ප්‍රවීණ සංගීත අධ්යක්ෂ නවරත්න ගමගේ සුවිශේෂී නිර්මාණ කටයුත්තක් සමගින් සිය සහෘදයන් වෙත සමීපවීමට සූදානමින් පසුවනවා. ඒ පනාමුරේ හස්තිරාජයාගේ ඛේදවාචකය අලළා නිර්මාණය කරන ලද 'පනාමුරේ කුංචනාදය' සංධ්වනි රංගය සමගින්.'පනාමුරේ කුංචනාදය' සංධ්වනිය මේ මස 30, 31 හා ජූනි 01 වැනිදා සවස 6.30 ට නෙළුම් පොකුණ රඟහලේදී පැවැත්වීමට නියමිතව තිබෙනවා. මෙම ප්‍රසංගයට පෙරාතුව එනම් නවරත්න ගමගේ වෙබ් අඩවිය වන www.nawarathnagamage.lk සහ පනාමුරේ කුංචනාදය ප්‍රසංගයේ වෙබ් අඩවිය වන www.panamura.com දියත් විය.
Q පනාමුරේ ප්‍රසංගය ගැන මුලින්ම කතා කළොත්?
චිත්‍රපට, ටෙලිනාට්‍ය සහ ජනප්‍රිය ගීත එකතු කරලා ප්‍රසංගයක් කරනවාට වඩා වෙනස් ආකාරයක වැඩක් තමයි සොයමින් සිටියේ. එවන් පසුබිමක තමයි පනාමුරේ හස්තිරාජයා පිළිබඳ මතකය අවධි වන්නේ. විශේෂයෙන් පරිසරවේදී සමන් රත්නායක ප්රමුඛ පරිසරවේදීන් පිරිසක් පනාමුරේ හස්තිරාජයා පිළිබඳ ගවේෂණය කොට එහි කෞතුකාගාරයක් ඉදිකිරීම් කටයුතු කරන අතරේ ඔහු මට කිව්වා මේ වෙනුවෙන් ගීතයක් හදන්න කියලා.
මම මේ කටයුත්ත සඳහා ඇඹිලිපිටිය, කොළොන්න පිහිටි පනාමුරේ ඇත්ගාල පිහිටි ප්‍රදේශයට සතියකට දෙතුන් වරක් යන්න එන්න පටන් ගත්තා. ඇත්තටම මට මේ කටයුත්ත තෘප්තිමත් දෙයක් නිසා සද්කාරයක් ලෙසින් තමයි මම මීට එකතු වුණේ. මේ ප්‍රදේශයේ ගිහින් එහි සිටින ගැමියන් සමග කතාබහ කරන විට මෙය තවත් ප්‍රිය කටයුත්තක් වුණා.
ඒ වගේම කාලයෙන් නිපදවෙන නාද ඔස්සේ ශිෂ්ටාචාරගත වන මිනිසා නැවතත් කාලයට වෙඩිල්ලක් තැබුවා වැනි අදහසක් පනාමුරේ සිද්ධිය ගවේෂණය කිරීමේදී මා තුළ ඇති වුණා. මෙය ප්රස්තුතය සංගීතමය රචනාවක් විදිහට කෙමෙන් කෙමෙන් වර්ධනය වෙලා රත්න ශ්‍රී විජේසිංහ, ආචාර්ය සුනිල් විජයසිරිවර්ධන වැනි අයගේ උපදෙස් ලබාගෙන ප්‍රසංගයක් දක්වා වර්ධනය කිරීමට අදහස් කළා. ඒ අනුව තමයි මෙහිදී මා තුළ තිබුණු වස්තු බීජය 'පනාමුරේ කුංචනාදය' ලෙස සංධ්වනි රංගයක් (Symphony theater) ලෙස බිහිවන්නේ.
Q සංධ්වනි රංගයන් ලංකාව තුළ කෙරෙන්නේ අල්ප වශයෙන්. ඔබ මෙය සැලසුම් කරන්නෙ මොන විදිහටද?
මම එදිරිවීර සරච්චන්ද්‍රයන්, මනෝරත්න සහ තරුණ නාට්‍යකරුවන් සමග වැඩ කරලා තිබෙන නිසා සංගීතයේදී රංගයක් කිරීම ගැන කිසිම බයක් ඇති වුණේ නැහැ. බය වෙනුවට මා තුළ තිබුණේ මේ නිර්මාණය කාලය තුළ කළ යුතු කටයුත්තයි.
මේ සංගීතය රංගයට 150 ක පමණ පිරිසක් රංගනයෙන් දායක වෙනවා. ඒ එක්කම විවිධ ක්ෂේත්රවල අය මීට සම්බන්ධ වුණා. එසේම ප්‍රේමසිරි කේමදාසයන්, සෝමදාස ඇල්විටිගලයන්, මකුලොළුව, සී. ද එස්. ගුණතිලකයන්, ලයනල් රන්වලයන් ආදී ජන සංගීතයේ පුරෝගාමීන්ගේ නිර්මාණ පරමාදර්ශ වුණා. ඒ වගේම මහාචාර්ය සරච්චන්ද්‍රයන්ගේ මනමේ, සිංහබාහු, බව කඩතුරාව, ලෝම හංස, ප්‍රේමතෝ ජායතී සෝකෝ ආදී ප්රමුඛ නාට්යවලවැඩ කිරීමෙන් ලද ජීවය මේ ආකෘතියට පෙළඹවීමේ ශක්තිය ඇති වුණා.
මේ කටයුත්ත පිළිබඳව මා තුළ ඇති වූ හැඟීම හා මා ලිව්ව කොටස් මම ප්‍රකාශ කළේ රත්න ශ්‍රී විජේසිංහ සමගයි. ඉන් පස්සෙ ජෝ සෙනවිරත්න සමගත්, යම් සංවාදවල යෙදුණා. ඒ එක්කම මමත්, මන්බන්දු විද්‍යාපති, ආරියවංශ ධම්මගේ, සාලිය ලියනආරච්චි, අමිත්ත වීරසිංහ, සුවිනීතා පෙරේරා ආදීන් සමග වසර ගණනාවක් මේ ගැන සාකච්ඡා කළා.
හොරණ ශ්‍රීපාලි මණ්ඩපයේදී බාහිර කථිකාචාර්යවරයෙක් වශයෙන් කටයුතු කරන විට මා මේ අදහස සිසුන් සමග කතා කළහම විශාල සිසුන් පිරිසක් මේ කටයුත්ත සමග එක්වුණා. ඒ අතරින් මේ කටයුත්ත අත්නොහැර වසර තුනක කාලයක් මෙය සමග රැඳුණු රවින්ද්‍ර හා අමිත්ත නම් දෙදෙනාත් සිටිනවා.
සියලු දෙනාගේ අදහස් සහිතව මා විසින් සැකසූ 'පනාමුරේ' පිටපතට ආචාර්ය සුනිල් විජේසිරිවර්ධන විසින් විශ්ව ප්‍රකාශයක දැක්ම ලබාදුන්නා. ඒ වගේම ජයලත් මනෝරත්න මීට අදාළ රංග රීති, භාවිතව ගැන සාකච්ඡා කළා.
මේක සංගීතය එක්ක යන වැඩක් නිසා සෑහෙන වෙහෙසිලා සියුම් නාදරටා සොයා යෑම මා විසින් සිදුකළා. ඒ හැම දෙයක්ම මාගේ ටෙලිනාට්‍ය, චිත්‍රපට ආදිය නිර්මාණ කටයුතුවල නිරත වන අතරේයි.
පනාමුරේ හස්තිරාජයා දැයට අහිමිවූ අගෝස්තු 09 වැනිදා පනාමුරේ අදාළ සිද්ධිය සිදුවූ ස්ථානයේදී පැවැත්වීමටත් මා සැලසුම් කර තිබෙනවා. මේ කටයුත්ත සඳහා පනාමුරේ කුංචනාද නිර්මාණ කණ්ඩායමත්, සමන් රත්නායක ප්රමුඛ ඓතිහාසික පනාමුරේ හස්තිරාජ පදනමත්, රාජිත හෙන්නායක ප්රමුඛ මනරම් මීඩියා ආයතනයත් සුවිශාල සහයක් ලබා දෙනවා.
ඔබේ වෙබ් අඩවිය එළි දැක්වීමට මෙතරම් කලක් ගත වුණේ ඇයි?
බොහෝදෙනෙක් මගෙන් ඇහුව ප්‍රශ්නයක් තමයි වෙබ් අඩවියක් නිකුත්කරන්නේ නැත්තේ ඇයි යන්න. මම කරලා තිබෙන නිර්මාණ එක දෝතකින් සියලු දෙනාම විඳයි යුතුයි යන්න මත තමයි 'පනාමුරේ කුංචනාද' නිමිත්ත සමග මෙය එළිදක්වන්නෙ. ඇත්තටම මගේ වෙබ් අඩවිය මීට කලකට පෙර නිර්මාණය කොට තිබුණත් එය යම් නිමිත්තක් සමග එළිදැක්වීමට අවශ්‍ය වුණා.
Q ලංකාවේ ප්‍රේක්ෂකයා 'සංධ්වනි රංග' සමග කරන ගනුදෙනුව කෙබඳුවේවි දැයි ඔබ විශ්වාස කරනවාද?
මම නාට්‍යයත් එක්ක ගනුදෙනු කරන කෙනෙක්. විශේෂයෙන් ජයලත් මනෝරත්නගේ නාට්‍ය එක්ක ඈත ගම්වලට ගිහින් තියෙනවා. මෙහිදී මා අත්වින්ද දෙයක් තමයි සජීවි නාට්‍යයට තියෙන සම්බන්ධවීම අපේ රටේ තාම මැරිලා නැහැ. මේනිසා මට මේ කටයුත්තට ලැබෙන රසික ප්‍රතිචාර ගැන ලොකු විශ්වාසයක් තිබෙනවා.
ඒ එක්කම නෙළුම් පොකුණ වැනි රඟහලක නිර්මාණයක් පෙන්නන්න අපේ ඔළුවේ තිබුණා. විශේෂයෙන් සිනමාවෙන් ඔබ්බට ගොස් නිර්මාණයක් කිරීමේ අභියෝගය මෙහිදී අපට ජයගත හැකිවනවා.
සංධ්වනි රංගයෙන් හෝ නාට්‍ය රංගයේ ප්රසංගත් බලන්න බොහෝවිට කොළඹ රඟහලවල්වලට එන්නේ එකම පිරිසක් නේද? මේ තුළ අපි කොහොමද සමස්ත ජනයාගේ විඥානය අවධි කරන්නේ?
අපිට ඉන්න ප්‍රේක්ෂකාගාරය ඉතා සීමිතයි. නමුත් ලයනල් වෙන්ඩට් වගේ රඟහලක එහි රසිකත්වය වෙනස් ආකාරයකින් දියුණු වෙලා තිබෙනවා. මේ දියුණුව දන්න කාලේ ඉඳලා නාට්‍ය කලාව සඳහා තිබුණා. මම හිතන විදිහට ඒ රසිකත්වය වර්ධනය කරන නිර්මාණ අපි විසින් කළ යුතුයි.
මේ ප්‍රසංගය නෙළුම් පොකුණට පමණක් සීමාවූ එකක් නොවෙයි. මෙය කැලයක, පන්සලක ආදී ඕනෑම තැනක කළ හැකි ලෙස ආකෘතිය සකසා තිබෙනවා.
මෙහි පළමු ප්‍රසංගය නෙළුම් පොකුණේදී පවත්වන්න අදහස් කළේ, තාක්ෂණය භාවිත කර අවශ්‍ය නිමාව ලබාගැනීම සඳහායි. ඒ එක්කම මේ කටයුත්තට අනුග්‍රාහකත්ව ශක්තියක් වන්නට අපත් සමග එකතුවන ලෙසත් දන්වා සිටිනවා.
0712-279140
ඡායාරූ - ක්‍රිෂාන් රණසිංහ