මෙවර රාජ්‍ය සාහිත්‍ය සම්මාන උලෙළේදී හොඳම සාහිත්‍යමය නාට්‍ය පිටපත් රචනයට හිමි සම්මානය දිනාගත්තේ ආචාර්ය ජයලත් මනෝරත්නයන්ය. ඒ 'හඬ නිහඬ' වේදිකා නාට්‍ය වෙනුවෙනි. මේ දිනවල සිය නවතම වේදිකා නාට්‍ය වන 'වන ලැහැබ' වේදිකා නාට්‍යයද නිර්මාණය කරමින් සිටින මනෝරත්නයන් සමගින් කෙටි කතාබහකට අපි එක්වූයෙමු.
Q මුලින්ම 'වන ලැහැබ' ගැන කතා කරමු?
නෘත්‍ය නාට්‍ය ශානරය යටතේ තමයි මේ වේදිකා නාට්‍ය වර්ගීකරණය වෙන්නේ. අකිරා කුරසාවාගේ රෂෝමොන් තිර නාටකය පාදක කරගෙන තමයි මේ නාට්‍ය නිෂ්පාදනය වෙන්නේ.
Q ඔබ මෙවර දිනාගත් 'හඬ නිහඬ' රාජ්‍ය සාහිත්‍ය සම්මානය ගැන කතා කරමුද?
මේක මගේ හතර වැනි සාහිත්‍ය සම්මානය. මීට පෙර මගේ නාට්‍ය හතරකට සාහිත්‍ය සම්මානය ලැබිලා තියෙනවා. මීට පෙර මට 'අන්දරේලා', 'සුදු රෙදි හොරු', 'සෙල්ලම් නිරිඳු' යන නාට්‍ය සඳහා සම්මාන හිමිවුණා.
Q ඔබ හිතනවද ලංකාවේ දැන් අලුත් සාහිත්‍යමය පිටපත් රචකයෝ ඉන්නවා කියලා?
ඉතාම අඩුවෙන් ඉන්නේ. අද පවතින අර්බුදයත් ඒක. අනික මෙවර මේ සම්මානයට නිර්දේශ වූ සෙසු කෘතීන් දෙකෙනුත් එකක් මගේ. ඒ නිසා මටත් පේන්නේ අද රඟහලේ සාහිත්‍යය කඩා වැටුණු ස්වරූපයක්.
Q භාෂාව පිළිබඳව දුරවබෝධයක්ද මීට බලපා තිබෙන්නේ?
පිටපත තුළින් තමයි නාට්‍යයේ විශාලම පරාසයක් ආවරණයක් කරන්නේ. ඒත් ඒ කෙරේ තියෙන අවධානය කෙමෙන් කෙමෙන් අඩුවන සේයාවක් තමයි පේන්නේ. ඒ නිසා බස පිළිබඳවත් සංවේදනාවක් තිබිය යුතුයි. උදාහරණයකට සුගතපාල ද සිල්වා සූරීන්ගේ භාෂාව හරිම අපූරුයි. කාව්‍යාත්මකයි. ඒ නිසා භාෂාව පරිහරණය කිරීම පිළිබඳ හොඳ අවබෝධයක් තිබිය යුතුයි. ඒ වගේම තරුණයන්ට සාහිත්‍යය පිළිබඳ අවබෝධයකුත් තිබිය යුතුයි. අනික හොඳ පරිකල්පනයකුත් තිබිය යුතුයි. ඒ ඔස්සේයි කලා කෘතියක පරිකල්පනය සැකසෙන්නේ. ඒ අනුවයි දෘෂ්ටිය නිර්මාණය වෙන්නේ.
Q දැන් ඔබ නාට්‍ය කලාවට වඩා සිනමාව හරහා වැඩි වශයෙන් ඉදිරියට එන හැඩක් තියෙන්නේ?
ඉදිරියේදී මම රඟපෑ චිත්‍රපට කිහිපයක්ම තිරගත වීමට නියමිතයි. ඒ අතර රොහාන් පෙරේරාගේ 'ගෝල්' ළමා චිත්‍රපටයේ ප්‍රධාන චරිතය කළේ මම. මම හිතනවා ඒක ඉතා හොඳ චිත්‍රපටයක් වෙයි කියලා. ඒ වගේම පාලිත පෙරේරාගේ %තක්කිට තරිකිට^ ළමා චිත්‍රපටයේත් මම ප්‍රධාන චරිතය රඟපෑවා. මම හිතනවා එයත් හොඳ චිත්‍රපටයක් වෙයි කියලා. මම තරුණ සිනමාකරුවන් සමගත් සිනමා කෘති කිහිපයක රූපණයේ නියැලුණා.
Q තෝරා බේරාගෙන රූපණයේ යෙදෙන මනෝ මීට මාස කිහිපයකට පෙර විකාශය වූ ටෙලිනාට්‍යයක දෙවැනි කොටසක් නිසා තමන්ගේ තත්ත්වය විනාශ කරගත්තා නේද?
මම අවුරුදු හතරකින් ටෙලිනාට්‍යයක රඟපෑවේ නැහැ. ඒත් ඒ ටෙලිනාට්‍යයේ මට රඟපාන්න වුණේ විශිෂ්ට නළු ජෝ අබේවික්‍රමයන්ට දුන් පොරොන්දුවක් නිසා. මමත් විශ්වාස කරනවා ඒ ටෙලිනාට්‍ය ඒ තරම් හොඳින් නිර්මාණය වුණු එකක් නෙමෙයි කියලා. එහෙම තමයි. රූපණ ජීවිතයෙත් ඒ වගේ උස් පහත්වීම් වෙනවා. මේ ගැන මටත් විශාල දුරකථන ඇමතුම් සංඛ්‍යාවක් ආවා.
Q නාට්‍යධර්මී නාට්‍යවල රඟපෑ හැකි ශිල්පීන්ගේ රික්තයක් දැන් පවතිනවා නේද?
ඔව්. අපටත් ඒ ගැන සැකයක් තියෙනවා. හැබැයි අපි එහෙම අය නැහැ කියන්නේ නැහැ. පේන තෙක් මානෙක නම් අපට පේන්නෙ නැහැ. හිටියත් රැඳී ඉන්න පාටක් නැහැ. ඒ නිසා මගෙන් පස්සේ මගේ නාට්‍යධර්මී නිර්මාණ කෙසේ නිෂ්පාදනය වේවිද යන්න ගැන යම් ගැටලුවක් තියෙනවා.
Q ඉතා නම්‍යශීලී රූපණ හැඩයක් ඇති ඔබ වැනි රූපණ ශිල්පීන්ගේ අඩුවක් දැන් පවතිනවා නේද?
දක්ෂයන් නම් ඕනෑතරම් ඉන්නවා. ගැටලුව ඔවුන්ට පොකුණක් නැතිකමයි. හොඳ නිර්මාණ, හොඳ පිටපත්, හොඳ වපසරියක් නැතිකමයි. අනික දක්ෂයන් බිහිවෙන්නේ අත්දැකීම් මතයි.
Q ලාංකේය නාට්‍යකරුවන්ට ලෝකය ආක්‍රමණය කරන්න තවමත් නොහැකි වෙලා නේද?
'සිංහබාහු' නාට්‍ය ඉංග්‍රීසියට නගන්න ගිහින් අසාර්ථක වුණා. කොහොම වුණත් එවැනි අවස්ථා දශම ගණනයි තියෙන්නේ. අපිත් අපේ නාට්‍ය වසර තිහක් තිස්සේ විවිධ රටවලට අරගෙන ගියා තමයි. හැබැයි නැරඹුවේ ශ්‍රී ලාංකිකයෝම තමයි. අනික කාටද එවැනි ලෝකය ආක්‍රමණය කරන්න උවමනාවක් තියෙන්නේ? අඩුම ගානේ සැලසුම්සහගත වැඩපිළිවෙළක්වත් තවම නැහැ. ඒ නිසා නාට්‍ය කලාව පිළිබඳ ව්‍යවස්ථාපිත මණ්ඩලයක් තියෙන්නේ ඕන. මේක සිමෙන්තිවලට තියෙනවා. ලුණුවලට තියෙනවා. ඒ නිසා එවැනි ගැටලුවකුත් තියෙනවා.
Q තරුණ කලාකරුවන් අද යම් වාමාංශික මුහුණුවරකට යොමුවෙලා නේද?
ඔවුන් දැන් ප්රගතිශීලී වෙලා. එවැනි මුහුණුවරක් තියෙන්නේ. අනික වාමාංශිකයන්ට වගේම ධනේෂ්වරයන්ටත් ප්රගතිශීලී වෙන්න පුළුවන්. ජර්මනිය, ඔස්ට්‍රේලියාව වගේ ධනේෂ්වර රටවල මිනිස්සු කොයිතරම් සතුටින් ඉන්නවද? කොයිතරම් දියුණුද? ඒ වගේම උතුරු කොරියාව, කියුබාව, රුසියාව වගේ වාමාංශික රටවල් පවා ප්රගතිශීලී දෘෂ්ටියක් යටතේ වාමාංශික වුණාට කමක් නැහැ. ලංකාවේ තියෙන්නේ පටු වාමාංශික දේශපාලනයක්.