දශක හතරකට අධික කාලයක් මෙරට කලාකෙත අස්වද්දන්නට සිය නිර්මාණශීලී හරවත් රංගන පෞරුෂය කැපකළ ජයලත් මනෝරත්නයන් ඇගයෙන,'දවස් පාළොස්දාහ' ජයලත් මනෝරත්න නාට්‍ය උලෙළ මාර්තු 17 වැනිදා සිට 23 වැනිදා දක්වා සවස 6.45 ට කොළඹ 7, ලයනල් වෙන්ඩ්ට් රංග ශාලාවේදී පැවැත්වීමට නියමිතව තිබේ. මේ ඒ පිළිබඳව ඔහු සමග කළ සංවාදයකි.
පවත්වන්නට සූදානම් වන නාට්‍ය උලෙළ ගැන මුලින්ම කතා කළොත්?
මේ නාට්‍ය උලෙළ නම්කර තිබෙන්නේ 'ජයලත් මනෝරත්න නාට්‍ය උලෙළ දවස් 15,000' කියලයි. මම කොළඹ ඇවිත් නාට්‍ය කරන්න පටන්ගත්තෙ 1973 හෙන්රි ජයසේන මහතාගේ 'මකරා' නාට්‍යය හරහායි. ඊට පෙර පේරාදෙණිය විශ්වවිද්‍යාලයේදී මහාචාර්ය සරච්චන්ද්‍රයන් සමග වැඩ කළා. නමුත් කොළඹ දිවිය පටන්ගත්ත තැන සිට තමයි දිගටම මේ නිර්මාණ කටයුතු කරගෙන ගියේ. ඒ අනුව එතැන් සිට මේ දක්වා ගෙවුණු කාලය තමයි දවස් 15,000 කියන්නෙ.
මේ නාට්‍ය උලෙළට 'ලෝකය තනි යායක්', 'සෙල්ලම් නිරිඳු', 'තලමල පිපිලා', 'බූරුවා මහත්තයා', 'ගුරුතරුව', 'අන්දරේලා', 'පුත්‍ර සමාගම' යන නාට්‍ය හත ඇතුළත්. මේ නාට්‍ය පිළිවෙළින් මාර්තු 17 වැනිදා සිට 23 වැනිදා දක්වා රංගගත කෙරෙනවා.
මේ නාට්‍ය උලෙළේ රඟදකින සමහර නාට්‍ය වසර 30කට වඩා පැරණියි. නමුත් ඒවා අඛණ්ඩව පවත්වාගෙන එන නාට්‍ය. අපි වරින්වර උලෙළවල් පවත්වා මේ නාට්‍ය රසිකයන් වෙත සමීප කරනවා.
මේ නාට්‍ය උලෙළේ පරමාර්ථය වෙන්නෙ දීර්ඝකාලීනව පවතින නාට්‍ය එකදිගට රසිකයන්ට දැක බලාගන්නට අවස්ථාව සැලසීම. ඒ වගේම 'ගුරුතරු', 'තලමල පිපිලා' පාසල් විෂය නිර්දේශිත නාට්‍ය නිසා ළමයින්ට එම නාට්‍ය නැරඹීමට හා කතිකාවත් ගොඩනැංවීමට අවස්ථාව සැලසීම තවත් අරමුණක් වෙනවා.
විශ්වවිද්‍යාල සිසුන්ගේ නාට්‍ය සම්බන්ධ නිබන්ධවලට බොහෝවිට මේ නාට්‍ය ඉලක්ක වෙනවා. එවැනි පසුබිමක මේ නාට්‍ය එක තැනකින් එකදිගට බලන්න ලැබීම ඔවුන්ට පහසුවක්.
නාට්‍ය උලෙළක් කියන්නේ වෙනම උප සංස්කෘතියක් ඇතිවන ස්ථානයක්. එය සමස්ත නාට්‍ය කලාවටත් යම් ආලෝකයක්. නාට්‍ය උලෙළේ ප්‍රවේශපත් ලයනල් වෙන්ඩ්ට් රඟහල, සරසවි පොත්හල හා සදීපා පොත්හල වෙතින් ලබාගත හැකියි. මේ පිළිබඳ වැඩිවිස්තර 0713598909 මගින් ලබාගත හැකියි.
නාට්‍ය උලෙළ සඳහා නාට්‍ය තෝරාගත්තේ කවර පදනමකින්ද?
මම නිෂ්පාදනය කරපු නාට්‍ය ප්‍රමාණය 12ක්. මින් 10ක්ම ස්වතන්ත්‍ර. මින් දැනට නිෂ්පාදනයේ පවතින නාට්‍ය 07ක් තමයි මෙහිදී තෝරාගත්තේ.
ඔබේ නාට්‍ය හරහා බොහෝවිට පැවැති සමාජ, දේශපාලනික තත්ත්ව විග්රහයට ගැනුණා. මේ වකවානුවේදී මෙම විෂයයන් වඩාත් අදාළ නිසාද මෙවැනි නාට්‍ය උලෙළක් සංවිධානය කළේ?
ඔව්. පසුගිය දශක තුන තුළ අපි සමකාලීන ප්‍රශ්න කතා කරලා තියෙනවා. ඒ වගේම දේශපාලනික, සමාජ, ආර්ථික ප්‍රශ්න ආශ්රයෙන් පැනනගින ගැටලු මේ නාට්‍යවලට වස්තු විෂය වෙලා තිබෙනවා. හැබැයි මේවා හැකිතරම් සෞන්දර්යාත්මකව නාට්‍ය මාධ්‍යයට උචිතව තමයි ගොනුකරලා තියෙන්නෙ. විශේෂයෙන් පෙරදිගට හුරුපුරුදු නාට්‍ය ධර්මීය ගුණාංග වන නර්තන, සංගීතය, ගායන වැනි දේ මුහුකරලා, ප්‍රාසාංගික බව, සෞන්දර්යාත්මක රමණීයත්වය උපරිම ලෙස ඇතුළත් කොට තිබෙනවා.
1985 නිබන්ධනය කළ 'පුත්‍ර සමාගම', 1988 නිර්මාණය කළ 'තලමල පිපිලා', 1993 නිර්මාණය කළ 'අන්දරේලා'වැනි නාට්‍ය සමාජයේ හරස්කඩක් ලෙස සිතිය හැකියි. කිසියම් සමාජීය හරස්කඩක් මේ නාට්‍ය හත ඇසුරින් නරඹන්නාට ප්රදානය කිරීමට පුළුවන්.
කලාකරුවන් ලෙස ප්රශස්ත මට්ටමෙන් විනෝදාස්වාදය සපයන අතරම, යම්කිසි අලුත් අත්දැකීමක්, ජීවිතය පිළිබඳ අලුත් දැකීමක් ඉදිරිපත් කළ යුතුයි. විශේෂයෙන් අලුත් මිනිසෙක් උදෙසා අබමල් රේණුවකින් හෝ දායකත්වයක් සැපයීම මෙම නාට්‍ය නැවත නැවත රංගගත කිරීමකින් හැකිවෙයි කියලා මම හිතනවා.
ඔබ කිව්ව නාට්‍ය උලෙළ තුළ ඇතිවන උප සංස්කෘතිය තුළ ජීවත්වන්නේ කොළඹ ආශ්රිත ජනයා පමණයි නේද?
මේක සංකීර්ණ ගැටලුවක්. මන්ද නාට්‍ය උලෙළ මීට පෙර කොළඹින් බැහැරව පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ සරච්චන්ද්‍ර රඟහලේ (වළේ) පෙන්වලා තිබෙනවා. ඒ වගේම මතුගම ප්‍රදේශයේත් පැවැත්වුවා. මේ අවස්ථා දෙකම ඉතා සාර්ථකයි. නමුත් පවතින එකම ගැටලුව වන්නේ මීට නිසි යාන්ත්‍රණයක් නොමැතිකමයි.
මෙවන් පසුබිමක මෙවර නාට්‍ය උලෙළ සඳහා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව සිය සමාජ සද්කාරක ව්‍යාපෘතියක් ලෙස මෙම නාට්‍ය උලෙළට අනුග්‍රහය දක්වන්න ඉදිරිපත් වුණා. එය මේ අවස්ථාවේ අගය කළ යුතුයි.
අපි නිරන්තරව පිට පළාත්වල නාට්‍ය පෙන්වනවා. ඈත පළාත්වල තරම් උසස් රසිකයන් මම වෙන කොහේදීවත් දකින්නෙ නැහැ. හැබැයි කිහිපදෙනෙකුගේ වෙර වීරියෙන් තමයි පිටපළාත්වල නාට්‍ය කලාව පවත්වාගෙන යන්නෙ. ඔවුන්ට නිසි ශාලාවක්වත් නැහැ. අපේ යුතුකම අපි අපට හැකි පමණින් කරගෙන ගියත්, මීට දැන් යාන්ත්‍රණයක් අවශ්‍යයි.
ඊළඟට මොකද වෙන්නෙ?
'ඊළඟට මොකද වෙන්නෙ' කියන්නෙ, මගේ නවතම ටෙලි නිර්මාණයයි. අපි පසුගිය කාලෙ දැක්කා ඉතා සූක්ෂම ලෙස සැලසුම් සහගතව විශාල පරිමාණයෙන් මංකොල්ලකෑම් සිදුවුණා. මේ තත්ත්වය සමාජ ප්‍රශ්නයක් බවට පත්වෙලා. මෙන්න මේ කාරණය තමයි කේන්ද්‍රීය පුවත බවට පත්වෙන්නෙ.
මෙය මගේ අනෙක් ටෙලිනාට්‍යවලට වඩා තරමක් වේගවත්. මේ වේගවත් බව නිසාම සහ වෙනස් අන්තර්ගතයක් හා ආකෘතියක් සහිත නිසා ප්‍රේක්ෂකයන් අතර ජනප්‍රිය වේවි කියලා විශ්වාස කරනවා.