කඩදාසි නිර්මාණකරුවන් අප රටේ මෙන්ම ලෝකයේද බොහෝ බිහිවී සිටියි. ඔවුන්ට ඇති ආවේණික හැකියාවන් පිළිබඳ කියාපෑමට ඇතැම් විට අපට වචනද නොමැති තරම්ය. කෙසේවුවත් එලෙස කඩදාසි නිර්මාණකරණයේ ඉදිරියෙන්ම ඇති නාමයක් වන්නේ සම්මානලාභී Hina Aoyama ය.
Hina Aoyama යනු තාක්ෂණික මට්ටමෙන් දියුණුව කරා යනු ලැබූ නිර්මාණකාරිනියකි. අද සෑම නිර්මාණයක්ම පරිගණකය ආශ්‍රිතව නිර්මාණය කළ හැකි වුවත්, ඇතැම් විට කවුරුන් හෝ කෙනෙක් විසින් සිදුකළ නිර්මාණයක් සොරාගෙන තමන්ගේ මෙන් ඉදිරිපත් කරන්නටද එමගින් හැකිය. එවැනි ගණයට නොවැටී තම ස්වෝත්සාහය තුළින් පරිගණක ආශ්‍රිතව නිර්මාණකරණයේ නියැළෙන තැනැත්තියක් ලෙසද Hina හැඳින්විය හැකිය. පිරිසුදු කඩදාසි මිලට ගෙන නිර්මාණයට අවශ්‍ය ආකාරයට හැඩතල කපා ගනිමින් තම නිර්මාණය අවසන් කිරීමට ඇය බොහෝ සේ වෙහෙසෙන්නීය.
Hina යනු බහුමාධ්‍ය කලාකාරිනියකි. එමෙන්ම ඇය කලා අධ්යක්ෂවරියක ලෙසද කටයුතු කරයි. මේ වන විට ලොස්ඇන්ජලීස් වල ජීවත් වන ඇය දරුවන් දෙදෙනෙකුගේ මවකි. 1971 වර්ෂයේදී උපන් ඇය මානසික ආබාධයකින් පෙළුණු බව සඳහන්ව තිබේ. ඒ හේතුවෙන් ඇය කුඩා කාලයේ කිසිදු පාසලකින් බාරගෙන නොමැති බවද සඳහන් වෙයි. නමුත් ඇයට ඇත්තේ මානසික ආබාධයක් නොවන බව ඇතැම් වෛද්‍යවරු සඳහන් කර තිබුණි. අවුරුදු 16 වූ පසුව Hina ගේ දෙමවුපියන් ඇයව කලා පාසලකට ඇතුළත් කර තිබේ. ඉන්පසු ඇය 1990 වර්ෂයේදී Art School පාසලේදී කලා විෂය පිළිබඳව උපාධිය ලබාගෙන තිබේ. පාසල් දිවිය අවසන් වූ පසු ඇයට පෙම්වතෙක් මුණගැසී ඇති අතර, ඔහුගේ දැනහැඳුනුම්කම මත ඇයට පළමු රැකියාව ලෙස අවුරුදු 12 සහ 13 වයසැති දරුවන්ට කලා විෂය ඉගැන්වීමට අවස්ථාව උදා වී තිබේ.
1999 වර්ෂයේදී ඇය තමන්ගේම චිත්රාගාරයක් ආරම්භ කළ අතර, 2000 වර්ෂයේදී විවාහ දිවියට ඇතුළත් වී තිබේ. ඇයගේ ස්වාමියා වූයේ චිකාගෝහී චිත්‍රපට අධ්‍යක්ෂකවරයෙකි. ඉන්පසු තම කලාත්මක හැකියාවන් ස්වාමිපුරුෂයාගේ උදව්වෙන් විශාල ලෙස පුළුල් කරගත් Hina ගේ නිර්මාණයන් මේ වන විට සිය කලාගාරයේ මෙන්ම ඇගේ වෙබ් අඩවිවලද ඉහළ මිලකට අලෙවි වෙමින් පවතී. උපතින් නොලැබුණු කලා හැකියාවක් තමා සතුකර ගනිමින් ජීවිතය ජයගැනීමට හැකියාව ලැබීම පිළිබඳව ඇය බොහෝ සේ සතුටු වන බවද සඳහන් වෙයි.