පාදුක්ක සිරි පියරතන විදුහලෙන් මූලික අධ්‍යාපන කටයුතු නිමකරන ඇය, අනතුරුව පේරාදෙණිය විශ්වවිද්‍යාලයට ප්‍රවේශ වන්නීය.
එහිදී සමාජ විද්‍යාව පිළිබඳ ගෞරව උපාධිය නිම කරන ඇය, මේ වනවිට ඔස්ට්‍රේලියාවේදී 'Medical sociology' උපාධියද හදාරා එහිම 'Medical review officer' කෙනෙකු ලෙස සේවය කරන්නීය. එමෙන්ම ඇය නිවේදිකාවක හා නිරූපණ ශිල්පිනියක ලෙසද කටයුතු කරන්නීය. ඇය නමින් චතූ පත්බේරියයි.
Q කලාවට යොමු වෙන්න ලැබෙන්නෙ කොහොමද?
මම කුඩා කාලයේ සිටම කලාවට ගොඩක් කැමතියි. කුඩා අවදියේ සිටම මම රෝහණ වීරසිංහ මහතා යටතේ සංගීතය හැදෑරුවා. මංගල සේනානායක මහතාගෙන් වේදිකා නාට්‍යය හා රංගන කලාව ගැන ඉගෙන ගත්තා.
ඒ වගේම නර්තනය අංශයෙන් මම භරත නර්තනය හැදෑරුවා. ලංකාවේ ඉන්න කාලයේ මම 'අරංගේත්රම්' ප්‍රසංගයක් පවා පැවැත්වූවා. ඒ වගේම ගුවන්විදුලි නාට්‍යය හඬකැවීමටත් දායකව සිටියා.
Q මේ වනවිට ඔබ සිටින ඔස්ට්‍රේලියාවේදී කලා කටයුතු කරන්න කොහොමද ඉඩක් ලැබෙන්නෙ?
මම ඉන්නේ ඔස්ට්‍රේලියාවේ මෙල්බන්වල. මෙල්බන් කියන්නෙ ලංකාවේ කලා කටයුතු වැඩියෙන්ම තියෙන නගරයක්. ලංකාවේ අය ගොඩක් මේ නගරයේ ඉන්නවා. මෙල්බන්වල ලංකාවේ උප සංස්කෘතීන් බිහිවෙලා තියෙනවා කිව්වොත් නිවැරදියි. මේ වනවිට මේ නගරය තුළ ලංකාවේ පුවත්පත්, ලංකාවේ විවිධ වැඩසටහන් හා සංගීත ප්‍රසංග පැවැත්වෙනවා.
මුල් කාලයේදී මෙරටේ නිෂ්පාදන ආයතනයක් තුළින් ඒ දේවලට සම්බන්ධ වෙන්න මටත් ඉඩක් ලැබුණා. මේ වනවිට මම නිරූපිකාවක ලෙස කටයුතු කරනවා. 'bridle show' සහ මියුසික් වීඩියෝ වැනි දේවලටත් සම්බන්ධ වෙනවා. ඒ වගේම අපටම කියලා රූපවාහිනී නාළිකාවක් පෙර පැවතියේ නැහැ.
ඒ නිසා අපි වැඩ කළේ බී.බී.සී. සමග එක්වෙලා. 2012 සිට මට මේ කටයුතුවලට ඒ තරම් මැදිහත්වීමක් වෙන්න බැරි වුණා. ඒත් මීට මාස හයකට පමණ පෙර ආරම්භ කළා 'විශ්වවාහිනී' නමින් රූපවාහිනී නාළිකාවක්. මෙහි ආරම්භකයත්, ප්‍රධානියත් බන්දු දිසානායක මහතා. එම ආයතනයේත් නිවේදිකාවක ලෙස වැඩ කටයුතුවලට දායක වෙන්න හැකියාව ලැබී තිබෙනවා.
Q 2012 වර්ෂයෙන් පසු ඔබේ කලා කටයුතු සිදුවුණේ මන්දගාමී ලෙස නේද? එයට හේතුව මොකක්ද?
2012 වසරේදී මගේ ජීවිතේ අවාසනාවන්ත අත්දැකීමකට මම මුහුණ දුන්නා. මට පියයුරු පිළිකාවක් තියෙනවා කියලා වෛද්‍යවරු කිව්වා. ජීවත් වෙන්න පුළුවන් මාසයක වගේ කාලයක් කියලා ඔවුන් සඳහන් කළා. ලස්සනට හිටිය මම කැත වෙන්න පටන් ගත්තා. මගේ කොණ්ඩය ගැළවෙන්න ගත්තා. අසනීපය නිසා කලා කටයුතුවලින් ඈත්වෙන්න වුණා.
මම අවුරුදු ගාණක් ආදරය කළ කෙනත් මාව දාලා ගියා. දැන් මම සුවවෙලා ඉන්නෙ වෛද්‍යවරු කියනවා කිසිම පිළිකා සෛලයක් මගේ ශරීරයේ නෑ කියලා. මම ඒ මාරාන්තික පිළිකාවෙන් මිදුණා. මම හැම දෙයක් දිහාම සුබවාදීව බැලුවා. මම අදටත් පිළිකා වැලඳුණු අය එක්ක මේ අත්දැකීම බෙදා ගන්නවා.
නිවේදිකාවක්, නිරූපිකාවක් කියන එකෙන් එහාට ගිහින් පිළිකා සම්බන්ධයෙන් සමාජය දැනුවත් කිරීම්වල මම නියැළෙනවා. හිතේ ශක්තිය තිබ්බොත් අපට මේ දේවල් පරාජය කරන්න පුළුවන් කියලා හැමෝටම කියන්න ඕන. ලංකාවෙත් මහරගම පිළිකා රෝහල එක්ක මම සබඳතා පවත්වනවා. ඒ අය එක්ක කතා කරනවා.
Q ඔබට ඔස්ට්‍රේලියාවෙනුත් සම්මාන හිමිවුණා නේද? ඒ ගැන කතා කළොත්?
2014 නුවන් සමරපති රචනා කළ 'U-Turn' ධනාත්මක චින්තන ග්‍රන්ථය ඔහු ලංකාවෙත්, ඔස්ට්‍රේලියාවෙත් එළිදක්වනවා. එහිදී 'Role Model' ලෙස ලංකාවෙන් අනෝජා වීරසිංහ මහත්මිය තෝර ගත්තා. ඔස්ට්‍රේලියාවෙන් මාව තෝරා ගත්තෙ. පසුව මම ගැන ගොඩක් අය කතා කරන්න ගත්තා. ඔස්ට්‍රේලියාවේ තියෙන 'සෙරන්ඩිබ්' සම්මාන උලෙළේදී 2015/2016 වසරවල 'Most Inspirational Award' එක මට හිමිවුණා.
Q ඉදිරි කටයුතු ගැන සඳහන් කළොත්?
ඔස්ට්‍රේලියාවේ රැකියා කටයුතු කරන අතර විශ්වවාහිනී නාළිකාවේ වැඩ කටයුතු කරනවා. නිරූපණ කටයුතුත් සිදුකරනවා. චිත්‍රපටයකට දායක වෙන්න අවස්ථාව ලැබුණා. ඔස්ට්‍රේලියාවේ ජීවත් වූ ලාංකික පවුලක සත්‍යය කතාවක් එයට පාදක වෙන්නෙ. රූගතකිරීම් සිදුවෙන්නෙත් ඔස්ට්‍රේලියාවේ එය මට පහසුවක්. එයටත් දායක වෙනවා.
[email protected]