බොහෝ දක්ෂ කලාකරුවන් අතරින් වෙනත් ආකල්පයක් ඇති කලාකරුවන් ඇත්තේ ඉතාමත් අතළොස්සක් බව කිව හැකිය. විනෝදාංශය වශයෙන් කරනු ලබන කලා නිර්මාණ පසු කාලෙක වෘත්තීමය තත්ත්වයට පත් වන්නේ එයට සමාජය තුළ කෙතරම් වැදගත්කමක් හිමි වන්නේයද යන කාරණය මතය. එය වැළැක්විය නොහැකි කාරණයකි. එයට හේතුව වන්නේ විනෝදාංශයක් තුළින් මතුවන කලා නිර්මාණයන්ට මූලික වටිනාකමක් හිමිවීමේදි එය වෘත්තීමය අගයක් හිමිවීම අනිවාර්ය වන හෙයිනි.
මෙවැනි කලාකරුවන් අතරින් තමන්ව වෙනස් ආකාරයකින් හදුන්වන ඇය ටාන්යා ශත්සේවා නම් වෙයි. ඇයව බොහෝ දෙනා හඳුනන්නේ නිදහස් ආත්මය ලෙසයි. එයට හේතුව වන්නේ ඇය විසින් සිතුවම් කරන කලා නිර්මාණ සිදුවන්නේ පූර්ණ නිදහසක් තුළ වීම බවට ඇය පවසා ඇති හෙයිනි. මෙම සිතුවම් කලාව ඇගේ වෘත්තීය නොවේ. ඇය විසින් සිතුවම් කරනු ලබන කිසිදු සිතුවමක් සඳහා ඇය මිලක් නොකියන්නේ, ඒ දේ අලෙවි නොකරන හෙයිනි. තෙල් සායම් සහ කැන්වස් මතින් දවසේ ආරම්භය ලබන ඇය එම දවස අවසන් කරන්නේද එම කැන්වසය මතයි. නිදහස් කලාකරුවෙකු වන ඇයට මෙය තම ජීවිතය කර ගෙන හමාර බවටද නිසැකවම කිව හැකිය.
එක්තරා සඟරාවක් විසින් ඇයත් සමග කරනු ලැබූ සම්මුඛ සාකච්ඡාවකදී ඇය පවසා තිබුණේ "මට මගේ නිර්මාණය වැදගත් වන්නේ නැහැ. මට වැදගත් වන්නේ එම නිර්මාණයෙන් අනෙකා ගන්නා අවබෝධයයි* යනුවෙනි. ඊට අමතරව ඇය කියා ඇත්තේ 'ලස්සන' යනු රටාවක් බවයි. එම රටාව තේරුම් ගන්නා කලාව තේරුම් ගන්නවා" යන්නයි. ඇය විසින් සිතුවම් කරනු ලබන සෑම සිතුවමක්ම තර්කානුකූලව විග්රහ කිරීමට බොහෝ සේ කැමති බවද මෙම සම්මුඛ සාකච්ඡාවේදී පවසා තිබේ.
මේ වනවිට අවුරුදු 21 ක් වයසැති ඇය තවමත් තම දෙමාපියන් යටතේ සෙවණ ලබන යුවතියකි. විනෝදාශය වූ සිතුවම් කලාව කෙදිනක හෝ වෘත්තීමය දිවිය වනවාදැයි ඇයට කිසිදු අදහසක් නොමැති බවද ඇය පවසයි. ඇගේ සිහිනය වන්නේ කලායතනයක් ආරම්භ කිරීමටයි. එයත් නොමිලේ පවත්වාගෙන යාමට බොහෝ සෙයින් උත්සහ කරන බවටද ඇය කියා ඇත. එම දේ සඳහා තම නිර්මාණ අලෙවි කිරීමට සිදුවහොත් එය නොපිරිහෙළාම ඉෂ්ඨ කරන බවටද ඇය දැඩිව ප්රකාශ කරයි.