කෙරේවි. කිසියම් අයෙකුට මේ ඉදිකිරීම් ආදිය ගැන යම් සහභාගීත්වයක් සිදුකරන්නට අවශ්‍ය නම් එය කළ හැකියි.
ඒ වගේම අපේ පවුලේ දැනුවත්කම ඇතිව අමරදේව පදනමේ දුරකථනය (072 934 0340) අමරදේව මහතා සම්බන්ධ ඕනෑම තොරතුරක් ලබාගැනීම වෙනුවෙන් මහජනයාට භාවිත කිරීමේ පහසුකම තිබෙනවා. ජනතාවාදී ගායකයෙක් වුණ එතුමා හැමදාමත් ඉතාම නිහතමානීව තමන්ගේ රසිකයන් පිළිගත් කෙනෙක්. මේ නිසාම ඔහු අඛණ්ඩව වසර කීපයක්ම පීපල්ස් එවෝර්ඩ් දිනාගත්තා.
ශ්‍රී ලංකා විශ්වවිද්‍යාල පහක් එතුමාට ගෞරව පිරිනැමුවා. ඒ ඔහු තුළ තිබුණු හැකියාවට දැනුම් සම්භාරයට පමණක් නෙවෙයි නිහතමානී ගුණයට ගරුකිරීම පිණිසයි. අප රටේ එතුමා ගැන නොදන්නා කෙනෙක් නැහැ. එවන් පුද්ගලයෙකු උදෙසා රජය කරගෙන යන මේ වැඩපිළිවෙළ මුළුමහත් සංගීත ක්ෂේත්රයටම ගරුත්වයක්.
මේ සඳහා මූලිකත්වය ගත් ජනාධිපතිතුමා, අගමැතිතුමා සහ ජනමාධ්‍ය ඇමතිතුමා ඇතුළු සියල්ලන්ටම ස්තූතිය පුදකරන අතරම, මෙයින් සංගීත ක්ෂේත්රයේ පැරණි සහ නවක යන ශිල්පීන් දෙගොල්ලන්ටම සැලසෙන සේවය භුක්ති විඳින්න ලැබෙන අවස්ථාව ගැන සතුටුයි. තාත්තා ජීවත්ව සිටියදී මෙවැනි තැනක් බිහිවීම සම්බන්ධයෙන් වූ ඔහුගේ සිහිනය තාත්තා මියගොස් වසරක් යන්නට මත්තෙන්ම ඉටුවීම ලොකු සතුටක්. ඇත්තෙන්ම අමරදේව අසපුව ඉදිරි සංගීත ක්ෂේත්රයට විශාල ආශිර්වාදයක් වේවි.