විකුම්සිරි මුණසිංහ ටෙලි නාට්‍ය ක්ෂේත්රයේ දක්ෂ ශිල්පියෙක්. පසුගියදා විකුම්සිරි හදිසි අනතුරකට මුහුණ පෑවා. තරමක බරපතළ තත්ත්වයක ලක්ෂණ පැවතියත් කාටවත්ම ඒ ගැන නොකියා විකුම්සිරි කළ වැඩේ ගැන කලා ලොවේ මේ දවස්වල හැමෝම කතාවෙන සිද්ධියක්. ''මේ සිද්ධියත් එක්ක තරමක කාලයක් කලා ලොවෙන් ඉවත් වෙලා ඉන්න සිද්ධ වුණත් ඔහුගේ අනතුර හා බැඳුණු'' කතාව අහන්න අපි ගොඩගම ඔහුගේ නිවසට ගොඩවැදුණා.
අනතුරින් විකුම්සිරිගේ අතකට හානිවෙලා තිබුණත්, බරපතළ ලෙස තුවාල නම් වෙලා නැහැ. අනතුර සිදුවෙලා රෝහලට යනවා වෙනුවට රූපගත කිරීමකට ගිහින් ඒ වැඩෙත් කරලා පහුවදා රෝහල්ගත වුණු ඔහුගේ අතට සිදුව තිබුණු බරපතළ හානිය වෙනුවෙන් හදිසි ශල්‍යකර්මයකට පවා ලක්වෙන්න සිදුවෙලා.
Q කොහොමද අනතුරට ලක්වුණේ?
අනතුරක් කීවාට මේක වුණේ කොහොමද කියලා මටවත් හිතාගන්න බැහැ. එදා පාන්දර පහට අලුත් ගීතයක රූප රචනයක් සඳහා මාව රූගත කිරීමට එක්ක යන්න වාහනය එන්න නියමිතව තිබුණා. මම කවදත් කියූ වෙලාවට සූදානමින් ඉන්න පුරුදුවෙලා ඉන්න නිසා පාන්දර හතරට අවදිවෙලා වෙනද වගේ නිවසින් එළියට ගියා. ඊළඟ මොහොතේ මෙන්න හිතාගන්නත් බැරි විදිහට මාව පඩිපෙළින් බිමට පෙරළිලා ගියා. ඒ වැටුණු වේගය හිතාගන්න බැහැ.
වේගය කොයිතරම්ද කියනවා නම්, මම දාගෙන හිටි සපත්තුව දෙකට කැඩිලා ගියා. අන්තිමේදි අමාරුවෙන් නැගිටිද්දි මට දැනුණා මගේ අතට බරපතළ විදිහට යමක් සිද්ධවෙලා කියලා. නමුත් මට ඒ ගැන හිතනවට වඩා හිතන්න දෙයක් තිබුණා. මොකද මේ වැඩේට එකතුවෙන ශිල්පීන් සහ එදා දිනයේ මේ රූපගතකිරීම් වෙනුවෙන් ඒ වෙනකොටත් ලහිරුලා (ලහිරු මුදලිගේ) කොයිතරම් මුදලක් වැය කරලද තියෙන්නේ කියන එක.
අපි යම් රූප රචනයක් හෝ ටෙලි නාට්‍යයක් බලනවා මිස ඒ සඳහා දායක වුණු පිරිස ගැන බලන්නේ, කතා කරන්නේ අඩුවෙන්නේ? මේ අයට මාසෙකට මෙච්චරක් කියලා ලැබෙන වැටුපක් නැහැ. එදා ඒ වැඩේ අවලංගු වුණා නම් එය රස්සාව කරගත් බොහෝ දෙනෙකුට එදා දවසේ ආදායම යම් ගැටලුවක් බවට පත්වෙනවා. ඒ වගේම එයාලා වියදම් කරපු සල්ලිත් අපතේ යනවා. මම ඉතිං වේදනාව නැතිවෙන්න ගෙදර තිබුණු ස්ප්‍රේ එකකින් ස්ප්‍රේ කරගෙන වැඩේ කෙරුණු තැනට ගියා.
මම ලහිරුට මගේ අනතුර ගැන දැනුම් දීලා එයින් මට තියෙන වේදනාව ගැනත් පොඩ්ඩක් දැනුවත් කළා. ඒ රූප රාමුවල තිබුණා මම වාහනයක් පැදවිය යුතු තැනක්. එය කරගන්න අපහසු නිසා එය නම් ලහිරු කිව්වා පිටපතින් වෙනස් කරගන්නම් කියලා. නමුත් මම ලහිරුගෙන් ඉල්ලීමක් කළා යමක් උස්සන්න වගේ තියෙන ඒවත් පුළුවන් නම් වෙනස් කරමු, නමුත් නිර්මාණයට අත්‍යවශ්‍ය නම් කොහොම හරි කරන්නම් කියලා. හොඳ වෙලාවට එහෙම දර්ශන තිබුණේ නැහැ.
Q මොනවද ඒකෙ රඟපාන්න තිබුණේ?
මේ සිංදුවෙ රූප රචනයේ තියෙන කතාවෙ හැටියට මං රඟපාන්න ඕන වියපත් සිනමාවේදියෙක් විදිහටයි. මේ වියපත් පුද්ගලයා ළාබාල ගැහැනු ළමයෙක්ට ආදරය කරනවා. ඔහු ඇයව සිනමා නිළියක් කරන්න අවශ්‍ය කරන ගමන් මගකට හුරු කරලා ඇය වෙනුවෙන් බොහෝ කැපකිරීම් කරලා ඇයට ආදරේ කරන කතාවක් තමයි මෙහි තියෙන්නේ.
නමුත් මේ වියපත් සිනමාවේදියාගේ භෞතචිකිත්සකවරයා සමග මේ ගැහැනු ළමයා ආදරයෙන් බැඳෙනවා. ඒ වටා ගෙතිච්ච සිද්ධියක් තමයි මේ තියෙන්නේ. වැඩිපුරම තිබුණේ දුක්මුසුව රඟපාන්න. හැබැයි ඒක මං ලේසියෙන් සැබෑ වේදනාත්මක බවකින් ඇත්තටම ඇස්වලින් කඳුළු කඩා වැටෙන්න කළා.
Q ඒ කොහොමද ඒ වගේ තාත්ත්වික රංගනයක් එම අවස්ථාවේ කරන්න හිතුවේ?
වේදනාත්මක ඉරියව්වක් ආ යුතු තැන්වලදී මම කළේ මගේ අත ටිකක් විතර ඇඟට තද කරගත්තු එක. අම්මෝ ගමකට දැනෙන්න වේදනාවයි. නිකම්ම කඳුළු පනිනවා ඇස්වලින්. අනෙක ඉතිං මේ රූප රචනය ඇතුළෙ වරින්වර ඇඳුම් වෙනස් කරන්න වුණාම පණ ගියා. ෂර්ට් එකේ අත දාන්න අත එහා මෙහා කරන්න එපායෑ. කොහොමත් ඒ රූප රචනයේ ළාබාල පෙම්වතියගේ චරිතය කළ ගැහැනු දරුවා මගේ දුවටත් වඩා ළාබාල දියණියක්.
මම ඇයට කිව්වා දුවේ ඔයා අනවශ්‍ය තරම් හිතන්නෙ නැතිව හිත සැහැල්ලුවෙන් මේ වැඩේ කරන්න කියලා. මොකද ඇය මම ටිකක් වැඩිහිටි කෙනෙක් නිසා ඒ ගැන හිතලා ඇගේ ස්වභාවික ඉරියව් වෙනස් කරගනීවි කියලා. මේ ගීතය යොවුන් ගායක මිලින්දගේ හඬින් ගැයෙන ගීතයක්. ඔහු ඉතාම ළයාන්විතව ගීතය ගයනවා . ඊට හරියන්න මේ ඇක්ට් එකත් හොඳටම තියෙන්න ඕනය කියන තැන තමයි මං හිටියේ.
ඉතිං මේ විදිහට යොදාගත්ත වැඩේ කිසිම විදිහකින් බාධාවක් වෙන්න ඉඩ නොතබා අවසන් කළා. හැබැයි වැඩේ අවසාන වෙලා ගෙදරට ආවේ පාන්දර දෙකත් පහුවෙලා. ඉතිං ඒ වෙලාවට රෝහලට යන්න බැහැනේ. අන්තිමේ වේදනාවත් දරාගෙන පාන්දර එළිවෙනතුරු මම ගෙදර හිටියා. පාන්දරම මම අපේ පුෂ්පා රම්‍යානි හෙද සොයුරියට දුරකථන ඇමතුමක් දීලා විස්තරය කිවුවම ඇය කිවුවේ හැකිතරම් ඉක්මනට ජාතික රෝහලේ හදිසි අනතුරු අංශයට පැමිණ වෛද්‍ය ප්‍රතිකාර ලබන්න සූදානම් වෙන්න කියලයි.
මගේ බිරිය රුක්මණී සහ පුෂ්පා අදාළ කටයුතු ටික මා වෙනුවෙන් සූදානම් කළ නිසා ඉක්මනින් ප්‍රතිකාර වෙත යොමු කෙරුණා. ඔන්න අතේ එක්ස්රේ ඡායාරූපය බලපු වෛද්‍යවරයා කීවේ හැකි ඉක්මනින් රෝහල්ගතව එදිනම ශල්‍යකර්මයක් කළ යුතුයි කියලා. නමුත් ශල්‍යාගාරය අසලදී අනපේක්ෂිත සිද්ධියකට මුහුණ දුන්නා. ඒ තමයි හදිසි අනතුරකට පත්ව ඉතාම බැරෑරුම් තත්ත්වයකට පත්වෙලා වේදනාවෙන් පෙළෙන කෙනෙකුව ඇස ගැටීම.
කොහොම නමුත් මගේ රුධිර පීඩනය මේ දසුන දැකීමෙන් වූ කම්පනයටදෝ අධික බවකට පත්වුණා. ඔන්න ඒ අවස්ථාවේ ඒ හේතුව නිසා ආයෙමත් මාව හිටපු වෝඩ් එකටම එවුවා. සාමාන්‍යයෙන් මේ වගේ දෙයක් වෙනෙත් කෙනෙකු දැක්කොත් එතරම් කැළඹීමකට ලක්වෙන එකක් නැහැ. නමුත් කලාකරුවා කියන්නේ මානුෂීය හැඟීම්වලින් පිරිපුන් කෙනෙක්. මටත් ඒ දසුන දකිද්දී ඔහු ගැන බය හිතුණා. අන්තිමේ ප්‍රෙෂර් වැඩි වුණා.
ඒක පොඩ්ඩක් අඩුවෙනතුරු ඉඳලයි නැවත ශල්‍යකර්මයට ගත්තේ. කොහොම නමුත් ජාතික රෝහලේ වෛද්‍යවරු හෙදියන් වගේම කාර්යමණ්ඩලයේ හැමෝගෙම හොඳ සහයෝගයක් මට ලැබුණා. පුෂ්පා මට මගේම සහෝදරියක් වගේ උදවු කළා. මේ ගැන දැනගත්තු මගේ කලා රසිකයො මාව බලන්න ආ එක ගැන මට හරි පුදුමයි. ඇත්තෙන්ම මමත් දැනගෙන හිටියෙ නැහැ මම රඟපෑව ඔය ටෙලිනාට්‍ය ටිකෙනුයි, වේදිකා නාට්‍ය හා මම අධ්‍යක්ෂණය කළ ටෙලි නාට්‍ය වලිනුයි මට ආදරය කරන පිරිසක් මේ තරමට ඉන්නවා කියලා.
ඇත්තෙන්ම මම සමහරුන්ගේ ටෙලි නාට්‍ය ඔවුන්ට අධ්‍යක්ෂණය කරදී තිබෙනවා ඔවුන්ගේ නමින්. නමුත් එවැනි පිරිස නම් අද වෙනතුරු අඩුතරමේ දුරකථන ඇමතුමක්වත් දුන්නෙ නැති තරම්. හැබැයි කලා ලොවේ හිතවතුන් හා හිතවතියන් දුරකථන ඇමතුම්වලින්, ඇතැම් විට නිවසට පැමිණ මා සමග කතාබහ කර මගේ දුක සැප විමසුවා. ඇත්තෙන්ම මම කවදාවත් හිතුවෙ නැහැ මුහුණුපොතේ මට ඉන්න යහළු යෙහෙළියන් මගේ විපතේදී මේ තරම් මා එක්ක ඉඳීවි කියලා.
ඇත්තෙන්ම ඔවුන්ගෙන් ලද සෙනෙහස ඇසට කඳුළු නංවන තරම්. දැන් මම අලුත්ම තත්ත්වය ගැන කතා කළොත් අත එහාමෙහා නොකර පරිස්සම් විය යුතු කාලයක් ගෙවමින් ඉන්නේ. මේ වන විට විශාල මුදලක් මේ වෙනුවෙන් වැය කරන්න සිදුවුණා. ඒ සඳහා යොදන විශේෂ එන්නත්වලට එහෙම. මේ නොසිතූ කරදරයේදී එදා මම මග නොහැර කළ ඒ සේවය ගැන ලහිරුත්, ගීතය ගැයූ මිලින්දත් මට පුදුම විදිහට ස්තුති කළා.
ඇත්තෙන්ම ඔවුන් දැනගෙන හිටියා නම් මම ඒතරම් අමාරුවකිනුයි ඒ වැඩේ කරන්නේ කියලා කොයිතරම් මුදලක් නිකරුණේ වැය වුණත් ඔවුන් මා රෝහල්ගත කරන බව මට හොඳටම විශ්වාසයි. ඒතරම් ඔවුන් හොඳ ගමන් සගයෝ ටිකක්. අදටත් මොන රාජකාරී අතරමැද වුණත් ඔවුන් මට දුරකථනයෙන් කතා කර සුවදුක් විමසනවා. ඇවිත් බලලා යනවා. ඔන්න ළඟදීම ඒ කළ රඟපෑම් ඇතුළත් රූප රචනය සහිත මිලින්දගේ ගීතය ඔබට දැකගන්නට හැකිවේවි. එදාට බලන්නකෝ මම පැනපු මාරක පිම්මම ඒ වැඩේට යොදාගත් හැටි.
ඡායාරූප - නාලිකා රාජපක්ෂ