සිනමා සංරක්ෂණයක් පිළිබඳ අප කතා කරනුයේ අද, ඊයෙක නොවේ. ධර්මසිරි බණ්ඩාරනායකගේ 'තුන්වෙනි යාමය' සිනමා නිර්මාණයේ පටල පට විනාශ වීම සමග මේ කතාබහ නැවත ඇතිව තිබේ. ඒ සිනමා නිර්මාණය ගැන හා සිනමා සංරක්ෂණය ගැන කතා කිරීමට ප්‍රවීණ නිර්මාණවේදී ධර්මසිරි බණ්ඩාරනායක මහතා මෙලෙස %අද^ට සම්බන්ධ කර ගතිමු.
Q 1980 දී නිර්මාණය කරන ලද %තුන්වෙනි යාමය^ සිනමා නිර්මාණය සිදු කිරීමට පසුබිම් වූ කාරණා මුලින්ම කතා කරමු
1978 දී තමයි මම 'හංස විලක්' චිත්‍රපටය රචනා කළේ. එය රූගත කර 1980 වන විට ප්‍රදර්ශනය කරන්න හැකි වුණා. 'හංස විලක්' චිත්‍රපටය ලංකාවේ එතෙක් පැවැති සිනමා කලාවට වඩා වෙනස් ගමන්මගක ආරම්භයක් ලෙස විචාරකයන් සඳහන් කළා. මෙය සිනමාවේ ලෑන්ඩ්මාර්ක් එකක් ලෙස සමහර විචාරකයන් හැඳින්වුවා. එකල එය පිළිගත්තත් නැතත් අද සිනමා ඉතිහාසය විසින් එය ඔප්පු කර තිබෙනවා. ඒ සිනමා නිර්මාණ තීන්දු වුණේ සම්මානවලින් නෙමෙයි. 1980 වර්ෂයේදී 'හංස විලක්' චිත්‍රපටය වෙනුවෙන් මට හා ස්වර්ණා මල්ලවාරච්චිට ලැබුණේ රඟපෑම් සහතිකයක්. එලෙස මුලින් %හංස විලක්^ චිත්‍රපටය සමාජගත කළාට පස්සේ තමයි %තුන්වෙනි යාමය^ තිර රචනය ලියලා චිත්‍රපට සංස්ථාවට ඉදිරිපත් කරන්නේ. ඒ කාලයේදී චිත්‍රපට සංස්ථාව තුළ තිබුණා තිරනාටක ඇගයීමේ කමිටුවක්. ඒ කමිටුව විසින් %තුන්වෙනි යාමය^ තිර රචනය කියවා එය විශිෂ්ට තිරනාටකයක් ලෙස හැඳින්වුවා. එය 'ඒ' ශ්‍රේණිගත තිර රචනයක් ලෙස නම් කළේ. 'ඒ' ශ්‍රේණියේ තිර රචනයක චිත්‍රපට නිෂ්පාදනයට යන පිරිවැය මහජන බැංකුවෙන් ණයක් ලෙස ලබා දුන්නා. ඇපකරු ලෙස චිත්‍රපට සංස්ථාව පෙනී හිටියා. නමුත් චිත්‍රපටයේ අධ්යක්ෂවරයාගේ සේවා ගාස්තු, තිර රචකයාගේ මුදල එයට ඇතුළත් වෙන්නේ නැහැ. එය මම චිත්‍රපටයේ ආයෝජනයටම යෙදූ කොටසක් බවට පත්වුණා. එහෙම සිදුකර තමයි %තුන්වෙනි යාමය^ චිත්‍රපටය නිර්මාණය කරන්නෙ. මේ චිත්‍රපටය තිරගත වෙන්නේ 1983 ජූලි කලබලවලින් පසුව. ඒ වන විට පැවැති සිනමාහල් ප්‍රමාණය එකසිය ගාණක් බවට පත්වුණා. අසූතුනේ ජූලි කලබලවලින් පසු පස්වැනි මණ්ඩලයේ තිරගත කළ පළමු චිත්‍රපටය තමයි %තුන්වෙනි යාමය^ කියන්නෙ. චිත්‍රපටය සමාජගත කළාට පසුව සිනමා ශාලා ගිනි තබා තිබුණා. චිත්‍රපටයට යම් ප්‍රේක්ෂකාගාරයක් සිටියා. ඉන් සංස්ථාවේ සියලු ණය පියවා ගන්න හැකියාව ලැබුණා. සම්මාන උළෙලවලදීත් හොඳම අධ්යක්ෂවරයා, හොඳම තිර රචකයා වැනි සම්මානත් හිමිකර ගත්තා.
Q එවැනි වෑයමක් දරමින් සමාජගත කරන ලද %තුන්වෙනි යාමය^ චිත්‍රපටයේ පටල පිටපත මේ වන විට විනාශ වී තිබෙනවා නේද
'හංස විලක්' හා 'තුන්වෙනි යාමය' නෙගෙටිව් පටය තැම්පත් කර තිබුණේ සරසවි චිත්‍රාගාරය තුළ. එය රජය සතු චිත්රාගාරයක්. අද නම් ඩී.සී.පී. ක්‍රමයට පිටපත් 65ක් පමණ නිර්මාණය කරනවා. මෙහි 35mm පටිය තමයි අපි ඒ කාලයේදී ප්‍රදර්ශනය කළේ. මුලින් ප්‍රදර්ශන මණ්ඩලයේ සිනමා ශාලා දොළහක තමයි චිත්‍රපටය තිරගත කළේ. ඒ ප්‍රදර්ශන වාරය අවසන්ව නව සිනමා නිර්මාණයක් පැමිණි පසු බී.සී. නමින් වර්ගීකරණයක් කරනවා. ඈත ගම්මානවල සිනමා ශාලාවල ප්‍රදර්ශනය කරනවා. සම්පූර්ණයෙන්ම ප්‍රදර්ශනය අවසන් වූ පසු චිත්‍රපටය සංස්ථාවේ ස්ටෝරුව වෙත පැමිණෙනවා. ගබඩාවතුළ තිබූ බොහෝ චිත්‍රපටවලට කිසිම සංරක්ෂණ ක්‍රමවේදයක් නැහැ. ඒ නිසා ඒ පිටපත ඉන් බැහැර වෙන්නේ කෙලෙසද කියලා දන්නේ නැහැ. අවසානයේදී %තුන්වෙනි යාමය^ චිත්‍රපටයේ එක් පිටපතයි ඉතුරු වුණේ. මම එයත් නැති වෙයි කියලා හිතලා ගෙදර ගෙනත් තියාගත්තා. 2008 දී තරුණ අධ්යක්ෂණවරයෙකු ගාල්ල ලිටරලි ෆෙස්ටිවල් එකට සම්බන්ධ වුණා. එයට %තුන්වෙනි යාමය^ දෙන්න කියලා මට කිව්වා. ඔහු 2008 ඔක්තෝබර් මස ෆෙස්ටිවල් එකේදී තිරගත කර තිබෙනවා. ඉන් පසු මේ පිටපත මට නැවත ලැබුණේ නෑ. ඒ ගැන ඇහුවාම අධ්යක්ෂවරයා කිව්වේ ධර්මසිරි අයියාට මම මේ සිනමාපටය ගෙනත් දුන්නා කියලා. ඒ චිත්‍රපටය බැහැර වුණා. ප්‍රේමසිරි කේමදාස සිනමා උළෙලේදී කේමදාස මාස්ටර්ගේ දුව මෙය ප්‍රදර්ශනය කරන්න දෙන්න කියලා. එය කේමදාස මාස්ටර්ගේ සංගීතය අන්තර්ගත වෙලා තියෙන්නෙ. මම 'තුන්වෙනි යාමය' ටොරානා වෙතින් ඩී.වී.ඩී. ක්‍රමයට වෙළෙඳ පොළට යොමුකළා. එය දෙන්න හිතුවා. නමුත් එහිදී මම නැවත මගේ නැති වූ සිනමා පිටපත සොයනු ලැබුවා. මම කියූ තරුණ සිනමා අධ්යක්ෂවරයාගේ පියා සතුව සිනමා ශාලාවක් තිබෙනවා. මම එහි ගිහින් කිව්වා මගේ චිත්‍රපටය මේ කැබින් එකේ තියනවාද බලන්න කියලා. ඔපරේටර්වරු ගෙන්නලා එය විමසුවා. ඔහු ඩයරිය බැලුවා. එහි %තුන්වෙනි යාමය^ චිත්‍රපටයේ නමත් ලියලා තිබුණා. එය කොස්වාඩිය සිනමා ශාලාවේ තියෙනවා කියලා ඔහු කිව්වා. මම එහි ගියා. ඔපරේටර්ට කතා කරලා හෙව්වා. බැල්කනියට නගින තැන ස්ටූල් එකක් අස්සේ ඒ චිත්‍රපටය තිබ්බා. එහි කෑන් ටික මම ගත්තා. අවසන් රීල් එක යකඩ ඉන්නකින් ඇනලා බැලුවා. එය තාර බවට පත්වෙලා. අනිත් රීල් එකොළහේ තත්ත්වයත් එතරම් හොඳ නෑ. පොජෙක්ටර් එකකට දාලා පෙන්නන්න බෑ. එයින් දියරයක් ගලනවා. 2008 දී තමයි චිත්‍රපටය එතැනට දාන්න ඇත්තේ. තරුණ අධ්යක්ෂවරයාගේ නොසැලකිල්ල නිසා මට මගේ දරුවෙක් නැතිවුණා වගේ වේදනාවක් දැනුණේ. නෙගටිව් එක සංස්ථාවේ තිබ්බේ. එහි තත්ත්වයත් ඒ හා සමානයි.
Q එක්දහස් නවසිය පනහ දශකයේ සිට තමයි ලෙස්ටර් ජෙම්ස් පීරිස් මහතා එහෙම සිනමා සංරක්ෂණයක් ගැන කතා කරන්නේ. එහෙත් අපට එය තවමත් සිදු කරගත නොහැකිවී තිබෙන්නේ ඇයි
ඔහු ලංකාවේ පහළ වූ විශිෂ්ට සිනමාකරුවෙක්. ඔහු අවස්ථා ගණනාවකම මේ චිත්‍රපට සංරක්ෂණයේ ඇති වැදගත්කම කිව්වා. චිත්‍රපටය කියන්නේ ඉතිහාසයක්. ඒ ඉතිහාසය තුළ එකල සමාජ ජීවිතය තැම්පත් වෙනවා. මිනිස් හැසිරීම් භාෂාව වැනි බොහෝ දේ එක්වන මධ්‍යස්ථානයක් තමයි චිත්‍රපටය කියන්නේ. සංස්කෘතිය පිළිබඳ සැලකිලිමත් වෙන අයටත් එය ප්‍රයෝජනවත්. අපි විනෝදාස්වාද ජනක මාධ්‍යක් ලෙස පමණයි චිත්‍රපටය සැලකුවේ. එලෙස තමයි අපේ සමාජයට ඇතුළත් වෙන්නේ. එහෙම නැත්තම් ලෙස්ටර් මහත්තයා කියූ ඒ අදහස ක්‍රියාත්මක කරන්න පාලක පන්තිය ඔළුවට ගත්තා නම් අද වන විට 'තුන්වෙනි යාමය' චිත්‍රපටය නෑ කියලා මට මෙලෙස නහයෙන් අඬන්න සිද්ධ වෙන්නේ නැහැ. එය රක්ෂණය කරන්නේ වෙනම ස්ථානයක. නිර්මාණකරුවා එය බදාගෙන රැකගත යුතු නැහැ. මගේ සිනමා නිර්මාණ පහ ගැන කතා කළත් 'සුද්දිලාගේ කතාව' චිත්‍රපටයේ පිටපතක් අද වන විට නැහැ.
Q සිනමා සංරක්ෂණය වෙනුවෙන් චිත්‍රපට සංස්ථාව මැදිහත් වෙන්නේ නැද්ද
එය චිත්‍රපට සංස්ථාවේ වගකීමක්. රජය සතුව එවැනි ආයතනයක් තිබෙනවා නම්, ඒ ආයතනයට පත්ව එන නිලධාරීන් ඒ සේවය ඉටුකළ යුතුයි. ලංකාවේ සිනමාවට වසර හැත්තෑ එකක් සපිරෙනවා. මෙහෙම වෙද්දි වසර හැත්තෑ එකක් අපේ රටේ හදපු චිත්‍රපටවල ඉරණම මොකක්ද? මෑතකදී ජාතික ලේඛනාරක්ෂක දෙපාර්තමේන්තුවට චිත්‍රපට සංරක්ෂණාගාරය ගෙන ගියා. සම්පූර්ණ සංරක්ෂණය සඳහා අවශ්‍ය එක් කොටසක අම්පන්න ලැබී තිබෙනවා. අධ්යක්ෂවරු කැමැත්තෙන් චිත්‍රපට ගිහින් බාර දී තිබෙනවා. එහි චිත්‍රපට දෙසීය හතළිස් ගණනක් තිබෙනවා. තැම්පත් කළ පසු ඩිජිටල් තාක්ෂණය යටතේ මෙය සංරක්ෂණය කරන්න අවශ්‍ය වෙනවා. එයට අවශ්‍ය ආම්පන්න ගෙන්වීමේ කටයුතු කළ යුත්තේ රජය. මෑතකදී චිත්‍රපට සංස්ථාව මැදිහත්ව %රේඛාව^ චිත්‍රපටය හා %හංස විලක්^ තෝරා ගෙන ඒ චිත්‍රපට දෙකම ඩී.සී.පී. ක්‍රමයට සකස් කළා. තෝරා ගත් දෙකක් නෙමෙයි කලාත්මක හා වාණිජ සියලු නිර්මාණවලට මෙය සිදුකළ යුතුයි. ඒක ආයතන ක්‍රියාවලියක්. අනාගත පරම්පරාවලට මෙය දැකගැනීමේ අවස්ථාව උදාකළ යුතුයි.
විවිධ අවස්ථාවලදී සිනමා නිර්මාණකරුවන් විසිනුත් මේ තත්ත්වය ගැන රජයට කියා තිබෙනවා නේද
මෙය පිරිත වගේ කියලා තියෙන්නේ. නමුත් රජය එය රාජකාරී මට්ටමින් සලකන්නේ නැහැ. චිත්‍රපට කෑන් එකක් උඩ කෙනෙක් වාඩි වෙලා ඉන්නවා නම් අපි ඔහුව ඒ මොහොතෙම නැගිට්ටවනවා. මිනිසෙකුට ආචාරධර්ම පද්ධතියක් තිබෙනවා. සිනමාපටය නිර්මාණය කළ කෙනාටයි එහි ගෞරවය හිමිවිය යුත්තේ. ඒ සිනමා නිර්මාණ ආරක්ෂා කිරීමේ වගකීමක් තිබෙනවා. පතී ජීවිතයෙන් සමුගත්තා. අපි නිර්මාණයෙන් සමුගත්තා. මේ රටට අපෙන් ඇති වැඩක් තිබෙනවාද? මේ සංරක්ෂණ ක්‍රමවේදයක් ගැන කියලා නහයෙන් අඬන්න සිදුවෙලා. 'තුන්වෙනි යාමය' සිනමා නිර්මාණයේ නරක් වූ පටියෙන් විනාඩි දෙකක කොටසක් පටිගත කර චිත්‍රපට සංස්ථාවේ මැදිහත් වීමෙන් ඉන්දියාවේ ප්‍රසාද් රසායනාගාරයට යැව්වා. ඔවුන් ඒ විනාඩි දෙක හදලා එව්වා. මේ ෆිල්ම් එක බේර ගන්න පුළුවන්. මේ මාසේ අග වෙන්න පෙර ෆිල්ම් එක ලැබ් එකට එවන්න කියලා ඔවුන් කියනවා. එයට ඩොලර් දහසයදහස් තුන්සිය හතළිස් තුනක් අය කරනවා. ඒ කියන්නේ රුපියල් ලක්ෂ විසිපහක්. ඒ සඳහා කිසිවෙක් මැදිහත් වෙන්නේ නෑ. මේ ඩොලර් ගණන කෙනෙක් ලබා දෙනවා නම්, මං ඔහුට මේ චිත්‍රපටය පවරනවා.
Q මෙලෙස තිරගත කර අවසන් කළ චිත්‍රපට වගේම තිරගත වීමට නියමිත චිත්‍රපටත් විශාල පෝලිමක් තිබෙනවා. මේ ක්‍රමවේදය ගැන මොකද හිතන්නේ
ප්‍රදර්ශන මණ්ඩලවල ලොකු ගැටලු තිබෙනවා. 10.30ට තිබෙන චිත්‍රපටය නෙමෙයි 1.30ට තියෙන්නේ. ඒ නිසා චිත්‍රපට හදලා තියෙන ප්‍රමාණය වැඩියි. චිත්‍රපට සංස්ථාවට රිද්ම මණ්ඩලය පමණයි තිබෙන්නේ. මුදල කියන දේ විශ්වාසය මත තමයි දැන් ප්‍රදර්ශන සමාගම් වැඩ කරන්නේ. ඉවක්බවක් නැතුව චිත්‍රපට හදනවා. ඩී.වී.ඩී. ක්‍රමයට අඩු මුදලට චිත්‍රපට හදලා ඩී.සී.පී. බවට පරිවර්තනය කර ඔවුනුත් ප්‍රදර්ශන අවස්ථා ඉල්ලනවා. ඩී.වී.ඩී. චිත්‍රපට කලාවක් වෙනම බිහිවී තිබෙනවා. වැඩිහිටියන්ට සුදුසු දර්ශන ඇතුළත් කර වෙළෙඳ පොළට එනවා. සිනමා කලාවක් වගේම සිනමාවේ වර්ධනයත් ඇනහිටලා තියෙන්නෙ. අතළොස්සක් ජාත්‍යන්තර සම්මානවලට කලාත්මක චිත්‍රපට කරනවා. මෙහි හැඩරුව සම්පූර්ණ වෙනස් වෙලා. ඉස්සර චිත්‍රපට බලන්න ජනතාවට පුරුද්දක් තිබුණා. දෙදහ දක්වා එහෙම ප්‍රේක්ෂකාගාරයක් තිබුණා. නාට්‍යය කලාවත්, සිනමා කලාවත් වර්ධනය වුණේ එක හා සමාන ලෙස. ඒ සියල්ල අද වෙනස් වෙලා.
නිදුක් මදුෂික / ජායාරූප ඉසුරු පෙරේරා