ශ්‍රී ලංකාවෙන් බොලිවුඩයට ගිය සුපිරි බොලිවුඩ් නිළි ජැක්ලින් ෆර්නැන්ඩස්ගේ උපන් දිනය නිමිති කර ගනිමින් පසුගියදා ලයිෆ් ඔෆ් බොලිවුඩ් විසින් ඇය සමග සොඳුරු කතාබහක යෙදුණු අතර, ඒ ඇය බොලිවුඩ් ජීවිතයේ අලුත් කඩඉමක් පසුකිරීමට යාම නිසාවෙනි. එනම් මේ දිනවල ජැක්ලින් පිළිබඳ පැතිර යන අලුත්ම පුවත වන්නේ සාම්ප්‍රදායික පෙම්වතියගේ චරිතයෙන් මිදී ඇය මවකගේ චරිතයකට පණ පෙවීමයි. විශ්වාස කළ නොහැකි වුවද සැබැවින්ම එම පුවත සත්‍යයකි. ඒ සුපිරි බොලිවුඩ් අධ්‍යක්ෂක කරන් ජොහාර්ගේ බ්රදර්ස්ෙචිත්රපටයේයි. ප්‍රථම වතාවට මෙවන් චරිතයක් නිරූපණය කරන ඇය සමග මෙම කතාබහ සිදුවන්නේ රෝයි චිත්‍රපටයේ බොක්ස් ඔෆිස් අසාර්ථකත්වයක්ද ඇති පසුබිමකය.
Q මෙතරම් තරුණ වයසකදී මවකගේ චරිතයක් ඔබට ලැබෙයි කියලා හීනෙන්වත් හිතුණද?
නැහැ. ඇත්තටම නැහැ. ඒක ගැන ඇත්තටම මුලින් මම හිතුවේ විහිළුවක් කියලා. ඒත් කරන් ජොහාර් චිත්‍රපටය පටන් ගනිද්දී තමයි මේක ඇත්තක් කියල දැනෙන්න පටන් ගත්තේ. අපි ඔක්කොම වගේ හරිම උනන්දුවෙන් හිටියා. කොහොම වුණත් කවුරුවත් මුලින් දැනන් හිටියේ නැහැ, කවුරු මවගේ භූමිකාව කරයිද කියලා. ඒ චරිතය වෙනත් විදිහකින් කිව්වොත් අක්ෂේගේ බිරිඳගේ චරිතය.
ඉතින් දවසක් කරන් ජොහාර් මට දුරකථන ඇමතුමක් දුන්නා. ඔහු කිව්වා මාව හම්බවෙන්න ඕන කියලා අලුත් චිත්‍රපටය ගැන කතා කරන්න. මම කැමැත්ත පළ කළා. මං හිතුවේ ආරාධිත රංගනයකට මාව කැඳෙව්වා කියලයි. ඒත් හම්බවුණාම ඔහු කිව්වේ වෙන කතාවක්. මම අක්ෂේගේ බිරිඳලු. පොඩි ළමයෙක් ඉන්න අම්මා කෙනෙක්ලු.
Q ඒ මොහොතේ මොනවද දැනුණේ?
මම ඇත්තටම කම්පනයට පත්වුණා. මම කීයටවත් ඒක විශ්වාස කළේ නෑ. මම කිව්වා බෑ කියලා. ඒත් පස්සෙ අපි චරිතය ගැන කතාබහ කළා. චරිතය ගැන පූර්ණ අදහසක් ඔවුන් මට ලබා දුන්නා. එතකොට තමයි මටත් හිතුණේ මගෙත් වෙනසක් වෙන්න ඕන කාලෙ හරි කියලා. අනික මම ඇත්තටම කාලයක් තිස්සෙම කටයුතු කළේ එකම සුරක්ෂිත ක්‍රමවේදයකට. ඉතා සුරූපී තරුණියකගේ චරිතයක් තමයි මට හැමදාම ලැබුණේ. ඒක තමයි ඇත්ත. ඒත් මේක හැමදාම රැකගෙන ඉන්න පුළුවන් තත්ත්වයක් නෙමෙයි. ඒ නිසා වෙනසකට මුල පුරන්න ඕන.
ඒත් මට විශ්වාසයක් නැහැ. මම හරිහැටි චරිතය ග්‍රහණය කර ගනියිද දන්නෙ නැහැ. මොකද මවකගේ චරිතය ඇතුළේ රෝගාතුර වුණු දියණියක් ඉන්නේ. දෙමාපියන්ට ඇගේ ප්‍රතිකාර නවත්වන්න බැහැ. දිගටම ප්‍රතිකාර කරනවා. අම්මා හුඟක් බයෙන් ඉන්නේ තමන්ගේ දරුවා නැතිවෙයි කියලා. ඒ වගේම ඒ කාලෙදිම ඇයට තමන්ගේ සැමියා තමන්ට අහිමිවේවි කියලා බයකුත් තියෙනවා. මොකද ඔහු නැවතත් සටනට පිවිසෙනවා. ඒ දියණියගේ වෛද්‍ය ප්‍රතිකාරවලට අයත් බිල්පත් ගෙවන්න. ඇත්තටම මේ චරිතය තරමක් උභතෝකෝටිකයි. ඒත් සිත් කාවදින සුලුයි.
Q රසිකයන්ගේ ඉල්ලීම ගැනත් හිතුවද?
අපි නිළියෝ වශයෙන් හුඟක් වෙලාවට කරන්නේ සරාගී චරිත. මේ නිසා මගෙනුත් සංකීර්ණ චරිතයක් කරන්නේ නැද්ද කියල සමහරු ඇහුවා. මොකද එකම අච්චුවක රැඳෙන්න අපිත් කැමැති නැහැ. අපිටත් දැනෙන්නේ වෙනස් චරිත කළ යුතුයි කියලා තමයි. අපිත් බලන් හිටියේ මේ වගේ වෙනස් චරිත ලැබෙනකම් තමයි. ඒත් අපි කැමති වෙලාවල් වලදී, අපි ප්‍රාර්ථනා කරපු චරිතම අපට ලැබෙන්නේ නැහැ. මුලින් ප්‍රතික්ෂේප කළත් පස්සෙ ඒ චරිතය නිරූපණය කිරීමට තීරණය කළේ ඒකයි. ඇත්තටම හුඟක් වටිනා කාලයක් ගත කළේ. මෙතෙක් කළ චරිතවලට වඩා වෙනස් විදිහක චරිතයක්.
Q රෝයි චිත්‍රපටයේ අසාර්ථකත්වය ඔබට බලපෑවේ කොහොමද?
හැම චිත්‍රපට නළුවෙකුම/නිළියකම තමන්ගේ චිත්‍රපටය හරිහැටි සමාජගත වෙලා නැත්නම් ඒ ගැන දුක්වෙනවා. කවුරුවත් ඒ ගැන සතුටු වෙන්නේ නැහැ. ඒත් ඒ මොහොතේදී නළුවෙකුට හෝ නිළියකට කරන්න එතැන යමක් නැහැ. අනික මම චිත්‍රපටය නිකුත් වෙනකම් වුණත් චකිතයෙන් හිටිය කෙනෙක් නෙමෙයි. මම දන්නවා, මම උපරිමය කළා කියලා. ඒ නිසා චිත්‍රපටයේ ඉරණම කුමක් වුණත් මගේ රූපණයේ වෙනසක් නැහැ. ම
ම හැමවෙලේම බලාපොරොත්තු වෙන්නේ හොඳ යමක්. මම මගේ කොටස හොඳට කළා. ඒකයි මට වැදගත් වෙන්නේ. එය අගය කිරීම හෝ නොකිරීම ප්‍රේක්ෂකයාගේ කාර්යයක්. සමහරු කැමති වෙයි. සමහරු අකමැති වෙයි. එහෙමයි මම එය දකින්නේ. නැතුව මම දුක්වෙන්නේ නැහැ. කම්පනයට පත්වෙන්නෙත් නැහැ. මම කැමැත්ත දක්වන්නේ චිත්‍රපට බලන්නයි, ඒවා අධ්‍යයනය කරන්නයි. මම මගේ රූපණය ගැන පසු විපරමක් කරනවා.
Q සල්මන් ඛාන් රඟපෑ කික් චිත්‍රපටයෙන් ඔබේ වෘත්තියට ලද සාර්ථකත්වය කොහොමද?
කික් චිත්‍රපටයෙන් පස්සෙ මම චිත්‍රපට හතරක් රූගත කළා. මේ වසරේදී තුනක් රූගත කළා. ඒ කියන්නේ චිත්‍රපට හතක් පිට පිට ආවා. හුඟාක් කාර්යබහුල වුණා. මම හුඟක් ණයගැතියි සල්මන් ඛාන්ට සහ සජිඩ් නදිඩ්වාලාට. අනික සල්මන් ඛාන් ඉන්න චිත්‍රපටයක සුරක්ෂිත බවක් තියෙනවා. සාර්ථකත්වය ගැන සහතිකයක් තියෙනවා.