ශ්‍රීමාලි ෆොන්සේකා යනු ලංකාවේ දක්ෂ මෙන්ම ප්‍රවීණ නිරූපණ ශිල්පිනියකි. ලංකාවේ නාමය ජාත්‍යන්තරය දක්වා ගෙන ගිය කෙනෙකු ලෙස ඇයව හඳුන්වාදිය හැකිය. එදා මෙන්ම අදත් සුරූපිනියක් වන ඇය මෙවර 'අද' තරු කතාබහට එක්විය.
Q මේ දිනවල කලා කටයුතුවලින් ඈත්වෙලාද?
නෑ. මේ දිනවල ජාතික රූපවාහිනියෙන් රාත්‍රී 8.30ට 'විමංසා' ටෙලිනාට්‍ය තිරගත වෙනවා. මම එහි ප්‍රධාන චරිතයකට දායක වෙනවා. ඒ වගේම 'අභිශේක' කියලා චිත්‍රපටයකට සම්බන්ධ වුණා. ඒකෙත් වැඩකටයුතු ගොඩක්දුරට ඉවරයි.
ඊට අමතරව මගේ ව්‍යාපාර කටයුතුත් සිදුවෙනවා. මම ගොඩක් වෙළෙඳ දැන්වීම් සඳහාත් සහභාගී වෙනවා.
Q සිනමාවේ හා ටෙලිනාට්‍යවලට වඩා ඔබව දකින්න ලැබෙන්නේ වෙළෙඳ දැන්වීම් තුළින්, ඒකට හේතුවක් තිබෙනවාද?
හේතුවක් කියන්නේ, මට ගොඩක් ආරාධනා ලැබෙනවා. ඒ ඇරෙන්න මම වෙළෙඳ දැන්වීම්වලට පෙනී සිටින්න ආසයි. මම හිතන්නේ ගොඩක් වෙලාවට වෙළෙඳ දැන්වීම්වලින් මිනිස්සු අතරට යන්න පුළුවන්. හැම නාළිකාවකම හැමතිස්සෙම වෙළෙඳ දැන්වීම් යන නිසා ඒක ගොඩාක් මිනිස්සුන්ට මතක හිටිනවා. මේ වන විට මම මිනිස්සුන්ට මතක හිටින වෙළෙඳ දැන්වීම් ගොඩක් කරල තියෙනවා.
Q ජීවිතේ හැරවුම් ලක්ෂයක් වුණ කාලයක් තිබුණා. ඒ කාලය ගැන ටිකක් මතක් කළොත්?
ඒ 2012දී. මිසිස් ශ්‍රී ලංකා ලෙස කිරුළ ලබාගන්න මට අවස්ථාවක් ලැබුණා. ඒ වර්ෂයේදීම මිසිස් ඒෂියා කිරුළ දිනාගන්නත් අවස්ථාවක් ලැබුණා. ඒ හරහා තමයි ගොඩක් මාධ්‍යයට එන්න අවස්ථාව ලැබුණේ. ඊට කලින් ඉඳන්ම මගේ ව්‍යාපාර කටයුතු එක්ක මම හිටියා.
Q ප්‍රවීණ නිරූපණ ශිල්පිනියෙක් විදිහට Pageant ඉහේ කෙස් ගාණට කියන දේ ගැන ඔබ දකින්නේ කොහොමද?
ඒ රැල්ල ඇති කළේ මමද කියලත් වෙලාවකට හිතෙනවා. මම 2012 මිසිස් ශ්‍රී ලංකා එකට අයදුම්පත් භාරදෙනකොට එහෙම ප්‍රශ්නයක් තිබුණෙ නැහැ. පොඩි කාලෙ ඉඳන් තිබුණ ආසාවක් නිසා මිසක් කවුරුවත් වගේ වෙන්න අවශ්‍යතාවක් තිබුණේ නැහැ.
ඊට පස්සෙ මම කියන චරිතය කවුද කියල ගොඩක් මිනිස්සු හොයන්න ගත්තා. ඊට පසුව මට ගොඩක් මාධ්‍යවලින් ආරාධනා ලැබුණා. නිවේදන කටයුතුවලට, සන්නාම කළමනාකාරිණියක් ලෙස ගොඩක් අවස්ථා ලැබුණා.
මට ගොඩක් වෙලාවට විනිශ්චය මණ්ඩලය සඳහා ආරාධනා ලැබුණත් මම යන්නෙ නැහැ. මොකද ලංකාවේ Crown එකක් දාන එක දැන් විහිළුවක් වෙලා තියෙනවා. Pageant කියන එක රැල්ලට ගිහින් තත්ත්වය බාල වෙලා තියෙනවා.
Q මේ කාරණාව වෘත්තීය වශයෙන් නිරූපණයේ නියැළෙන්නන්ට හානියක් නේද?
අනිවාර්යයෙන්ම හානියක්. මොකද සුදුසු අය නෙවෙයි ක්ෂේත්රයට එන්නේ. අද ගොඩක් අයට පැවැත්මක් නැහැ. Crown එකක් දාගත්ත කියලා Beauty Queen කෙනෙක් වෙන්න බැහැ. ලංකාවේ සමාජයේ අය ජීවත් වෙන්නේ ගොඩක්ම බොරුවෙන්. ඒ බොරුවත් වැඩිකල් තියෙන්නේ නෑ.
Q ක්ෂේත්රයේ අද තත්ත්වය ගැන ඔබට මොකද හිතෙන්නේ?
අභාවයට නෙවෙයි මේ ක්ෂේත්රය වෙනම පැත්තකට ගිහිල්ලා තියෙන්නේ. ඇත්තටම ඒ අය නිරූපිකාවොත් නෙවෙයි. Bridal එකකට ගිහින් Photo Shoot එකක් කරලා නිරූපිකාවන් බවට පත්වෙලා එන ගමනක් තියෙන්නේ. අද සමාජය තුළ නිරූපිකාවක් කියල කියන්න ලැජ්ජා වෙන තත්ත්වයට පත්වෙලා තියෙනවා. ඉතිං ඒක නිසා ලොකු කලකිරීමක් තියෙන්නේ.
Q මෙවැනි දෙයක් වෙන්න ෆේස්බුක් කියන දේ ලොකු බලපෑමක් වෙලා නේද?
ෆේස්බුක් වලින් ජනප්‍රිය වෙච්ච අයනේ ගොඩක් ඉන්නේ. ෆේස්බුක් කියන දේ ලංකාවට පිලලයක් වෙලා තියෙන්නේ. මිනිස්සු මේක අනවශ්‍ය දේවල් සඳහා තමයි භාවිත කරන්නේ. ෆේස්බුක් කියන හොඳ දේ වෙනුවෙන් සඳහා භාවිත කරන අය ගොඩක් අඩුයි.
මම දැන් ෆේස්බුක් නැහැ. මොකද මට ෆේස්බුක් අප්‍රිය වුණා. සමහර මිනිස්සු එවන මැසේජ්, දාන කමෙන්ට්ස් මට හිතාගන්න බෑ මිනිස්සු මෙච්චර පහත්ද කියලා. ෆේස්බුක් කියන දේ ලංකාවට නොගැළපෙන දෙයක්. ෆේස්බුක් පාවිච්චි කරන සමහර අය බුද්ධිමට්ටමෙන් අඩු අය කියලා මට හිතෙනවා.
අපේ ගොඩක් අය කරන්නේ සමාජ මාධ්‍ය ජාල හෝ වෙබ් අඩවි සඳහා තමන්ගේ ගොසිප් දීලා ජනප්‍රිය වෙන එක. දැන් ඒක රැල්ලක් වෙලා. එක්කෝ තමන්ගේ නිරුවත් පින්තූරයක් දීලා ජනප්‍රිය වෙනවා. මම කියන්නෙ නෑ හැමෝම කියලා.
ඊට පස්සෙ ඒ අය තමා නිරූපිකාවෝ, එහෙමත් නැත්නම් නිළියො වෙන්නේ. මට වෙලාවකට හිතෙනවා ලංකාවේ ජීවත්වෙන එකත් එච්චර හොඳ නැහැයි කියලා. ක්ෂේත්රය ගැන පුදුම කලකිරීමකින් මම ඉන්නේ.
Q ශ්‍රීමාලි කියන චරිතය ක්ෂේත්රයේ තව තවත් අවධානයට යොමුවෙන චරිතයක් වෙලා. මේකට රහසක් තියෙනවාද?
මම බොරුවෙන් නෙවෙයි ජීවත් වෙන්නේ. මට බොරු කරන්න ගොඩක් අමාරුයි. මම ඕනවටත් වඩා අවංකයි. එහෙම වුණාම කලකිරීම් ඇතිවෙනවා ගොඩක් වැඩියි. මම විශ්වාස කරන දෙවියන් අනුව මම වැරැද්දක් කළොත් ඒකෙ ඵල විපාක මට වගේම මම හොඳක් කළොත් ඒකේ ඵල විපාකත් මට ලැබෙනවා. ඒ වගේම තමයි අනිත් අයටත්.
Q ක්ෂේත්රය තුළ ලිංගික අල්ලස් තිබෙන බව නවකයන් පවසනවා නේද?
ලිංගික අල්ලස් ඉල්ලනවා නම් ඒවා පසුව කියල වැඩක් නැහැ. තමන්ගේ බලාපොරොත්තුව ඉටු නොවුණාම තමයි ලිංගික අල්ලස් ඉල්ලනවා කියල කියන්නේ. පොලීසියට ගිහින් කියන්න ඕන මගෙන් ලිංගික අල්ලස් ඉල්ලනවා කියලා. එයා නිළියක් හෝ Beauty Queen කෙනෙක් වුණේ නැති වුණාම ඔහොම චෝදනා කරලා තේරුමක් නෑනේ. මේ ක්ෂේත්රය තනිකරම නාට්‍යයක්. එක එක කතා ගොතනවා. බොරුව තමයි ඉතිං රජ කරන්නේ.
Q ප්‍රමිතියක් නැති දේවල්වල ප්‍රමිතියක් ඇතිකරන්න බැරිද?
ප්‍රමිතියක් ඇතිකරන්න බෑ. ඉස්සර නිරූපිකාවක් කීවාම ඒක ලොකු දෙයක්. අද නිරූපිකාවක් කීවාම මිනිස්සු හිතන්නේ වෙනම පැත්තක්නේ. ඒක බොරු නෙවේ. ඒක ඇත්ත. නිරූපිකාවක් කියලා හිතන්න හිරිකිත මට්ටමට මේ ක්ෂේත්රය පත්වෙලා.
Q මේකට වගකිව යුත්තේ නිරූපිකාවන්මද?
අද බොහෝ නිරූපිකාවෝ වෘත්තීමය අය නෙවෙයි. වර්තමානයේ බිහිවෙලා ඉන්න අඩි පහක්වත් උස නැති නිරුපිකාවන් යැයි කියාගන්නා සමහර අය තමයි මීට වගකිව යුත්තේ. කිසිම හැකියාවක් නැහැ. හැබැයි ෆේස්බුක් එකේ ලස්සනට එඩිට් කරලා ෆොටෝ දාලා තියෙනවා.
ඒක තමයි අද ඉන්නේ ෆේස්බුක් එකෙන් ජනප්‍රිය වුණ නිරූපිකාවන් කියලා කිව්වේ. 'බලු නැට්ටෙ ඇදේ අරින්න බෑ' කියනවා වගේ ඕවා හදන්න අපිට බෑනේ. අපි නරක නාම ගාගන්න ඕනත් නෑ. ප්‍රශ්න ඇති කරගන්න ඕනත් නෑ. ඒකනේ අද වනවිට වෘත්තීමය නිරූපිකාවන් පැත්තකට වෙලා ඉන්නේ. මේක තමයි තත්ත්වය
Q ඔබට කලකිරීමෙන් නිසාද මේ නිහැඬියාව?
අනිවාර්යෙන්ම, කලකිරීම 100% තියෙනවා. මොකද නිරූපිකාවෝ කියාගත්තු සමහර ගැහැනු කියන, කතා කරන දේවල්වල හැටියට මම මොඩ්ල් කෙනෙක්, Beauty Queen කෙනෙක් කියලා කියන්නත් ලැජ්ජයි.