ධර්මප්‍රිය ඩයස්ගේ දෙවැනි නාට්‍ය නිර්මාණය වන 'සාදය මාරයි සල්ලි හමාරයි' වේදිකා නාට්‍යයේ ස්වර්ණමය සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් එහි 200 වැනි දර්ශනය අනිද්දා (19 වැනිදා) සවස 3.30ට සහ 6.30ට බොරැල්ල නාමෙල් මාලිනී පුංචි තියටර්හිදී පැවැත්වීමට නියමිතය. 2015 වසරේ පැවැති රාජ්‍ය නාට්‍ය උලෙළේදී හොඳම නළුවා (ගිහාන් ප්‍රනාන්දු) සහ හොඳම නිළිය (ජයනි සේනානායක) සම්මානය මෙන්ම හොඳම වේදිකා නාට්‍ය පරිපාලනයට හිමි සම්මානය (අරුණ ජයසේන) හිමි වූ මෙම නාට්‍ය පිළිබඳ ධර්මප්‍රිය ඩයස් සමගින් කතාබහක නියැළීමට අප සිතුවේ එබැවිනි.
Q ප්‍රවීණ ශිල්පීන් කණ්ඩායමක් සමගින් නාට්‍ය දර්ශන වාර 200ක් වේදිකාගත කිරීම පහසු කටයුත්තක් නෙවෙයි නේද?
මට හොඳ නාට්‍ය කණ්ඩායමක් ලැබුණා. හොඳ නිෂ්පාදකයෙක් සහ සංවිධාකයෙක් හම්බ වුණා. ඒ නිසා වෙන්න ඇති මේ තරම් දුරක් මට එන්න පුළුවන් වෙන්න ඇත්තේ. අනික මේක හොඳ නාට්‍යයක්.
Q 'සාදය මාරයි සල්ලි හමාරයි' කියන්නේ හාස්‍ය නාට්‍යයක්ද?
නැහැ. මේක අර්ථාන්විත ප්‍රහසන නාට්‍යයක්.
Q විනෝදාත්මක සහ හාස්‍ය යන්නෙහි මායිම කොතැනින්ද සලකුණු කෙරෙන්නේ?
අපේ නාට්‍යයෙන් අපි ප්‍රේක්ෂකයාව මොනවාහරි කරලා හිනස්සන්නේ නැහැ. ඒත් විනෝදාත්මක යන්න ඇතුළේ මොනවාහරි කරලා ප්‍රේක්ෂකයාට විනෝදය සැපයීමක් සිදුවෙනවා. විශේෂයෙන් අපි මේ නාට්‍යයේදී ශාරීරික හෝ මානසික දුබලකම්වලට හිනාවෙන්නේ නැහැ. නුහුරු භාෂාවක් කතා කරන කෙනෙක්ට හිනාවෙන්නේ නැහැ. වෙනත් සංස්කෘතියකට හුරුවීමට යාමේදී එතැනදී මුහුණපාන අනපේක්ෂිත සිදුවීම්වලට හිනාවෙන්නේ නැහැ. අපි මෙතැනදී හිනාවෙන්නේ වේදිකාව මත මැවෙන එක්තරා පරිසරයකට. මේ ගැන ප්‍රේක්ෂකයත් දන්නවා. හැබැයි ඇතැම් චරිත දන්නෙ නැහැ. ඇතැම් චරිත දන්නවා. ඒ හින්දා සැබෑ මිනිස්සු සහ සැබෑ නොවන මිනිස්සු අතර තමයි මෙහි කතාව දෝලනය වෙන්නේ.
Q කාලෙන් කාලෙට වෙනස් වන පිටපතක්ද මෙහි පවතින්නේ?
නැහැ. අපේ නාට්‍යයට පසුබිම් වෙන්නේ එක්තරා ස්ථාවර සිද්ධියක්. ඒත් කලින් කලට වෙනස් වන නාට්‍යයත් ලංකාවේ තියෙනවා. ලෝකෙත් තියෙනවා. එය එම නාට්‍ය ශෛලියේ ස්වරූපයක්. හැබැයි රූපණ ශිල්පීන් ප්‍රේක්ෂකයාට පිටපතේ පවතින අරුත් සන්නිවේදනය කරන ආකාරය මත මේ නාට්‍යයේත් කලින් කලට එහි නිර්වචන වෙනස් වෙන්න පුළුවන්. ඊට ඔවුන් භාවිත කරන ශිල්පීය උපක්‍රම තමා හේතු වෙන්නේ. අපි ඒවා එකතු කර ගත්තේ සහ ගන්නේ ගැළපෙනවා නම් පමණයි. විශේෂයෙන් අපි එහිදී නාට්‍යයේ පෙළ සහ අවස්ථාව ගැන සැලකිලිමත් වෙනවා.
Q කෙසේ වෙතත් හාස්‍ය උපදින්නේ වැරදීමෙන් සහ සැඟවීමෙන් (Comedy of Errors and Disguise) නේද?
එය හාස්‍ය උපදින එක් ආකාරයක් පමණයි. මොකද අපේ නාට්‍යයේ පවතින්නේ වෙනස් ශෛලියක්. එය මෙහි කතාව ගලා යන ආකාරයෙනුත් පැහැදිලි වේවි. අනපේක්ෂිත මුදල් සම්භාරයක් එක්වර ලැබීමත් සහ අහිමි වීමත් එක්ක අනාදිමත් කාලයක ඉඳන් රැකගෙන ආ පුරුෂාර්ථ, පරමාදර්ශ, සංස්කෘතික ලක්ෂණ උඩු යටිකුරු වන ආකාරයයි මෙහි වේදිකාවට ඇවිත් තියෙන්නේ.
Q ශීඝ්‍රයෙන් දියුණු වන වත්මන් සමාජය තුළ ප්රස්තූතයන් තෝරා ගැනීමේදී නවක රචකයන් විශාල අර්බුදයකට මුහුණ පානවා නේද?
ඒක ඕනෑම කාලයකට පොදු තත්ත්වයක්. සම්මත යැයි අපි හිතන දේ කාලයත් සමග යල් පනිනවා. ඒත් ඒකටම අලුතින් දේවල් එකතු වී සම්මතයක් බවට පත්වෙනවා. ඒ වගේම කවදා හෝ යල් පැන ගිය දේවල්ම නැවතත් අලුත් සම්මතය ලෙස පැමිණෙන්නත් පුළුවන්. ඒකයි සමාජයේ ස්වභාවය. ඊට දේශපාලනික, සමාජයීය, පාරිසරික තත්ත්වයන් බලපානවා.
Q ඒ කියන්නේ කාලීන ප්‍රශ්න නාට්‍ය කෘති හරහා කතා කිරීම අසාර්ථකයිද?
නැහැ නැහැ. කාලීන මාතෘකා තෝරා ගැනීමට නිර්මාණකරුවන්ට අයිතියක් තියෙනවා. නිර්මාණවලට එකතු කර ගන්නත් අයිතියක් තියෙනවා. හැබැයි එයත් මුදල වගේ. සුගතපාල ද සිල්වා වැනි නාට්‍යකරුවන් තමන්ගේ ප්‍රස්තූතයට පාදක කර ගත්තෙත් කාලීන මාතෘකා. එවැනි නාට්‍යකරුවන් අවශ්‍යයි.
Q එහෙනම් සර්වකාලීන නිර්මාණ ලෙස පවතින නිර්මාණවල රහස මොකක්ද?
අනුභූතිය අපූරුවත්වයෙන් ඉදිරිපත් කිරීම. ඒ අනුවයි නාට්‍ය රසය ඉස්මතු වෙන්නේ. ඒක ඉතා වැදගත් මූලික පාඩමක්. ඒ නිසා එතැනදී අපි කාලීන ගැටලු තෝරා ගැනීම සිදුකළත් විශාල ගැටලුවක් නැහැ. මහාචාර්ය සරච්චන්ද්‍රයන් පවා සර්වකාලීන නිර්මාණයක් කරනවා කියලා නිර්මාණකරණයේ යෙදුණා කියලා මම හිතන්නේ නැහැ. එතුමා සිදුකළෙත් තමාට දැනෙන හැඟීම නිර්මාණාත්මකව මුදාහැරීමයි. නිර්මාණකරුවා සිදුකළ යුත්තේ එයයි. ඒ නිසා සර්වකාලීන වීම හෝ නොවීම පසුවට සිදුවෙන දෙයක්.
Q අපි තාමත් සාම්ප්‍රදායික නාට්‍ය ආකෘතිවල හිර වෙලා නේද?
ඔව්. අපි තාමත් ස්ටැනිස්ලව්ස්කි, බර්ටෝල්ට් බ්‍රෙෂ්ට් ආදී නාට්‍යකරුවන්ගේ රීතීන් පස්සෙයි ඇලී ගැලී ඉන්නේ. එතැනින් එහා යන්න උත්සාහ කරන්නේ නැහැ. ඒත් අපි ඒවායින් ගැලවෙන්න ඕන. ලංකාවේ විදිහට කිව්වොත් අපි තාමත් ඉන්නේ මහාචාර්ය සරච්චන්ද්‍රයන් ළඟ හිරවෙලා. එතැනින් එහාට යන්න ඕන. මොකද දැන් ලෝක නාට්‍ය කලාව නොහිතන පැතිකඩවල් හොයාගෙන ගිහින්.
Q ඒ කියන්නේ අපි තාමත් ලාංකේය නාට්‍ය කලාවවත් හොයාගෙන නැහැ කියන එකද?
අපි තාම කිසිම දෙයක් හොයාගෙන නැහැ. නිශ්චිත ආර්ථික රටාවක් නැහැ. නිශ්චිත සංස්කෘතියක් හොයාගෙන නැහැ. තිබුණු සංස්කෘතියක් කරේ තියාගෙන යනවා. වර්තමානයේ ජීවත් විය යුතු සංස්කෘතියක්වත් හොයාගෙන නැහැ. නීතියක් හොයාගෙනත් නැහැ. ඒ නිසා අපිට තාම ආණ්ඩුවක් හොයාගෙනත් නැහැ.
Q චරිත අභ්‍යන්තරයට කිඳා බැස රූපණයේ යෙදීම නිසා රූපණ ශිල්පීන්ට සිදුවන හානිය පිළිබඳ පසුගිය දිනෙක කතාබහක් ඇති වුණා?
එහෙම නොවෙන්න වගබලාගත යුත්තේ රූපණ ශිල්පීන්. ඒකයි රූපණ ශිල්පියෙකුගේ දක්ෂතාවය. ඒත් අද එවැන්නකට ගොදුරු වීමේ ප්‍රවණතාව වැඩියි,
ඊට තමන්ගේ කුසලතාව, විභවය, සතතාභ්‍යාසය සහ ප්‍රේක්ෂකයා වැළඳ ගන්නවාද නැද්ද වැනි කාරණා බලපානවා. අනික ටෙලිනාට්‍ය කලාවේ සිටින රූපණ ශිල්පීන් දවස් කුලියේ පදනමට යොදා ගැනීමෙනුත් හානි සිදුවෙනවා. ඒ ගැන කවුරුත් හිතන්නේ නැහැ. ඒ වගේම තමයි චරිතයේ බරපතළකම මත ගෙවීමක් පැවති ටෙලිනාට්‍ය කලාවට මෙවැන්නක් සිදුවේවි කියලා අපි හීනෙකින්වත් හිතුවෙ නැහැ. හැබැයි විදෙස් රටක මම එක් චරිතයක් රඟපෑවා නම් මට අවුරුද්දක් ජීවත් වෙන්න ඇති. එහෙම බැලුවාම අපි රඟපෑ චරිතවල හැටියට අපේ දරුවන්ට ලබන ආත්මෙත් ජීවත් වෙන්න ඇති. හැබැයි තමන්ගේ තත්ත්වය පවත්වාගෙන නොයෑමෙනුත් රූපණ ශිල්පියා හානියට පැමිණෙන්න පුළුවන්. මොකද ඔවුන් තමන්ගේ ජනප්‍රියත්වයෙන් උපරිම ප්‍රයෝජන ගන්න ගිහින් කඩාවැටෙන්න පුළුවන්. එහෙම වෙලත් තියෙනවා. ඒ නිසා නිර්මාණකරුවන්ට හොඳ විනයක් තිබිය යුතුයි. ඒක වැදගත්. මොකද එහෙම නැත්නම් ඒ හරහාත් රූපණ ශිල්පීන්ට හානි පැමිණෙන්න පුළුවන්.