'සීමා නෑ ආකාසේ' චිත්‍රපටය පසුගිය නොවැම්බර් මස 10 වෙනිදා තිරගත වීම ආරම්භ කළේය. එදින සිට දින 27 ක කාලයක් එය තිරගත විය. මේ වනවිට පවතින ගැටලුකාරී තත්ත්වයක් හේතුවෙන් සිනමාහල්වලින් එම සිනමා පටය ගලවා ඉවත්කර ඇති බව එහි නිෂ්පාදක තිස්ස බාලසූරිය ආරච්චි අප සමග සඳහන් කළේය. මේ ඒ පිළිබඳ ඔහු සමග කළ සාකච්ඡා සටහනකි.
Q ‘සීමා නෑ ආකාසේ ‘ චිත්‍රපටයට මේ වනවිට ඇති වී තිබෙන තත්ත්වය ගැන අපි මුලින්ම කතා කරමු?
මේ නිර්මාණය මීට වසර දෙකකට පමණ පෙර සිදුකළ නිර්මාණයක්. එල්.එෆ්.ඩී. මණ්ඩලය මේ චිත්‍රපටය අගෝස්තු මස 17 වැනිදා තිරගත කරන්න කැමති වුණා. පසුව ඔවුන් සඳහන් කළා අගෝස්තු 17 වැනිදා චිත්‍රපටය තිරගත කරන්න නොහැකියි කියලා. සුනිල් ටී මහත්මයාගේ ‘හීන හොයන සමනල්ලු’ චිත්‍රපටය ඊ.ඒ.පී. මණ්ඩලයෙන් ප්‍රදර්ශනය ආරම්භ වුණා. එහි චිත්‍රපටය ප්‍රදර්ශනය වන ගමන් එල්.එෆ්.ඩී. මණ්ඩලයේ සිනමා හල්වලත් තිරගත කළ යුතුයි කියලා සිනමා හල් ඉල්ලා තිබෙනවා. ඒ නිසා මේ චිත්‍රපටය තිරගත කිරීම පමා වුණා. පසුව ඔක්තෝබර් 31 වැනිදාට දිනයක් ලබා දුන්නා. පසුව එම්.පී.එල්. මණ්ඩලයේම උදය කුමාර මහත්මයාගේ ‘අප්පට සිරි’ චිත්‍රපටය පැමිණෙනවා. පසුව එයට ඉඩ ලබාදිය යුතු බව සඳහන් කළා. අපි අගෝස්තු මාසයේ සිටම චිත්‍රපටයේ ප්‍රචාරණ කටයුතු ආරම්භ කළා. චිත්‍රපටය තිරගත වීම පමා වෙන්න වෙන්න වියදම් වීම වැඩි වශයෙන් සිදුවෙනවා. අවසානයේ නොවැම්බර් 10 වෙනිදාට තිරගත කරන බව සඳහන් කළා. ඒ අවස්ථාවේ අපි ගොඩක් මධ්‍යස්ථව තමයි ප්‍රචාරණ කටයුතු සිදුකළේ. ඔවුන් සඳහන් කළා ඉහළින්ම ප්‍රචාරණ කටයුතු සිදුකරන්න කියලා. එසේ සඳහන් කළත් ඒ දිනයේදීවත් චිත්‍රපටය තිරගත වෙයි කියන විශ්වාසය තියාගන්න අපහසු වුණා. මම උදය කුමාර මහත්මයා හමුවුණා. ඔහුගේ සිනමා නිර්මාණය 09 වැනිදා ගලවලා දහ වෙනිදා සිට මගේ සිනමා නිර්මාණයට ඉඩ දෙන බව සඳහන් කළා. ඒ විශ්වාසය එක්ක තමයි ප්‍රචාරණයට එහෙම වියදම් කළේ. ධාරාව තුළ සිනමා හල් හතළිස් ගාණක් තිබෙනවා. නමුත් අපට සිනමාහල් 29 යි හම්බ වුණේ. එහිත් දර්ශන වාර තුනම පැවැත්වෙන සිනමාහල් 13 ක් පමණයි හිමි වුණේ. ඒ සමහර සිනමා හල්වල පහසුකම්වත් නෑ. ඒත් එහෙම තත්ත්වයක් තිබුණත් ඉතාම හොඳ ප්‍රේක්ෂකාගාරයක් තිබුණා. නමුත් මේ වසර තුළම තිරගත වෙන්න ඕන චිත්‍රපටයක් නිසා ‘පෝරිසාදයා’ කියන චිත්‍රපටය තිරගත වීම ප්‍රමාද වුණා. මගේ චිත්‍රපටයත් ලබන වසරේ මාර්තු මාසය වනතුරු තිරගත වන බව මණ්ඩලයෙන් සඳහන් කළත් මගේ සිනමා නිර්මාණයත් මම කියපු සිනමා නිර්මාණය නිසා ගලවන්න සිද්ධ වුණා.
Q සිනමා මණ්ඩල හා චිත්‍රපට නිර්මාණකරුවන් අතර මෙවැනි කටයුතු සිදුවෙන්නේ විනිවිදභාවයකින් නෙමෙයිද?
කිසිම දෙයක් ලිඛිතව සිදුවෙන්නේ නැහැ. කට වචනයට තමයි හැමදේම සිද්ධ වෙන්නේ. ලියුම්වලින් දින වෙනස් වීම් විතරක් කියනවා. විශ්වාසය මත තමයි වැඩ සිදුවෙන්නේ. මම මේ චිත්‍රපටයට ලක්ෂ එකසිය විසිපහක් පමණ වියදම් කළා. මේ චිත්‍රපට තිරගත වනවිට යටින් ඒ චිත්‍රපට ගැලවීමට වැඩපිළිවෙළවල් ක්‍රියාත්මක වෙනවා. ඒ සඳහා බලය තියෙන පිරිසක් මේ ක්ෂේත්රයේ ඉන්නවා. ඔවුන්ට ඕන විදිහට තමයි මේ දේවල් පාලනය වෙන්නේ. මගේ චිත්‍රපටය ගලවනවා කියලා වචනයෙන්වත් කිව්වෙ නෑ.
Q මේ වෙද්දි ‘සීමා නෑ අාකාසේ ‘ චිත්‍රපටයේ ආදායම් වාර්තා ලැබිලා තියෙනවද?
මණ්ඩලයෙන් පුළුල් ප්‍රචාරණයක් කරන්න කිව්වා. චිත්‍රපටය තිරගත වෙන්න කාලයක් ලබාදෙන නිසා මම එයත් ලක්ෂ සියයක් වැනි ලොකු මුදලක් දරා සිදුකළා. චිත්‍රපටයක් නිර්මාණය කරනවාට වඩා ප්‍රචාරණයට වියදම් කරන්න සිද්ධ වෙනවා. මම මේ චිත්‍රපටය වෙනුවෙන් සවුන්ඩ් සිස්ටම් ලොරියක් හැදුවා ගම් මට්ටමෙන් ප්රචාරක කටයුතුවලට. මම වියදම් කළ ලක්ෂ දෙසිය විසිපහෙන් ලක්ෂ පනහක්වත් තවම ලැබුණේ නැහැ. බල පුළුවන්කාරකම්වලින් චිත්‍රපටය ගැලෙව්වා. එක දර්ශන වාරයක් හරි ඉල්ලුවා ඒක ලබාදුන්නෙත් නැහැ. මෙවැනි අසාධාරණකම් මණ්ඩලවලින් සිදු කරන්න එපා. එම්.පී.අයි. හා එල්.එෆ්.ඩී. මණ්ඩල දෙක එකට චිත්‍රපට තිරගත කරනවා. මේ නිසා චිත්‍රපටවල අවස්ථා නැති වෙනවා. අලුත් නිර්මාණකරුවන් අසරණ වෙනවා. ඔවුන් උත්සාහ කරන්නේ කෙනෙක් අමාරුවෙන් චිත්‍රපටයක් නිර්මාණය කළාම තුට්ටු දෙකට චිත්‍රපටය මිලදී ගෙන ඔවුන්ගේ නම එයට ඇතුළත් කරගන්න. මම සාධාරණයක් ඉල්ලන්නෑ. මේ දේවල් වෙලා ඉවරයි. තවත් නිර්මාණකරුවෙකුට මෙහෙම කරන්න එපා කියලා තමයි මම කියන්නේ.
Q ඔබ සඳහන් කළා මේ චිත්‍රපටයට විශාල ප්‍රේක්ෂක පිරිසක් සිටියා කියලා?
මෙහෙමයි. අපට හොද ප්‍රේක්ෂකාගාරයක් හිටියා. නමුත් අපේ මණ්ඩලයේ ටිකට්පත්වල මිල අඩුයි. උදාහරණයක් කිව්වොත් අපේ මණ්ඩලයේ රුපියල් දෙසීයෙන් ටිකට් පතක මිල ආරම්භ වෙන්නේ. ඊ.ඒ.පී. වගේ මණ්ඩලයක රුපියල් හාරසීයෙන් තමයි ටිකට්පතක මිල පටන් ගන්නේ. අපේ චිත්රපයටය තිරගත වූ මණ්ඩලයෙත් හොඳ මට්ටමේ හෝල් අඩුයි. මෙය මුදල්වලින් කතා කරන්න බෑ. නමුත් මේ චිත්‍රපටය නරඹපු ප්‍රේක්ෂකයන් විශාල පිරිසක් ඉන්නවා. චිත්‍රපටය තිරගත වූ දින ගණන එක්ක හොඳ ප්‍රේක්ෂකාගාරයක් ඉන්නවා.
Q චිත්‍රපටයක් තිරගත කිරීමට මේ වනවිට පවතින වැඩපිළිවෙළ ගැන ඔබේ අදහස මොකක්ද?
ජාතික චිත්‍රපට සංස්ථාවට තමයි සියලු බලතල තිබෙන්නේ. සංස්ථාව හරහා නිවැරදිව වැඩපිළිවෙළ නීත්‍යනුකූලව සිදු වෙනවා නම් කිසිම ප්‍රශ්නයක් නැහැ. සෙන්සර් බෝඩ් සහතිකයක් අපට ලැබෙනවා. එහි සඳහන් අංක පිළිවෙළට මෙය තිරගත වෙනවා නම් ගැටලු ඇති වෙන්නෙ නෑ. මෙහිදී සිදුවන්නේ මේ ක්ෂේත්රයේ බල පුළුවන්කාරයන්ගේ චිත්‍රපට කලින් තිරගත වීම. ඔවුන්ගේ චිත්‍රපට මාස තුන හතරින් තිරගත වෙනකොට අලුත් නිර්මාණකරුවන්ට චිත්‍රපටය තිරගත කරන්න වසර දෙක තුනක කාලයක් බලන් ඉන්න සිද්ධ වෙලා. මේක අසාධාරණයි. සංස්ථාවේ බලතල භාවිත කළා නම් අද මගේ චිත්‍රපටය ගලවන්න බෑ. නමුත් සංස්ථාවට එය කරන්න බැරිව තිබෙනවා. දේශපාලනය අනුව එහි සභාපතිවරුන් මාරු වෙනවා. ඔවුන් ඒ ගැන අවබෝධය මාස හයකින් පමණ ලබනකොට නැවත මාරු වීම් සිදුවෙනවා. ඒ නිසා මෙහි නීතිමය වශයෙන් කටයුතු සිදුකරගන්න තිබෙන ඉඩ අහුරලා තිබෙන්නේ. මේ කිසිම තැනක විනිවිදභාවයක් නෑ. නව නිර්මාණකරුවන් අමාරුවේ වැටෙනවා.
Q නිෂ්පාදකවරයෙක් ලෙස මේ චිත්‍රපටය ඩීවීඩී වෙළෙඳ පොළට යොමු කරන්න හැකියාව තිබෙනවා නේද?
එහිත් වෙනම මාෆියාවක් තිබෙන්නේ. එහිත් වෙනත් බිස්නස්කාරයන් පිරිසක් බිහි වෙලා. ඩීවීඩී සඳහා කවුරු මිලදී ගත්තත් අන්තිමට එහි හිමිකරු ලෙස සිටින්නේ එක් කෙනෙක්. මේ බලතලත් චිත්‍රපට සංස්ථාවට තිබෙන්න ඕන. දැන් ණය බේරන්නේ කොහොමද කියන දේ තමයි අපට හිතන්න වෙලා තියෙන්නේ.