බහ තෝරන වයසේ මා සිතුවේ නිවසේ වැඩ කටයුතු අතරතුර ගීත ගැයීමත් අනිවාර්යය කාර්යයක් ලෙසයි. එලෙස මා සිතීමට පෙලඹුණේ වික්ටර් අයියා නිවසේ සිටින සෑම විටත්, ගමනක් ගොස් නැවත නිවසට පැමිණි විටත් ඔහු නිතරම ගීයක් මුමුණමින් සිටි බැවිනි.
තවද සවසට පියා රාජකාරිය නිමවා විවේකී කාලයේදී පුරුද්දක් ලෙස වික්ටර් අයියා ගීත ගයමින් සර්පිනාව වාදනය කිරීමත්, ලොකු අයියා තබ්ලාවෙන් සහාය වීමත් ඔවුන් දෙදෙනා විසින් ඉටුකළ යුතු අනිවාර්යය කටයුත්තක් වී තිබුණි.
ඉහතින් සඳහන් කළේ, අද සවස වත්තල එඩේරමුල්ල සුසාන භූමියේදී දැයෙන් සමුගන්නා සෝමපාල රත්නායකයන් විසින් තම සොහොයුරු වික්ටර් රත්නායකයන්ගේ, දශක පහක මියැසි පහස ප්‍රසංගය වෙනුවෙන් සම්පාදිත ග්‍රන්ථයකට තැබූ සටහනකි. සෝමපාල රත්නායකයන් වැනි අති දක්ෂ චෙලෝ වාදකයෙකු, නිර්මාණ ශක්තියෙන් අනූන සංගීතවේදියෙකු බිහිවීමට හේතු වූ මූලාරම්භය කෙබඳුදැයි එම ප්රකාශයෙන්ම විචිත්‍රණය වේ.
රත්නායක ආරච්චිලාගේ දොන් ජේමිස් හා අබේකෝන් මායාදුන්නලාගේ සුමනාවතී යුවළට දාව උපන් දරු-දැරියන් එකොළොස් දෙනා අතර, සිවුවැන්නා ලෙස සෝමපාලයන් ජන්මය ලබන්නේ 1947 නොවැම්බර් 07 වැනි දිනයි.
ඒ සුන්දර කඩුගන්නාව කඳු තීරයේ සීතලට නතු වූ ගම් පියසකදීය. ඔහුට වැඩිමල් සොයුරු සොයුරියන් ලෙස විල්ෆ්රඩ්, ලීලාවතී හා වික්ටර් රත්නායකයන් වූ අතර, බාලයන් ලෙස කුසුමාවතී, ආරියවතී, ජයසුමනා, පුෂ්පා, ලක්ෂ්මන් හා ෆ්රීමන් යන සොයුරු සොයුරියෝ වූහ.
චෙලෝ වාද්‍ය ශිල්පියෙකු ලෙස සංගීත ක්ෂේත්රයට අවතීර්ණ වන ඔහු, මෙරට සියලුම ප්‍රවීණ සංගීතවේදීන් යටතේ වාදකයෙකු ලෙස කටයුතු කර ලබාගත් දැනුමෙන් සන්නද්ධව සංගීත අධ්‍යක්ෂවරයෙකු ලෙස දිගු ගමනක් ඒමට හේතු වාසනා ලැබීය.
චෙලෝ වාද්‍ය භාණ්ඩය පමණක් නොව බොහෝ වාද්‍ය භාණ්ඩ වාදනය කිරීමේ හැකියාව ඔහු සතු විය. ඒ ඔස්සේ ගුවන් විදුලි සරල ගීත, චිත්‍රපට හා ටෙලිනාට්‍ය වෙනුවෙන් විශාල ගීත ප්‍රමාණයකට මධුර තනු නිර්මාණය කිරීමට අවස්ථාව ඔහුට උදාවිය.
1999 වසරේදී තිරගත වූ ටයිටස් තොටවත්තයන්ගේ 'හඳයා' චිත්‍රපටයෙන් සිනමා සංගීතකරණයට පිවිසි සෝමපාලයන් හෙළ සිනමා සක්විති ගාමිණී ෆොන්සේකා අධ්‍යක්ෂණය කළ 'උතුමාණෙනි', 'සාගරයක් මැද', 'කොටි වලිගය', 'නොමියෙන මිනිසුන්' වැනි සිනමා නිර්මාණ සඳහා සුවිශේෂී නිර්මාණ දායකත්වයක් එක්කරලීමට සමත් විය.
සිරි කුලරත්න, වී.සිවදාසන්, දිනේෂ් ප්‍රියසාද්, රෝයි ද සිල්වා, පරාක්‍රම ජයසිංහ වැනි ප්‍රවීණ චිත්‍රපට අධ්‍යක්ෂවරුන්ගේ නිත්‍ය සංගීත අධ්යක්ෂවරයා වූයේ ඔහුය. ඔහු විසින් 'හඳයා' චිත්‍රපටය සඳහා නිර්මාණය කරන ලද 'කවුරුද කවුරුද දැන් ලොක්කෝ' සහ 'සිහින ලොවේ සිට ආ හඳයා' යන ගීත අදටද සුමියුරු රසාස්වාදයෙන් අනූනව පවතී.
දයා විමලවීරයන්ගේ 'රජ දරුවෝ' චිත්‍රපටය සඳහා නිර්මාණය කළ, ග්‍රේෂන් ආනන්ද ගායනා කළ 'බිලිඳුනේ දරුවනේ', ගීතය අති විශිෂ්ට මවුගුණ ගීතයක් ලෙස අදද පිළිගැනේ.
'රිදී තැල්ල', 'පොඩි රාළහාමි', 'පෙරළිකාරයෝ', 'වරදට දඬුවම', 'පාරාදීසේ', 'බඹසර බිසව්', 'දෙමෝදර පාලම', ‘'අන්තිම රැය', 'අනුරාගයේ අනන්තය', 'ඔක්කොම රජවරු', 'වන්ෂොට්', 'දකින දකින මල්', 'තැන්කියු බර්ටි', 'දරුවනේ', 'දෝණි' හා 2016 වසරේ තිරගත වූ 'සිංහයා' චිත්‍රපටය දක්වා සිංහල චිත්‍රපට 90කට ආසන්න ප්‍රමාණයකට ඔහු විසින් සංගීත අධ්‍යක්ෂණය කර ඇත.
විවිධ ගායක ගායිකාවන් වෙනුවෙන් ඔහු කළ තනු නිර්මාණයන්ද අති විශාලය. තම සොහොයුරු වික්ටර් රත්නායකයන්ට නිර්මාණය කළ ගී අතර, 'සසර සාගරේ', 'නළවා කිසල ලවන්', 'මී කුසලානේ', 'නැවුම් ලොවක', 'පාවෙලා හෙමින් ඇවිත්', 'ප්‍රාර්ථනා කන්ද සැලී', 'තිසාවැවේ දිය රේඛා', 'දෙදරු ළඳුනි', 'චුල්ල පදුම', 'සිහිනෙන් ඇවිදින', 'නිල්වලා පීරලා', 'නෙතින් නෙතු සලා' වැනි ගීත රාශියක්ම විය.
මේ සොඳුරු සංගීතවේදියා, රංගනවේදියෙකුද වෙමින්, 'රජ දරුවෝ' හා 'එකදා වැහි' යන චිත්‍රපටවල රංගනයේ නියැළුණු බව බොහෝ දෙනෙක් නොදනිති.
ෙබෟද්ධයෙකු වුවද ඔහු කතෝලික පියතුමන්ලා සමග පැවතියේ දැඩි සම්බන්ධතාවකි. ඔහු විසින් නිර්මාණය කරන ලද හා සංගීත සංයෝජනය කළ කිතුනු ගීත ප්‍රමාණයද අති විශාලය. ඔහු දිවියෙන් සමුගන්නා තෙක්ම ශාන්ත ඇලෝසියස් දෙව්සත්හලේ සංගීත ගුරුවරයා ලෙස කටයුතු කළේය.
ඔහු පිළිබඳ ගරු බෙනඩික් ජෝශප් පියතුමා සිය මතකය අවදි කළේ මෙසේය.
''සෝමපාල රත්නායක සංගීතඥයාගේ අභාවය ඇසූ සැණින් ඉතාමත් ශෝකබරිත තත්ත්වයකට මා තල්ලුවී ගියා. ඊට හේතුව වන්නේ, සෝමපාල රත්නායක මහතා මම බොහෝ කලක සිට ඇසුරු කළා. විශේෂයෙන්ම අප බොරැල්ලේ ජෝනෙත් ශබ්දාගාරයේ කටයුතු කරද්දීත්, එතුමාණන් අපට නිතර නිතර මුණගැසුණේ හුදෙක් සංගීතඥයෙකුට වඩා ඉතාමත් යහපත් මනුෂ්‍යයෙකු හැටියට.
සෑම විටකදීම ඔහුගේ මුවේ තිබුණු ඒ ළෙන්ගතු සිනාව අප කාටත් එක්තරා විධියක ප්රබෝධයක් ඇතිකළා. මෙතනදි මා කියන්නට ඕනෑ විශේෂයෙන්ම ආගම් අතරේ විවිධාකාරයෙන් අදහස් උදහස් පළවෙන, විකාශය වන මෙවැනි යුගයක ඉතාමත් බලවත් ලෙස එතුමාණන් තුළ තිබුණු සිතුවිල්ලක් තමයි සියලු ආගම් තුළින්ම ජනයා පොහොසත් කරන නිසා ජනයාගේ ජීවිතවලට සැබෑ අත්වැලක් සහ මහා ශක්තියක් වන නිසා අපි සෑම ආගමකටම විශේෂ ආකාරයෙන් සබැඳියාවක් තිබිය යුතු බව.
විශේෂයෙන්ම ඔහු බොදුනු සහෝදරයෙක් වුවත්, එතුමාගේ පවුලේ සියලු කටයුතුවලදී කිතුදහම වෙත ඒ දරුවන් යොමු කළ, ඒ වගේම කිතු දහමේ සැබෑ අගය සෑම විටම අගය කළ, ජීවිතයට බද්ධ කරගත් කෙනෙක් හැටියට මා දකිනවා.
ඒ වගේම අපේ ගායනා සම්බන්ධව කතා කිරීමේදී යම් අවස්ථාවකදී අපට යම් සහායක් එතුමාගෙන් අවශ්‍ය වුණා නම්, කිසිම පැකිළීමක් නැතිව අපට ඔහු වෙත යන්නටත්, එය සැබෑවක් කරගන්නටත් අවස්ථාව සැලසුණා.
ඒ වගේම විශේෂයෙන්ම කියන්න ඕනෑ ඔහු අපගේ දෙව්සත්හල සමග පැවැති සබැඳියාව හේතු කොටගෙන බොදුනු සංගීතඥයෙකුගේ සැබෑ හැඩරුව කුමක්දැයි, ඒ හැදෙන වැඩෙන දරුවන්ට යම් ආකාරයක ආදර්ශයක් වූවා සේම ඔවුන්ගේ ජීවිතවලටත් එයින් යම් ආකාරයක බද්ධ බලපෑමක් ඇතිකරගන්නට හැකිවුණා.
ඉතිං මේ සියලු කාරණාවලදී පැහැදිලි වන්නේ අද යුගයට අවශ්‍ය වන මියැසියාව සැබෑ ලෙසින්ම ජීවිතය පුරාම දෝරේ ගලපු ඉතාමත් යහපත් මනුෂ්‍යයෙක් අප අතරින් වියෝවීම අපට සැබෑ කනගාටුවක් සංවේගයක්. එවැනි හිඩැසක් කොයි ආකාරයෙන්ද පුරවන්නේ කියන එකත් මම හිතන්නේ අද අපට තියෙන එක්තරා ආකාරයක ගැටලුවක්.''
සමුගත් සොයුරු සංගීතවේදියා පිළිබඳ සහෝදර සංගීතවේදීන් අදහස් දක්වා සිටියේ මෙලෙසිනි.
ආචාර්ය රෝහණ වීරසිංහ
''සෝමපාල රත්නායක සංගීතවේදියා මගේ ජීවිතයට ඉතාමත් වැදගත් වූ චරිතයක්. අද මා ඉන්න ස්ථාවරයට එන්න, ඉදිරියට ගමන් කිරීම සඳහා විශාල අත්වැලක් දුන්න ඉතාමත් ළෙන්ගතු සහෝදර සංගීතවේදියෙක්.
මා 1970 වසරෙදි පමණ අප එකට සංගීත විද්‍යාලයේ ශිල්ප හදාරද්දි මගේ හැකියාවන් දිරිගන්වලා, මා සිතාර් වාදකයෙක් විදියට එවකට ආචාර්ය වික්ටර් රත්නායක, ආචාර්ය ප්‍රේමසිරි කේමදාස වැනි විශිෂ්ට, ප්‍රවීණ, ජ්‍යෙෂ්ඨ සංගීතවේදින්ට හඳුන්වාදී ඔවුන්ගේ වාදක කණ්ඩායම්වලට මාව ඇතුළත් කරවා මට විශාල අත්දැකීම් රාශියක් ලබා ගන්නට උදව් කළේ සෝමපාල රත්නායකයන්.
ඒ වගේම සෝමපාලයන් තුළ තිබුණු දක්ෂතාව විශේෂයෙන් බටහිර සංගීතය වැනි ඒ මූලාශ්‍ර පිළිබඳ ඔහු තුළ තිබු අවබෝධය.මම හිතන්නේ චන්ද්‍රසේන මාස්ටර්ගෙන් ලබාගත් බොහෝ දේවල් මා ඉගෙනගත්තේ සෝමපාලයන්ගෙන්. මොකද ඒ වනවිට මට බටහිර සංගීතය පිළිබඳ අබ ඇටයකවත් ඥාණයක් තිබුණෙ නෑ.
අපි එකට ඉගෙනගන්න කාලෙ පුංචි නිර්මාණ කරනකොට ඒ වනවිටත් සෝමපාලයන් ප්‍රවීණ වෘත්තීය වාදකයෙක්ව හිටියේ. ඔහු සමහර විට කරන නිර්මාණවලදී ලිපි පිටපත් කරන්නට මාව තෝරගත්තා. එතැනදි මා බොහෝ දේවල් ඔහුගෙන් ඉගෙනගත්තා. ඒ වගේ තමයි වික්ටර් රත්නායකයන්ගෙන් මා ලබාගත් ගුරුහරුකම්වලටත් ගරුත්වය මම දෙන්නේ සෝමපාලයන්ට.
ආචාර්ය කේමදාසයන්ගෙන් මා ලබාගත් අත්දැකීම්වලටත් ඔහු මට ඒ අත්වැල සැපයුවා. ඒ නිසා මා නිතර ඔහු ගැන සඳහන් කළා. මගේ ජීවිතේ යම් යම් අවස්ථාවලදී මා සෝමපාලයන් කෘතවේදීව සිහිපත් කළා.
ඔහු අප අතරින් වියෝවීම කිසි ලෙසකින්වත් අපට දරාගන්න පුළුවන් කාරණයක් නොවේ. මොකද එකකුස හොත් සහෝදරයෙක් වගේ හිටපු කෙනෙක් අප අතරින් මෙහෙම වියෝ වුණාම දැනෙන කම්පනය කොයිතරම්ද කියලා කියන්න බෑ. ඔහුට නිවන් සුව අත්වේවා. ජාති ජාතිත් එවැනි මිතුරන්ගේ ඇසුර අපට ලැබේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා.''
ප්‍රවීණ සංගීතවේදී නවරත්න ගමගේ
''ලංකාවේ ප්‍රවීණ සංගීතඥයෙකු වන සෝමපාල රත්නායක මහතාගේ අභාවය අපට ඇත්තටම විශාල කනගාටුවක්, පාඩුවක්. මොකද එතුමා ලංකාවේ සංගීත ක්ෂේත්රයේ බටහිර සංගීතයේත්, ශාස්ත්‍රීය සංගීතයේත් නැඟීමක්. එතුමාගේ මූලික සංගීත භාණ්ඩය වුණේ චෙලෝවයි. එය ලංකාවේ මුලින්ම පටිගත කිරීම්වලදී බහුලව නොතිබුණු සංගීත භාණ්ඩයක්.
ඒ වාද්‍ය භාණ්ඩයත් සමග ඔහු සංගීත ක්ෂේත්රයට කළ සේවය ඉතාමත් ඉහළයි. ඒ වගේම එම චෙලෝ සංගීත භාණ්ඩය රාගධාරි සංගීතයට මනාව හසුරුවමින් විවිධ සංගීත අධ්යක්ෂවරුන් යටතේ ඔහු කළ මෙහෙය අමරණීයයි. ඒ වගේම අපි වගේ අය පවා ඔහුගෙන් ලද දැනමුතුකම් ගුරුහරුකම් ආලෝකය ඉතාමත් ඉහළයි. ඔහු කළ සේවයට අපි සදා ණය ගැතියි.''
ප්‍රවීණ සංගීතවේදී මහින්ද බණ්ඩාර
''ඇත්තටම සෝමපාල අයියා මට හමුවන්නේ මගේ මුල්ම පටිගත කිරීමේදී.මුලින්ම මම සහභාගි වුණේ වික්ටර් රත්නායකයන්ගේ ගීත පටිගත කිරීමකටයි. එදා තමයි මම මුලින්ම සෝමපාල අයියව දැක්කේ. ඔහු ඉතාමත් දක්ෂ චෙලෝ වාදකයෙක් විතරක් නොවෙයි ඔහු ඉතාමත් දක්ෂ සංගීතඥයෙක්. ඔහු ලංකාවේ බොහෝ සම්භාව්‍ය විත්රපටවල සංගීත අධ්යක්ෂවරයා ලෙස කටයුතු කර තිබෙනවා.
ඒ වගේම ජනප්‍රිය වුණ ගීත රාශියක තනු නිර්මාණය කරලා තියෙනවා. ඔහු බොහෝ ප්‍රවීණ චිත්‍රපට අධ්යක්ෂවරුන් සමග වැඩ කරපු, දක්ෂ සංගීත අධ්යක්ෂවරයෙක්. ඔහු සමග වැඩ කරන්න ඉතාමත් පහසුයි. මොකද ඔහුට සංගීතය පිළිබඳ පුළුල් දැනුමක් තිබුණු නිසා. අනික ඔහු හරි නිහතමානී පුද්ගලයෙක්. අපි නොදැන සිටි බොහෝ දේවල් දැනගත්තේ ඔහුගෙන්.
ඒ වගේම මෑත යුගයේ ආව තරුණ සංගීත අධ්යක්ෂවරුන් යටතේත් ඔහු වාදකයෙකු හැටියට කටයුතු කළා. හැමෝටම උපදෙස් දුන්න කෙනෙක්. පැරණි අයගෙන් ඉතිරි වෙලා හිටිය හොඳම, දක්ෂ සංගීතවේදියෙක් තමයි අපට මෙලෙසින් අහිමි වුණේ. අපට සතුටු වෙන්න පුළුවන් ඔහුත් සමග කාලයක් වැඩ කරපු එක ගැන. ඒ වගේම ඔහුගේ වියෝව දැඩි පාඩුවක් ලෙස දැනෙනවා සිංහල සංගීත ක්ෂේත්රයට හමුවුණු හැම මොහොතකම විහිළුවක් කරමින් ළෙන්ගතු සිනාවක් පෑ ඔබ යළිත් එලෙසින් හමු නොවනු ඇත.
තමා කළ නිර්මාණ ගැන පුරසාරම් නොදෙඩූ ඔබ, ජනප්‍රියත්වය පසුපස හඹා නොගිය බවද දනිමි. මිනිසත් බව දුටු සොඳුරු මිනිසෙකු වූ ඔබත්, ඔබ දැයට දායාද කළ සොඳුරු නිර්මාණත් විශ්වය ඇති තුරා රැදී පවතිනු ඇත. මෙපමණ ඉක්මනින් මෙවන් සටහනක් ඔබ ගැන තබන්නට සිදුවෙතැයි මම නොසිතුවෙමි. නමුත් නොසිතුවක් සිදුව ඇත. සමුගෙන යන්නට අවසර දෙන්නෙමි සහෘදයාණනි, ළසොවින් පිරි සිතඟින්.!
(සෝමපාල රත්නායකයන්ගේ දේහය මේ වන විට 78C, බෝපිටිය පාර, උස්වැටකෙයියාව යන ලිපිනයේ පිහිටි ඔහුගේ නිවසේ තැන්පත්කර ඇති අතර අවමඟුල් පෙරහර සවස 03ට නිවසින් පිටත් වේ.)
ඇන්ටන් ජේ. ප්‍රනාන්දු