මෙරට සංගීත ක්ෂේත්රයේ තමන්ට මෑත වකවානුව තුළ අනන්‍ය වූ සලකුණක් මුද්‍රා තබන්නට සමත්වූ තරුණ සංගීතඥයෙකු ලෙස නදීක ගුරුගේ අවිවාදයෙන් හැඳින්වීමට පුළුවන. ඒකාකාරීව ගලාගෙන ගිය මෙරට සංගීත ක්ෂේත්රයට ප්‍රායෝගිකව වෙනත් මානයක් ගෙන එන්නට සමත්වූ ඔහු මේ දිනවල තවත් එවැනිම මානයක් මෙරට ජන සමාජයට සමීප කරන්නට සුදානමින් සිටියි.
ඒ ඔහු විසින් ඇරඹීමට නියමිත සංගීත වැඩමුළු මාලාවයි. හුදී සංගීත වැඩමුළුවලින් බැහැරව සංගීතයේ සැබෑ අරුත වටහාදෙන්නට අත්දැකීම් හා දැනුමෙන් සන්නද්ධ කරවන මෙම වැඩමුළුව ගැන හා ඔහුගේ සංගීත කටයුතු පිළිබඳව කළ සංවාදයකි මේ.
කරන්නට සූදානම් වන ඇකඩමිය ගැන මුලින්ම කතා කළොත්?
මේක ගායනාව සහ ඒ ආසන්න විෂයයන් පිළිබඳව වැඩමුළු මාලාවක්, වයස් කාණ්ඩ කිහිපයක් ඉලක්ක කොටගෙන පවත්වන්න කාලයක් තිස්සේ තිබුණ අදහසක්. මට අවුරුදු ගණනාවක් තිස්සේ ක්ෂේත්‍ර කිහිපයක කටහඬ සහ ගායනාව හා ගායනාවේ විචිත්රවත්වය අත්විඳි කෙනෙකු ලෙස හුදෙක් ගායනාව නොව, ගායනයට අත්‍යවශ්‍ය අනෙකුත් සංඝටක පිළිබඳව දැනුවත් කෙරෙන වැඩමුළුවක් කිරීමේ අවශ්‍යතාව පැවතුණා. මේක නිශ්චිත විෂය නිර්දේශයක් යටතේ කෙරෙන වැඩක්.
මෙතැනදි 'කටහඬට' වැඩි තැනක් දෙනවා. නමුත් හුදෙක් කටහඬ පමණක් නොව, සංගීතය, සමකාලීන ලෝක හා ලාංකීය සංගීතය, සංගීත ඉතිහාසය ආදී ලෙස සංගීතයට අදාළ අත්‍යවශ්‍ය විෂය කිහිපයක් පිළිබඳව සාකච්ඡා කෙරෙනවා හැරෙන්න මේක විභාග ඉලක්ක කරගෙන කෙරෙන ඉගැන්වීමක් නෙවෙයි.
සංගීත ක්ෂේත්රයට පිවිසෙන අය ගායනා කරන්න පමණක් නොව, විෂය කරුණුවලින් සන්නද්ධ විය යුතුයි යන්නයි මගේ අදහස. මේ උත්සාහය ඒ කටයුත්ත සඳහායි.
මෙහි ප්‍රධානතම නිෂ්පාදනය වන්නේ කටහඬ හොඳ ගායනා කෞෂල්‍යයක් සහිත තරුණ පරම්පරාවක්. මෙහිදී මාගේ උද්ධෘතය වන්නේ හැකියාව සහ නිර්මාණශීලීත්වය ගොඩනැංවීම' යන්නයි.
නිර්මාණශීලීත්වය පිළිබඳව උගන්වන්න බැරි වුණත්, ඊට යම් ආකාරයක දිශානතියක් හදන්න පුළුවන්. මම හිතනවා මගේ ඉගැන්වීමේ හැකියාව එක්ක මේක සිත්ගන්නා සුළු වැඩක් වේවි.
මේ වැඩමුළුව හරහා ඉලක්ක කරන්නේ රියලිටි තරග උන්මාදයෙන් සිටින තරුණ ප්රජාවද?
රියලිටි වැඩසටහනකට ගොඩක් දේවල් අවශ්‍ය නැහැ. ලෝකය පුරා තිබෙන රියලිටි වැඩසටහන්වල තිබෙන්නෙ එක හැඩයක්. ඇත්තටම මේකෙන් ඉලක්ක කරන්නෙ වෘත්තීය මට්ටමේ සංගීතඥයන් වීමට කැමති සහ වෙනත් වෘත්තියක නිරත වන, සංගීතය ගැන වැඩි ආශාවක් හා දැනුමක් තිබෙන පිරිසක් වෙනුවෙනුයි. වෘත්තීයමය සංගීතඥයන්ට බය නැතුව සංගීතය ගැන හොඳම තැනක ඉන්න පුළුවන් මට්ටමේ තත්ත්වයක් ඇති කිරීම ඉතා වැදගත්. ඉදිරි පරිසරයට සංගීතය සහ ඒ හා බැඳුණු අනිකුත් අනුශාංගික අංගවලින් සන්නද්ධ විය යුතුයි.
මම ඉලක්ක කළේ රියලිටි තරගවලට එන දරුවන් නම් මට මේ කටයුත්ත මීට කලින්, මීට වඩා පහසුවෙන් කරන්න තිබුණා. ඒක මේ වගේ විෂය නිර්දේශ හදලා කරන්න ඕනි දෙයක් නෙවෙයි.
නමුත් වර්තමානයේ බොහෝ තරුණයන් එක රැයින් ජනප්‍රිය වීමේ සිහින සහ රිඟින් ටෝන්වලට ගීත නිර්මාණය කිරීමේ සිහින විනා සංගීතයේ ඒ කටුක අනුශාංගික කරුණු පිළිබඳව හැදෑරීමක් කරන්න අපේක්ෂා කරන බවක් දකින්නට නැහැ නේද?
මේ කාලේ තරුණයා තාක්ෂණය එක්කයි ගනුදෙනු කරන්නෙ. අපි ක්ෂේත්රයට පිවිසෙන කාලෙ තාක්ෂණය තිබුණෙ නැහැ. ඒ කාලෙ වෙළෙඳ පොළ මීට වඩා වෙනස්. දැන් වෙළෙඳපොළ වර්චුවල්. ඒ තුළ නිෂ්පාදකයෙකු ගාවට යන්න ඕනි නැහැ. ඉන්ටර්නෙට් එකට දාලා විකුණලා, වර්චුවල් මුදල්වලින් ජීවත්වෙනවා. තරුණයන් බොහෝ දෙනෙකුට අවශ්‍යත් ඒක තමයි.
නමුත් මම මේ කරන්නෙ දිනපතා තරුණයන් කතා කරලා ඉල්ලා සිටින දෙයකුයි. මට මුලදි මේ ඉල්ලීම ඉදිරිපත් වෙනකොට මම මීට එකඟ වුණේ නැහැ. මොකද මීට කැපකිරීමට කාලයක් මට නැහැයි යන්න මම විශ්වාස කළා. නමුත් තවදුරටත් ඉල්ලීම ඉදිරිපත් වෙද්දි මට කල්පනා වුණා නිශ්චිත කාල ප්‍රාන්තරයක් වෙන්කර ගත්තොත් මේ කටයුත්ත මට කළ හැකියි සහ කළ යුතුයි කියලා.
වර්තමානයේ එක් තරුණ කොටසක් ඉතා කෙටිකලකින් රිඟින් ටෝන් හදාගෙන මුදල් උපයනවා. තවත් තරුණ පිරිසක් සිටිනවා සංගීතය පිළිබඳව බරපතළ ලෙස කරුණු හැදෑරීමට කැමති සහ තමන් ගැන ගෞරවයක් ඇතිවෙන විදියට වෘත්තියේ නිරතවිමට උත්සාහ දරන.
ඔය දෙපිරිසටම ඔබේ වැඩමුළු විවෘතද? මේ සඳහා තෝරගැනීමක් කරනවාද?
අනිවාර්යයෙන්ම තෝරාගැනීමක් සිදුකරනවා. මෙහිදී යම් ආකාරයක සම්මුඛ පරීක්ෂණයක් කරලා, ඒ අයගේ මට්ටම පිළිබඳව තක්සේරුවක් කරලා තමයි මේ තෝරාගැනීම කරන්නෙ. ඉගැන්වීම කියන විෂයයේදී ඉගෙනගන්න පාර්ශ්වයේ විභවය හරියට හඳුනාගත්තෙ නැත්නම් අපට උගන්වන්නත් බැරිවෙනවා, ඒ අයට ඉගෙනගන්නත් බැරිවෙනවා.
මට මතකයි මගෙ පොඩි කාලෙ සංගීතය ගැන කිසිම දෙයක් තේරුණෙ නැහැ. හැබැයි පසුව තනියම මේ ගැන තේරුම්ගත්තා. ඉගැන්වීම් පිළිබඳව තිබෙන යම් ආකාරයක ශිෂ්‍යයාව හඳුනාගැනීම සම්බන්ධ වෙනස් ප්‍රවේශයක් ගන්න ඕන කාලයකටයි පැමිණිලා තිබෙන්නෙ.
මම නිශ්චිත තෝරාගැනීමේ පටිපාටියක් ඇතුළෙ තෝරාගැනීම සිදුකරනවා. මට ඇත්තටම අවශ්‍ය මේ වැඩමුළුවලින් එළියට යන පිරිස හැකියාවෙන් හා දැනුමෙන් සන්නද්ධ පිරිසක් බවට පත්කිරීමටයි. ඒ නිශ්චිත විභවය පෙන්නුම් කරන්න ඕනි මීට සම්බන්ධ වෙන්න නම්. නැත්නම් ඒක මගේ හෘදය සාක්ෂියට වදයක්.
සංගීත වැඩමුළුව පිළිබඳ වැඩිවිස්තර 0770 350 890 හෝ 'ගුරුගෙදර' ස්කයි එන්ටටේනර්ස්, නො. 18, ටිකල් පාර, කොළඹ 08 ලිපිනයෙන් හෝ [email protected] මගින් ලබාගත හැකියි.
ඡායාරූප මිහිර බණ්ඩාර දිසානායක