සිහින කුමරියක ලෙස නිරූපණයට පිවිසි ඇය මේ වන විට ටෙලිනාට්‍ය රංගනයටද දායකත්වය ලබාදී ඇත. නව යෞවන වියේ පසුවන සංජුලා රවිෂ්මි ඇගේ ඉදිරි කලා කටයුතු පිළිබඳ ‘අද' සමගින් මෙලෙස පිළිසඳරක නිරත වූවාය.
Q ඔබ ගැන හැඳින්වීමක් කළොත්?
මගේ නම පල්ලියගුරුගේ සංජුලා රවිෂ්මි. වයස අවුරුදු 21යි. කඩුවෙල මධ්‍ය මහා විද්‍යාලයෙන් හා රත්නාවලී බාලිකා විද්‍යාලයෙන් තමයි අධ්‍යාපනය හැදෑරුවේ.
Q ඉගෙනීම් කටයුතු නිමා කරලද ඉන්නේ?
මම මේ දවස්වල ව්‍යාපාර කළමනාකරණ ඩිප්ලෝමාව කරමින් ඉන්නෙ. පෞද්ගලික අංශයේ ගිණුම් විධායක නිලධාරිනියක් ලෙස කටයුතු කරනවා. ඊට අමතරව නිරූපණ ක්ෂේත්‍ර‘යේ නියැළිලා ඉන්නවා. ටෙලිනාට්‍ය දෙකකට දායක වුණා. ඒ දෙකම ITN නාලිකාවේ විකාශය වුණා. එකක් ‘මේඝා’, අනිත් එක ‘ආදර වැස්සක්’. තවත් නිර්මාණවලට ආරාධනා ලැබිලා තියෙනවා. වෙළෙඳ දැන්වීම්වලටත් ආරාධනා ලැබුණා. ගිය වසරේ ස්වර්ණවාහිනී නාළිකාවේ ස්වර්ණකුමරිය වුණේ මමයි.
Q පෞද්ගලික අංශයේ රැකියාවක නිරතවෙලා ඉන්න ගමන් නිරූපණයට යොමුවෙන්න හිතුවේ ඇයි?
මම රැකියාවක් කරන්න කලින් පාසල් කාලේ ඉඳන්ම දෙරණ නාළිකාවේ නිරූපිකාවක් ලෙස පෙනී සිටියා. එතැනින් තමයි පටන්ගත්තේ. ඒ අතරතුර ටෙලිනාට්‍ය සඳහා ආරාධනා ලැබුණා. උසස්පෙළින් පසු ඒ සඳහා දායක වුණා. ලැබෙන කාලයත් එක්ක දැන් ඒ දේවල් සමග රැකියාවත් කරගෙන යනවා. ගොඩක්ම විනෝදාංශයක් විදියට තමයි ඒ දේවල් කරන්නේ.
Q නිරූපණ ක්ෂේත්රයට එකතු වෙද්දී ගෙදර අයගෙන් බලපෑමක් ඇතිවුණේ නැද්ද?
ගෙදරින් ගොඩක් ලොකු සහයෝගයක් ලැබුණා. ආච්චි තමයි මට ගොඩක්ම උදව් කළේ සහ මාව උනන්දු කළේ. අපේ පවුලම කලාවට ළැදියි. එහෙම තමයි ක්ෂේත්රයට ආවේ.
Q වර්තමානයේ නිරූපණය කියන දේ ඔබ දකින්නේ කොහොමද?
නිරූපණය කියන දේ හොඳ පැත්තක් තියෙනවා. හරියට නිරූපණය කියන ක්ෂේත්රය හඳුනාගෙන කටයුතු කළොත් හොඳ තැනකට යන්න පුළුවන්. ඒත් අවශ්‍ය විදියට එකපාරට ක්ෂේත්රයට එන්න බෑ. යම්දෙයක් ඉගෙන ගන්න ඕන. වර්තමානයේ හතු පිපෙනවා වගේ අලුතින් අය එනවා යනවා. හරි විදියට හිටියොත් හොඳ තැනක් තියාගෙන ඉන්න පුළුවන්. තමන් ක්ෂේත්රය තුළ හැසිරෙන ආකාරය අනුව තමයි හැමදේම තීරණය වෙන්නේ.
Q නවකයන්ගේ පැමිණීමත් එක්ක ක්ෂේත්රයට අවදානමක් තියෙනවා නේද?
ඔව් අවදානම් තත්ත්වයකුත් තියෙනවා. ඒ වගේම නවකයන්ට වුණත් හොඳ අවස්ථාවක් තියෙනවා, හොඳ අනාගතයක් තියෙනවා. නවකයන් තමයි ක්ෂේත්රයට අනිවාර්යයෙන් අවශ්‍ය. මොකද අලුත් දෙයක් කරන්න නවකයන්ට ලොකු හැකියාවක් තියෙනවා. නමුත් එකපාරටම ක්ෂේත්රයට එනවට වඩා නිරූපණය කියන්නේ මොකක්ද කියන දේ දැනගෙන සහ ක්ෂේත්රය පිළිබඳ හැදෑරීමක් කරලා ඒ සඳහා යොමුවෙනවා නම් හොඳයි කියලා මම හිතනවා.
Q ක්ෂේත්රයේ රැඳී ඉන්න නම් ජනප්‍රිය වෙන්නම ඕනද?
ජනප්‍රියත්වය කියන දේ නිරූපණ ක්ෂේත්රයට පැමිණි පසු කොහොමත් ලැබෙන දෙයක්. නමුත් ජනප්‍රියත්වය උදෙසාම නිරූපණ ක්ෂේත්‍ර‘යේ යෙදුණොත් යන පාර මොකක්ද කියන එක හරියට හඳුනාගන්න බැරි වෙනවා. තමන් හොඳ නිර්මාණයක් එළියට දෙන්න පුළුවන් විදියට වැඩ කරනවා නම් සමාජයේ අප වැලඳගන්නා පිරිස වැඩියි. එහෙම තමයි ජනප්‍රියත්වයට පත්වෙන්නේ. නැතිව ජනප්‍රියත්වය උදෙසා ක්ෂේත්රයට යොමුවෙන්න හොඳ නැහැ.
Q ඔබගේ ඉදිරි බලාපොරොත්තු මොනවාද?
ටෙලිනාට්‍යයකට සම්බන්ධ වෙන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා. ඒ වගේම මියුසික් වීඩියෝ සහ වෙළෙඳ දැන්වීම් සඳහාත්, නිරූපණ ක්ෂේත්‍ර‘යේත් දිගටම රැඳී ඉන්න බලාපොරොත්තුවක් තියෙනවා. Bridal තමයි මම ගොඩක්ම කැමති. ඒත් සමගම අධ්‍යාපන කටයුතු සහ ව්‍යාපාර කටයුතු සමබරව කරගෙන යාමට තමයි බලාපොරොත්තුව.
Q ඔබ දායකත්වය දැක්වූ වෙළෙඳ දැන්වීම් මොනවාද?
ඩයලොග් ශිෂ්‍යත්ව වැඩසටහනක වෙළෙඳ දැන්වීමක් සඳහා දායක වුණා. එය මගේ පළමුවැනි වෙළෙඳ දැන්වීම. ඊට අමතරව කොමර්ෂල් බැංකුවේ වෙළෙඳ දැන්වීමකට සහභාගී වුණා. තවත් ඒ වගේ දැන්වීම් කීපයකට සහභාගී වෙලා තියෙනවා.
Q බට අතහිත දුන් මතක් කළයුතු පිරිසක් ඉන්නවාද?
ඔව් අනිවාර්යයෙන්ම. මගේ පස්සෙන්ම හිටියෙ මගේ අම්මයි, ආච්චියි සහ මගේ පවුලේ අයයි. ඒ වගේම ක්ෂේත්රයට එන්න පාර සලස්වලා දුන්නේ නිරෝෂා සැලෝන් ආයතනය සහ සැලෝන් ශයෝමා ආයතනයයි. මගේ පාසලේ යහළු හිතමිත්‍රාදීන් ඇතුළු මට උදව් උපකාර කළ සැවොම මේ මොහොතේ මතක් කළ යුතුයි.
ඡායාරූප - සුමුදු හේවාපතිරණ