හොලිවුඩ් සිනමා කර්මාන්තයේ විශිෂ්ට වසරක් ලෙස මෙම වසර හැඳින්විය හැකිය. මේ වසරේ එළිදැක්වීමට නියමිත චිත්‍රපට අතරින් බොහෝ චිත්‍රපට ප්‍රමාණයක් ඇත්තේ පසුගිය වසරවල තිරගත වූ චිත්‍රපටවල දෙවැනි හෝ තෙවැනි නිර්මාණයන්ය. ඒ අතරින් ඉදිරියේදී එළිදැක්වීමට නියමිත චිත්‍රපටයක් පිළිබඳ අවධානය යොමු වන්නේ එහි ප්රචාරක පටය එළිදැක්වීමත් සමගය. ඒ ‘ජුරාසික් පාර්ක්’ චිත්‍රපට මාලාවේ 05 වැනි චිත්‍රපටය ලෙස එළිදැක්වීමට නියමිත ‘ජුරාසික් වර්ල්ඩ් : ෆැලන් කින්ග්ඩම්’ චිත්‍රපටයයි. 1993 වසරේ තිරගත වූ ‘ජුරාසික් පාර්ක්’ චිත්‍රපටයත් සමග මේ වන විට චිත්‍රපට 04ක් නිර්මාණය වී තිබේ. 1993 වසරේ තිරගත වූ ‘ජුරාසික් පාර්ක්’ චිත්‍රපටය ඔස්සේ වඳවී ගිය සත්ත්ව කොට්ඨාසයක් ලෙස හැඳින්වූ ඩයිනෝසරයන් පිළිබඳ බොහෝ දෙනාගේ අවධානය යොමු වූහ. වාණිජමය වූ චිත්‍රපට ලෙස නම් වූ 'ජුරාසික් පාර්ක්' චිත්‍රපට මාලාව චිත්‍රපට ක්ෂේත්රය තුළ මෙන්ම වෙළෙඳ පොළ තුළද ඉහළ ඉල්ලුමක් සහිත නාමයක් විය.
1997 වසරේ තිරගත වූ මෙම චිත්‍රපට මාලාවේ දෙවැන්න වූ ‘ද ලොස්ට් වර්ල්ඩ් : ජුරාසික් පාර්ක්’ චිත්‍රපටයද විශාල ආදායම් වාර්තා තබමින් තිරගත විය. වාණිජ වශයෙන් නිර්මාණය වෙමින් හොලිවුඩ් කර්මාන්තයේ අනන්‍යතාවට නව මුහුණුවරක් ලබාදුන් මෙම චිත්‍රපට සඳහා ලොව පුරා වැඩි ඉල්ලුමක් තිබිණි. 2001 වසරේ තිරගත වූ ‘ජුරාසික් පාර්ක් 3’ සහ 2015 වසරේ තිරගත වූ ‘ජුරාසික් වර්ල්ඩ්’ අතර කිසිදු සබඳතාවක් නොමැති අතර, 2015 වසරේ තිරගත වූ ‘ජුරාසික් වර්ල්ඩ්’ චිත්‍රපටය වෙනත් කතාංගයක් ඔස්සේ නිර්මාණ වූවකි. එම චිත්‍රපටයේ දෙවැන්න ලෙස මෙම වසරේ එළිදැක්වීමට නියමිත ‘ජුරාසික් වර්ල්ඩ් : ෆෝලන් කින්ග්ඩම්’ චිත්‍රපටය ජුරාසික් චිත්‍රපට මාලාවට අලුතින් එක්වන චිත්‍රපටය වුවද, 2015 වසරේ එළිදැක්වූ චිත්‍රපටයේ දෙවැනි කොටස වෙයි. පසුගියදා එළිදැක්වූ ප්රචාරක පටය සමග මෙම චිත්‍රපටය සඳහා බොහෝ දෙනා අවධානය යොමු වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. 2015 වසරේ තිරගත වූ ‘ජුරාසික් වර්ල්ඩ්’ චිත්‍රපටයේ සිටි ප්‍රධාන චරිත ‘ජුරාසික් වර්ල්ඩ් : ෆෝලන් කින්ග්ඩම්’ චිත්‍රපටයට රංගනයෙන් දායක වුවද, නවක නිළියක මෙහි ප්‍රධාන චරිතය වෙනුවෙන් දායක කර ගෙන තිබේ. ඇය සිනමාවට නවකයෙකු වුවද ඇයගේ රංගන පිළිබඳ බොහෝ දෙනා කතාබහ කරනුයේ ‘ජුරාසික් වර්ල්ඩ් : ෆෝලන් කින්ග්ඩම්’ චිත්‍රපටයේ ප්රචාරක පටය සමගින්ය.
ඩැනියෙලා පිනේඩා සිනමාවට මෙන්ම පුංචි තිරයටද නවකයෙකු ලෙස හැඳින්වේ. ඇය ‘Men of a Certain Age’ රූපවාහිනී කතාමාලාව ඔස්සේ 2010 වසරේදී පුංචි තිරයට පිවිසෙයි. එම රූපවාහිනී කතාමාලාව සමග එම වසරේ තවත් කතාමාලාවක් සඳහා රංගනයෙන් දායක වීමට ඇයට අවස්ථාව උදා විය. ඒ ‘CH Originals’ නම් රූපවාහිනී කතාමාලාවකටය. පුංචි තිරයේ රංගන ශිල්පිනියක ලෙස කටයුතු කිරීමට අවස්ථාව උදා වූ ඇයට සිනමාවට පාතැබීමට අවස්ථාව උදා වනුයේ 2011 වසරේ තිරගත වූ ‘Newlyweds’ චිත්‍රපටය ඔස්සේය. මෙය වාණිජමය චිත්‍රපටක් නොවූ අතර, ඉතා සීමිත දින කිහිපයක් පමණක් එය තිරගත වී ඇතැයි විදෙස් මාධ්‍ය පෙන්වා දෙයි. 2012 වසරේ නත්තල වෙනුවෙන් නිෂ්පාදනය කරන ලද චිත්‍රපටයක් වන ‘The Fitzgerald Family Christmas’ චිත්‍රපටයට ඇයට රංගනයෙන් දායක වීමට අවස්ථාව උදා වී තිබේ. එම චිත්‍රපටයෙන් පසුව ඇය රංගන ශිල්පිනියක ලෙස බොහෝ දෙනා දැන හැඳින ගෙන තිබේ. එමෙන්ම 2012 වසරේදී ‘Homeland’ සහ ‘Midnight Sun’ නම් රූපවාහිනී කාතාමාලාවන් දෙක සඳහා රංගනයෙන් දායක වීමට ඇයට අවස්ථාව උදා වී තිබේ.
2013 වසරේදී ඇයට ලොව සුප්‍රසිද්ධ කතාමාලාවක් වන ‘The Vampire Diaries’ කතාමාලාව සඳහා රංගනයෙන් දායක වීමට අවස්ථාව උදා වී තිබේ. ඊට අමතරව 2013 සිට 2014 දක්වා ‘The Originals’ නම් කතාමාලවට දායක වී තිබේ. 2015 වසරේදී ඇය නැවත සිනමාවට පිවිසෙනුයේ Sleeping with Other People නම් චිත්‍රපටය සමගින්ය. 2015 වසරේදී ඇය නැවත පුංචි තිරයට පාතබනුයේ ‘American Odyssey’ නම් රූපවාහිනී කතාමාලාව ඔස්සේය. ඇය 2016 වසරේ සිට මේ දක්වා තිරගත වෙමින් තිබෙන ‘The Detour’ නම් රූපවාහිනී කතාමාලාව සඳහා රංගනයෙන් දායක වෙයි. පසුගිය වසරේ සිනමා නිර්මාණ දෙකක් සඳහා ඇය රංගනයෙන් දායක වූවාය. ඒ ‘Mr. Roosevelt’ සහ ‘Before/During/After’ නම් චිත්‍රපටයන්ය. මෙම වසරේදී එළිදැක්වීමට නියමිත ‘ජුරාසික් වර්ල්ඩ් : ෆෝලන් කින්ග්ඩම්’ චිත්‍රපටය සමග ඇයගේ රංගන හැකියාව දැක බලා ගැනීමට අවස්ථාව උදා වී තිබේ. නවක නිළියක වුවද ඇයගේ රංගන හැකියාව පිළිබඳ සතුටු විය හැකි බව චිත්‍රපට විචාරකයෝ පවසති.