සනිධප සංගීත කණ්ඩායමේ නියාමක ගායකයෙකු වශයෙන් කටයුතු කළ ඔහු කලපුව ළඟ කඩොලාන කැලේ, සඳකින්නරාවි මාගේ, නිදියන්න ආසයි වැනි ජනප්‍රිය ගීත කිහිපයක හිමිකරුවාද වෙයි. මේ වනවිට සනිධප සංගීත කණ්ඩායමෙන් ඉවත්ව සිටින ඔහු නිලංග ද සිල්වාය. මේ කතාබහ ඔහු සමගයි.
Q සනිධප සංගීත කණ්ඩායමෙන් ඉවත් වීමත් එක්ක තවත් සංගීත කණ්ඩායමකට එකතු වීමේ බලාපොරොත්තුවක් තිබෙනවාද?
තනියම සංගීත ප්‍රසංගවලට සහභාගී වෙනවා. සංගීත කණ්ඩායම්වලට සම්බන්ධ වෙලා අවුරුදු විසි දෙකක්. සනිධප සමග සම්බන්ධ වෙලා අවුරුදු පහළොවක් වෙනවා. ඒ කණ්ඩායම වෙනුවෙන් මම ලොකු කැපකිරීමක් කළා. එහි තිබුණ හිරවුණ ජීවිතයෙන් මිදුණ නිසා ආයෙත් එහෙම කොටුවෙලා සංගීත කණ්ඩායමක ඉන්න හිතෙන්නෙ නැහැ. ඒත් සංගීත කණ්ඩායමක් ආරම්භ කරන බලාපොරොත්තුව තිබෙනවා. මේ වෙනකොට තනියම සංගීත ප්‍රසංගවලට දායක වෙනවා. හොඳ හදවත් තියෙන පුද්ගලයින් සමග සංගීත කණ්ඩායමක් ආරම්භ කරන්න බලාපොරොත්තු වෙනවා.
Q කණ්ඩායම් සංගීත ක්ෂේත්රයේ තිබෙන මේ ගැටලුව සාමාන්‍යකරණය වෙලා නේද?
අද බොහෝ සංගීත කණ්ඩායම් වල ප්‍රශ්න ගොඩක් තියෙන්නේ. සංගීත කණ්ඩායම් වෙනස්වීමට වගේම ලෝකය පවා විනාශ වීමට එකම හේතුව ඊර්ෂ්‍යාව. එය මුල් වූ විට ප්‍රශ්න ඇති වෙනවා. හොඳ දේ අගය කරන්නෙ නැතුව හරියන එක බලන් ඉන්න බැරි වුණාම මුල් වෙන්නේ ඊර්ෂ්‍යාව. හොඳ නිර්මාණයක් කළාම අගය කරන්න බැරි පිරිසක් තමයි අද සංගීත කණ්ඩායම් ක්ෂේත්රය තුළ ඉන්නේ.
Q සනිධප කණ්ඩායමේ හිටපු නායකයා පසුගිය කාලෙම කතා කළේ කණ්ඩායමේ විනය ගැන?
ඔය විනය කඩකර අපව ඉවත් කරනවා කියන පුද්ගලයාට මම විනය කඩලා තියෙනවා නම් මාධ්‍යයට කියන්න කියලා මම අභියෝග කරනවා. මෙතුවක් කල් කළේ කණ්ඩායමේ තියෙන විනය ආරක්ෂ කළ එක. මම කණ්ඩායමේ විනය කඩකරලා නැහැ. නමුත් කණ්ඩායමේ විනය ගැන කියන පුද්ගලයා ගැන පරීක්ෂණයක් තිබ්බොත් නීතිමය තත්ත්වයන් පවා ඇති වේවි. විනය කඩකළ තවත් පුද්ගලයින් කණ්ඩායම ඇතුළෙ ඉන්නවා. ඒ අයට උල්පන්දම් දිදී ඒ අය ආරක්ෂා කරමින් විනය ආරක්ෂා කළ මාව ඉවත් කළා.
Q කාලයක් යනතුරු සනිධප කණ්ඩායමේ ගායකයෙකු ලෙස ඉස්මතුවීමට ඔබට ඉඩ නොලැබුණේ ඇයි?
හිටපු නායකයා කණ්ඩායම තුළ කටයුතු කරන විට කණ්ඩායමේ අනෙකුත් අය ඉස්මතු කළේ නැහැ. මගේ ගීතයක් ගායනා කරන විටත් වෙන කෙනෙකුගේ නමක් කියන්නේ. 2008 පසුව තමයි මගේ ගීත නිර්මාණය වුණේ. මාව හංඟන්න සැලසුමක් තිබුණා. ඒක දන්නවා. බයිබලයේ කතාවක් තිබෙනවා මිනිසා විසින් පහත් කරනු ලබන්නා දෙවියන් විසින් උසස් කරන ලදී කියලා. ඒක සිදුවුණේ සංගීත් සංගීත කණ්ඩායමෙන් ගියාට පස්සේ.
Q එහෙම සැලසුමක් දැනුණා නම් ඒ මොහොතේ ඇයි තීරණයක් නොගත්තේ?
ඒකට හේතුව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන වගේ තමන්ගේ මොහොත එනකම් නිහඬව සිටීම. එදා මම කණ්ඩායමෙන් කැඩිලා ගියා නම් අද මෙතන නැහැ. විඳ දරාගෙන හිටපු එකේ ප්‍රතිඵල අද ලැබෙන්නේ. 2004 තමයි මට කණ්ඩායමෙන් ඉවත්වෙන්න වැඩ සිදුවුණේ. එදා ඉවසීමෙන් ඒ ගමන වැළකුවේ රොෂාන් ප්‍රනාන්දු.
Q ඔබේ ඉදිරි ගී නිර්මාණ කටයුතු ගැන සඳහන් කළොත්?
මම ගීතයක් නිර්මාණය කර තිබෙනවා අතීතය මවලා නමින්. එයට රූප රචනාවක් කිරීමේ බලාපොරොත්තුවෙන් ඉන්නේ. ඒ වැඩ පමා වුණේ කණ්ඩායමේ ඇති වූ අර්බුදත් එක්ක. ප්‍රියන්ත නාවලගේ ඒ ගීතය නිර්මාණය කළේ සංගීත කණ්ඩායම වෙනුවෙන්මයි. මීට පෙර බයිලා ගීතයක් නිර්මාණය කළා. එය ඉදිරියටත් ගායනා කරනවා.