පණස් වසරකට පසු 'හැම්ලට්' ශ්‍රී ලාංකේය වේදිකාවට
'හැම්ලට්' මංගල දැක්ම මාර්තු 03 සහ 04 ලුම්බිණියේදී
රාජ්‍ය සම්මාන දිනූ 'අධිපතියාගේ මරණ මංචකය', 'පාදඩයා', 'පළිඟු රෑන', 'දවස තාම ගෙවුන් නෑ', 'බන්සි මැරිලා නෑ', 'අපේ පංති කාමරය', 'රැකවලා', 'මාස්ටර් හැරල්ඩ්', 'සිංදු කිරිල්ලි', 'චේ ගුවේරා' ආදී වේදිකා නාට්‍ය නිර්මාණය කළප්රවීණ වේදිකා නාට්‍ය අධ්යක්ෂ බුද්ධික දමයන්තගේ නවතම නාට්‍ය නිර්මාණය වන 'හැම්ලට්' හි මංගල දැක්ම මාර්තු 03 සහ 04යන දෙදින සවස 6.30ට ලුම්බිණි රඟහලේදී වේදිකාගත වේ.
මහා කවි විලියම් ශේක්ස්පියර්ගේ 'Hamlet' හි ශ්‍රීලාංකේය පරිවර්තිත නිෂ්පාදනය වන 'හැම්ලට්' අති විශාල වියදමක් දරමින් නිපැයූ දැවැන්ත නාට්‍ය නිර්මාණයක් වීමත්,වසර පණහක ශ්‍රී ලාංකේය නාට්‍ය ඉතිහාසය තුළ මෙම නාට්‍ය නිර්මාණය,ප්‍රසිද්ධ වේදිකාවට පැමිණ නොතිබීමත් කැපී පෙනේ.ප්‍රවීණ කලාකරුවන් රැසකගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන මෙහි ශ්‍රී ලාංකේය නිෂ්පාදකවරයා වන බුද්ධික දමයන්ත සමගින් අප මේ පිළිබඳ කෙටි කතාබහක යෙදුණේ එබැවිනි.
Q ඔබ මෙවර 'හැම්ලට්' වැනි ලෝක පූජිත නාට්‍යයක් ශ්‍රී ලාංකේය වේදිකාවට ගේන්න උත්සාහ කරනවා.?
ඔව්.මෙය ඕනෑම වෘත්තීය නාට්‍යකරුවෙකුගේ සිහිනයක්.මට මතකයි නාට්‍ය කලාවේ සොඳුරු ආඥාදායකයා විදිහට අපි හඳුන්වන සුගතපාලද සිල්වාත් දවසක් මේ ගැන පැවසුවා.මියයාමට ප්‍රථම ඔහුගේ සිහිනය වුණෙත් ශේක්ස්පියර්ගේ නාට්‍යයක් ශ්‍රී ලාංකේය වේදිකාවට ගෙන ඒම.මෙය ලොව ඕනෑම නාට්‍යකරුවෙකු දකින හීනයක්.එය මමත් දැක්කා. මම නිර්මාණය කළ 'සින්දු කිරිල්ලී' වේදිකා නාට්‍යය අරන් ඉන්දියාවට යද්දිත් ඉන්දීය නාට්‍යකරුවො ඇහුවේ ශේක්ස්පියර්ගේ නාට්‍යයක් කළේ නැද්ද කියලයි.මොකද එය නාට්‍යකරුවෙකු ලබන ගෞරවයක් විදිහටයි සැළකෙන්නේ.ඒත් 'හැම්ලට්' නාට්‍යයේ පවත්නා නිෂ්පාදන පිරිවැය නිසා කිසිදු නාට්‍යකරුවෙක් මේ සඳහා පෙළඹුණේ නැහැ.ඒ අභියෝගය තමයි මම ජය ගැනීමට උත්සාහ කළේ.
Q හැම්ලට් නාට්‍යයේ එන කතා ප්‍රවෘත්තියත් ආන්දෝලනාත්මකයි?
හැම්ලට්ගේ පිය රජතුමා හදිසියේම ඝාතනයට ලක්වෙනවා. මේ සමග හැම්ලට්ගේ සොහොයුරා රජකම ලබාගන්නවා.ඒ වගේම තමන්ගේම මව නැවත විවාහ කරගන්නවා. මේ සංසිද්ධීන් ද්විත්වය තුළයිමේ කතාව දෝලනය වෙන්නේ.එහිදී හැම්ලට් කුමාරයා තමන්ගේ පියාගේ සැබෑ ඝාතකයා සොයා විශාල මෙහෙයුමක නිරත වෙනවා.ඒත් එහිදී ඔහුට දැවැන්ත දේශපාලන අර්බුදවලට මැදිහත් වීමට සිදුවෙනවා. අනපේක්ෂිත සිදුවීම් ගණනාවකට මුහුණදීමට සිදුවෙනවා.
Q පවත්නා දේශපාලන රටාවත් මේ සඳහා යම් බලපෑමක් එල්ල කළාද?
ඔව්.අනිවාර්යයෙන්ම බලපෑවා.ඒ නිසා මේ හරහා මගේ දේශපාලන දැක්මත් සමාජගත කරන්න මට මේ මොහොතේදී මෙවැනි නාට්‍යයක් නිර්මාණය කරන්න පෙළඹවීමක් ඇති කළා. දේශපාලන අවුල් වියවුල්වලින් පිරුණු රටක තමයි අපිත් ජීවත්වෙන්නේ. මේ දේශපාලන බලය රැකගැනීමට මිනිසා විශාල උත්සාහයක් දරනවා.එහිදී අත්වන ඛේදජනක ඉරණම තමයි 'හැම්ලට්' හරහා පේන්න පටන් ගන්නේ.
Q පවතින නාට්‍ය කලාව ගැන ඔබේ ආකල්පය කොහොමද?
ශ්‍රී ලාංකේය නාට්‍ය කලාව තුළ හැමදාමත් නාට්‍ය ප්රවණතා දෙකක් පැවතුණා.රට වටේ දුවන, සැලසුම් කරන ලද මහා පරිමාණයෙන් මුදල් ආයෝජනය වන නාට්‍ය විශේෂය ඉන් එකක්. අනික ආත්ම ප්රකාශනය උදෙසා සමාජය ආමන්ත්‍රණය කිරීමට නිෂ්පාදනය වන නාට්‍ය. අත්හළ නාට්‍ය ධාරාව තමයි ආත්ම ප්රකාශනය උදෙසා සිදුකරන නාට්‍ය විශේෂය.අවාසනාවටදෝ මම නියෝජනය කරන්නෙත් එම නාට්‍ය විශේෂයමයි.
Q වත්මන් වේදිකා නාට්‍ය කලාවේ පවත්නා විශිෂ්ට නිර්මාණ ජනගත කිරීමේ නිශ්චිත වැඩපිළිවෙළක අඩුවක් තියෙනවා නේද?
පැහැදිලිවම ඔව්.රටේ නායකයන්ට කලාව පිළිබඳ උනන්දුවක් ඇතිවන තාක්කල් එවන් තත්ත්වයක් ගැන බලාපොරොත්තු තියන්න බැහැ.ඒත් විදෙස් රටවල නාට්‍ය කලාව පවතින්නේ රජයේ ආධාර මත.ඔවුන් කලාව වෙනුවෙන් විශාල ආයෝජනයන් සිදුකරනවා.එංගලන්තය වැනි රටවල නාට්‍ය කලාව කෙරේ විශාල ප්‍රේක්ෂක නැඹුරුවක් තියෙනවා.අනික ඔවුන්ට එය විශාල ආඩම්බරයක්.රටක දියුණුව මනින ප්‍රධාන සාධකයක් ලෙසත්, කෝ අපේ කලාව වශයෙන් විදෙස් ජනතාව ප්‍රශ්න කරනවා.
මානව සංවර්ධනය ඔවුන් මනින එක් සාධකයක් ලෙසත් මෙය සැලකෙනවා.ඒත් එක්තරා කොටසක උවමනාවකට තමයි ශ්‍රී ලංකාවේ වත්මන් නාට්‍ය කලාව පවතින්නේ.අනික ඉන්දියාවේ වැනි රටවල වසර විස්සකට පමණ නාට්‍ය කලාව සැලසුම් කර අවසන්.විශාල ආයෝජන කර අවසන්.වසර හතරක අධ්‍යාපනයකින් පසුව පූර්ණකාලීන නාට්‍ය වෘත්තිකයන් බිහිකිරීමේ ක්‍රමත් නිර්මාණය කර අවසන්. ඒත් අපේ එහෙම තත්ත්වයක් කවදද ඇතිවෙන්නේ?
Q ඒ කියන්නේ නාට්‍ය කලාවට ප්‍රවේශ වන නිශ්චිත ගමන් පථයක් ශ්‍රී ලංකාව තුළත්තවම බිහිවී නැහැ?
ඔව්.ඒත් එංගලන්තය වැනි රටක නාට්‍ය ක්ෂේත්රයට ප්‍රවිෂ්ටවීමේදී පළමුව අවධානය යොමු කරන්නේ කුමන නාට්‍ය පාසලෙන්ද ඉගෙනුම ලැබුවේ යන්න ගැන.ඒත් අපේ රටේ එහෙම තත්ත්වයක් නැහැ. අනික පිළිගත් සහතිකයක් නොමැතිව,පිළිගත් නාට්‍ය පාසලකින් ඉගෙනුම නොලබා එවැනි රටවල වේදිකාවේ ඇවිදින්නවත් දෙන්නේ නැහැ. එවැනි පසුබිමකයි ඔවුන් නාට්‍ය කලාවේ ජීවත්වෙන්නේ. ඔවුන් එවැනි තත්ත්වයක් පවා මේ වෙද්දි නිර්මාණය කරල අවසන්. කොහොම වුණත් මෙවැනි සංකීර්ණ නාට්‍යයක් තුළ නළු නිළියන් හැසිරවීම ලෙහෙසි පහසු නැහැ.