සිය නර්තන හැකියාවන් රියැලිටි නර්තන තරගාවලි හරහා ඉදිරිපත් කරමින් රසික ප්‍රතිචාර දිනාගත් ඇය 'උත්තරා' චිත්‍රපටය හරහා සිය රංගන දිවිය ආරම්භ කරන්නට වූවාය. අද වන විට ක්ෂේත්‍ර කිහිපයකම කටයුතු කරන ඇය නමින් හෂිනි ගෝනගලය. සනත් අබේසේකරයන්ගේ 'මහරජ අජාසත්' චිත්‍රපටය තුළින් ඉදිරියේදී සිය රසික පිරිස් මුණ ගැසීමට සූදානමින් සිටින හෂිනි වෙනුවෙන් මෙවර කතාබහ විවර කරන්නට අපි සිතුවෙමු.
Q හෂිනි නැවතත් සිනමා නිර්මාණයක් තුළින් අපිට ඉදිරියට දකින්නට ලැබෙනවා නේද?
සනත් අබේසේකර මහත්මයාගේ 'අජාසත්ත' චිත්‍රපටයට පසුගිය කාලයේදී සම්බන්ධ වුණා. මේ චිත්‍රපටයට කළින් මම සනත් ගුණතිලක මහත්මයාගේ 'සිනහව අතර' කියන චිත්‍රපටයට දායක වුණා. නමුත්, මේ චිත්‍රපටය තවමත් ප්‍රදර්ශනය වුණේ නැහැ. 'උත්තරා' සහ 'ඩාන්සින් ස්ටාර්' චිත්‍රපට වලට පස්සෙ මගේ ආදරණීය සිනමා ප්‍රේක්ෂකයන්ට මේ චිත්‍රපට තුළින් යළිත් මාව දකින්නට හැකි වේවි කියලා හිතනවා.
Q ඔබ චිත්‍රපට වලට පමණක් දායක වෙන්නේ ඇයි?
ඇත්තටම, මම රඟපාන්නේ විනෝදාංශයක් විදිහට. ඉතින්, චිත්‍රපට වලට දායක වෙන්න ඒක එක හේතුවක් වුණා. අනෙක් කාරණය තමයි ලොකු කාලයක් වැයකරන්න අවශ්‍යතාවයකුත් නැහැ. සිමීත දින ගණනකින් චිත්‍රපටයේ සියලු රූපගත කිරීම් වලට දායක වෙන්න පුළුවන් නිසා තමයි මම චිත්‍රපට වලට පමණක්ම සීමා වෙලා ඉන්නේ.
Q ටෙලි නාට්‍ය සඳහා ඔබට ආරාධනා ලැබුණේ නැද්ද?
ටෙලි නාට්‍ය සඳහාත් මට ආරාධනා ගොඩක් ලැබුණා. නමුත්, ඒ සඳහා මට ලොකු කාලයක් වැයකරන්න සිදුවෙන හින්දා මම ඒවා භාර ගත්තේ නැහැ. අනෙක් කාරණය තමයි දැන් නිර්මාණය වන ගොඩක් ටෙලි නිර්මාණ කොටස් 100, 200 හා ඊට එහා ගිය මෙගා ඒවා. ඒවාට ලොකු කාලයක් වැය කරන්න අවශ්‍යයි. අනික මෙගා නාට්‍ය වලට සම්බන්ධ වුණොත් මට දැනට තියෙන නිදහසත් සීමා වෙයි කියල හිතන නිසා තමයි මම ඒවාට සම්බන්ධ වෙන්නෙ නැත්තේ.
Q සිනමා නිළියක් විදිහට ඉදිරියට යන්නද එතකොට සැලසුම?
නැහැ. මම කලින් කිව්වා වගේම මම රඟපාන්නේ විනෝදාංශයක් විදිහට. මම කැමතියි නර්තන ගුරුවරියක් වෙන්න. මොකද, රඟපානවාට වඩා මගේ ඇඟේ තියෙන දෙයකින් ප්‍රයෝජනයක් ගන්න මම කැමතියි. දැනටමත් මම නර්තන ගුරුවරියක් වෙන්න ඉගෙන ගන්නවා. මට නටන්න පුළුවන් වුණාට ගුරුවරියක් වෙන්න තරම් ලොකු දැනුමක් නැහැ. හැමදෙයක්ම හැදෑරීමකින් පස්සෙ කරන එක හොඳ නිසා මේ දිනවල ඒ සඳහා වැඩි අවධානයක් යොමුකරලා තියෙනවා.
Q ඔබව අපි හඳුනා ගත්තේ නර්තන ශිල්පිනියක් විදිහට?
සිරස 'ඩාන්සින් ස්ටාර්' තරගයේ දුෂ්‍යන්තගේ නර්තන සාහායිකාව විදිහට තමයි මම ක්ෂේත්රයට ආවේ. ඒ හරහා බොහෝදෙනෙකු මාව හඳුනා ගත්තා. මේ හඳුනාගැනීම හරහා විවිධ නිර්මාණ කටයුතුවලට දායක වෙන්න ලැබුණා. මෑතකදී දෙරණ 'සිටි ඔෆ් ඩාන්ස් අල්ට්ර්මේට්' රියලිටි තරගයේ දෙවැනි ස්ථානය ලබාගන්න මට පුළුවන් වුණා. චිත්‍රපට කිහිපයකම මම රඟපෑවත් අද වුණත් බොහෝදෙනා මාව හඳුනගෙන කතා කරන්නේ රියලිටි නර්තන තරග වලින් හඳුනගත්ත නර්තන ශිල්පිනියක් විදිහට.
Q ඉදිරියටත් ඔබ රියලිටි නර්තන තරග සඳහා ඉදිරිපත් වෙනවාද?
නැහැ. ඉදිරියේදී මම රියලිටි නර්තන තරග වලින් ඉවත් වෙනවා. මම කැමතියි එවැනි තරගයක විනිසුරුවරියක් විදිහට කටයුතු කරන්න. මොකද, එවැනි දෙයක් මට කරන්න පුළුවන් නිසා. නර්තනය කියන දේ පිළිබඳව මට හොඳ දැනුමක් තියෙනවා. ඒ නිසා තරගකරුවෙකුට, තරගකාරියකට හොඳ නරක පිළිබඳව වටහාදීමක් කරන්න මට පුළුවන්.
Q නර්තන ගුරුවරියක් වීමේ සිහිනයක් ඔබට තියෙන එකේ ආස නැද්ද අපේ තරුණ පරපුර වෙනුවෙන් නර්තනය පිළිබඳව හැදෑරීමක් කරන්න පාසලක් නිර්මාණය කරන්න?
ඇත්තෙන්ම කැමතියි. මා අර කලින් කිව්වා වගේ ලොකු සැලසුමක් ඒ පිළිබඳව මට තියෙනවා. නමුත්, මේ හැමදෙයක්ම කරන්න කලින් හොඳ පසුබිමක් සකස් කරගන්න ඕන කියන අදහසේ මම ඉන්නවා. ලංකාවේ දැනට බොහෝදෙනා ඉදිරිපත් කරන බටහිර සහ ඉන්දියන් නර්තන වලට අමතරව කොරියන් නර්තන, ඇමරිකන් හිප්හොප් නර්තන වැනි විශේෂිත අංග කිහිපයක්ම මම අධ්‍යයනය කරලා ඒවා තරුණ පරපුරට ලබාදෙන්න සූදානමක් තියෙනවා.
ඡායාරූප සඳුන් ගමගේ