කාන්තා මල්ලව පොර අංශයෙන් ප්‍රථම වතාවට 2012 ලන්ඩන් ඔලිම්පික් උලෙළ නියෝජනය කළ ඉන්දීය යුවතිය, ගීතා පොගාර්ට් හා බැඳි සත්‍ය ජීවිත කතාව පාදක කරගනිමින් රූගත කරන ලද 'දංගල්' හින්දි චිත්‍රපටය කොළඹ, වැල්ලවත්ත සැවෝයි සිනමාහලේ හා කොල්ලුපිටිය ලිබර්ටි ලයිට් ඇතුළු සිනමා හල් ගණනාවක මේ දිනවල ප්‍රදර්ශනය වෙයි.
භාරතයේ පිහිටි ඩිස්නි නිර්මාණාත්මක සිනමා කණ්ඩායමේ සාමාජිකාවක වන දිව්‍යා රාඕ, තමන් විසින් 2012 වසරේදී කියවන ලද ඉන්දීය පුවත්පතක පළ වූ, මහාවීර් සිංග් පොගාට් නම් පුද්ගලයෙකු තම දියණියන් දෙදෙනා ලෝක මට්ටමේ මල්ලව පොර ශූරියන් බවට පත්කළ ලිපියෙන් වශීකෘත වී කළ එළඹුමක අවසන් ඵලය වන්නේ ඉතා ආකර්ෂණීය, හදවතට දැනෙන,'දංගල්' සිනමා පටය බිහිවීමයි.
තම කතාව චිත්‍රපටයකට නැගෙන බව දැනගත් මහාවීර් සිංග් හා ඔහුගේ දියණියන් දෙදෙනා ඉතා ආශාවෙන් ක්ෂණිකවම මෙම තිර නාටකය රචනා කළ නිතේෂ් තිවාරිට තම කතාව පැවසීමට එකඟ වී ඇත.
චිත්‍රපටය ආරම්භ වූ තැන් සිට අවසානය දක්වා ඉතාම සරල සිද්ධි බද්ධ වූ පැහැදිලි තිරරචනය, මෙම චිත්‍රපටයේ ජනමනස ඇද බැඳ තබාගැනීමේ මන්තරය වන අතර, ලාංකේය සිනමාවේ චිත්‍රපට කතා ගොඩනැගීමට නොහැකිව අසරණභාවයට පත් වූ හැමටම දෙබස් හා තිරනාටක රචනයේ අධ්‍යාපන මෙවලම්ද මෙම චිත්‍රපටය ලබාදෙයි.
ඉන්දියානුවන්ට ඇති දේශානුරාගය අපට නැති වුවද, දංගල් නරඹද්දී ඔබද ඉන්දියානුවෙකු වී කඳුළු වගුරනවා නියතය. ඉන්දීය කාන්තාවට භාරත සමාජයේ ඇති පහත් සැලකීම් ගැන සිතා ඉන්දීය මාතාවන් කාන්තා කළල ගබ්සා කිරීමට යොමුවීමෙන් වළකාලීමට, ඉන්දීය රජය ගෙනයන අලුත් වැඩපිළිවෙළට ආධාරකයක් වන නිසාත්, ඉන්දීය යුවතියන් අභීත දියණියන් බවට යොමු කිරීම සඳහා, මෙම චිත්‍රපටයෙන් ලැබෙන පිටුවහල ගැනත් සලකා උත්තර් ප්‍රදේශ්, උත්තරාකන්ද්, හර්යානා හා නවදිල්ලි ප්‍රාන්තවල දංගල් ප්‍රදර්ශනයෙන් ලැබෙන ආදායම, ආදායම් බද්දෙන් නිදහස් කොට ඇත.
දංගල් කෘතියේ කතා කරන ඔලිම්පික් උලෙළ නියෝජනය කළ ගීතා පොගාට් සත්‍ය දිවියේදී 2010 පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උලෙළේදී කිලෝග්‍රෑම් 55 බර පංතියේ රන් පදක්කම ඉන්දියාව වෙනුවෙන් දිනාදුන් අතර, ඇගේ සොහොයුරිය බබීතා කුමාරි එම තරගාවලියේදීම කිලෝග්‍රෑම් 51 බර පංතියේ රිදී පදක්කම ඉන්දියාව වෙනුවෙන් දිනා ගත්තාය.
දියණියන් දෙදෙනා මල්ලව පොර ශූරියන් ලෙස සමාජගත කළ 'මහාවීර් සිංග් පොගාට්' නම් පියාගේ චරිතය බොලිවුඩ් සුපිරි නළු අමීර් ඛාන් දංගල් චිත්‍රපටයේදී ප්‍රතිනිර්මාණය කරන අතර, ඔහු චිත්‍රපටයේ මවන හැඟීම්, පසුබිමින් ඇසෙන ප්රිතම්ගේ සංගීතයෙන් මතුකොට ඇති අන්දම ආශ්වාදජනකය. තරුණ හා මහලු මහවීර් සිංග් ලෙස චරිත නිරූපණය තාත්ත්වික බවට පත්කිරීම සඳහා අදියර දෙකක කාල පරාසයක් ඇතිව මෙම චිත්‍රපටය රූගත කිරීමට අධ්යක්ෂ නිතේෂ් තිවාරි වගබලාගෙන ඇති අතර, එයට ගැළපෙන ලෙස චිත්‍රපටය වෙනුවෙන් තම සිරුර තරබාරු කරගැනීමටද අමීර් ඛාන් වගබලාගෙන ඇත.
මේ වනවිට ලොව වටා ඇමෙරිකානු ඩොලර් මිලියන සියය පසුකොට ආදායම් වාර්තා තබා ඇති 'දංගල්' නරඹද්දී, එය චිත්‍රපටයක් නිර්මාණයේදී කරන ලද විශිෂ්ට කැපවීම වෙනුවෙන්ම ලද සාර්ථකත්වයක් බව පසක් කරයි. පියා විසින් තමාගේ මල්ලවපොර සිහිනය සැබෑ කරගැනීම සඳහා දැරියන් දෙදෙනාගේ කෙස් වැටි කපා දැමීම එක් අතකට අමානුෂික මුහුණුවරක් චිත්‍රපටයට එක්කොට ඇතැයි දංගල් නරඹද්දී සිතෙන අතර, මෙම චිත්‍රපටය තම දරුවන්ගේ ළමා කාලය පැහැරගෙන, තමන්ට ළඟා විය නොහැකි වූ සිහින හඹායන ලාංකේය දෙමාපියන් මෙන්ම දරුවන්ද නැරඹිය යුතු පවුලේ චිත්‍රපටයක් වෙයි.
පසුගියදා පැවැති 62 වැනි ෆිල්ම් ෆෙයාර් සම්මාන උලෙළේදී දංගල් චිත්‍රපටයේ ප්‍රධාන චරිතය රඟපෑ අමීර් ඛාන් හොඳම නළුවා ලෙසද, එහි අධ්යක්ෂ නිතේෂ් තිවාරි හොඳම අධ්යක්ෂ ලෙසද සම්මාන ලද අතර, වසරේ හොඳම චිත්‍රපටය ලෙස සම්මාන ලද්දේද 'දංගල්' චිත්‍රපටයයි.
පද්මකුමා පී. මෙත්තසේන