දුෂාන්ත දර්ශන ජාතික රූපවාහිනියේ ප්‍රධාන ප්රවෘත්ති නිවේදකයෙකු ලෙස ජනයා අතර ගිය අයෙකි. ඔහු රූපවාහිනී සේවයට පැමිණ දස වසරක් වීම සහ ඒ තුළ ඔහු සිදුකළ වැඩකටයුතු සම්බන්ධයෙන් කළ කතාබහක් මෙලෙස සටහන් කරන්නෙමු.
හැඳින්වීම
මගෙ නම දුෂාන්ත දර්ශන. මම ජාතික රූපවාහිනියේ සේවය කරන්නේ. දැනට අවුරුදු 10ක් පමණ වෙනවා ඒ හා සම්බන්ධ වෙලා. පළමුවෙනි දැයට කිරුළ ප්‍රදර්ශනය බලන්න ගිය කෙනෙක් විදියට තමයි මට ඒ අවස්ථාව ලැබුණේ. මේ වගේ දෙයක් බලන්න ගිහින් මේ වගේ අවස්ථාවක් ලැබුණ පිරිස ලංකාවේ හරි විරලයි.
අපි මෙහෙම ගන්නවා කියලා හැම නාළිකාවකම පෙන්නුවාට එහෙම ගන්නෙ නැහැ ගොඩක් වෙලාවට. ජාතික රූපවාහිනිය ඒ අවස්ථාව එදා මට දුන්නා. අද වෙනකොට මම සහකාර නිෂ්පාදකවරයෙක්. ඒක ඇත්තටම වටිනා අවස්ථාවක්. ඒ වගේම මම ප්‍රධාන ප්රවෘත්ති නිවේදකයෙක් විදියට කටයුතු කරනවා.
මොන වගේ වැඩසටහන්වලටද ඔබ සම්බන්ධ වෙන්නේ?
රාත්‍රී 8.00 ප්‍රධාන ප්රවෘත්ති විකාශයට දායක වෙනවා. පසුගිය දවස්වල ජනාධිපතිතුමාගේ තරුණ කඳවුරක් පැවැත්වුවා පුලතිසි කියලා. එතන සජීවී වාර්තාකරණය සඳහා මම දවස් තුනක් පමණ පොළොන්නරුවේ හිටියා.
පසුගිය මාස 6කට කලින් මට අවස්ථාව ලැබුණා ඇමරිකාවට යන්න. ලෝකේ යන්න අමාරු රටක් විදියට ඇමරිකාවට මම ගියේ එක්සත් ජාතීන්ගේ සමුළුව වාර්තා කරන්න ආයතනය නියෝජනය කරමින්. ලොකු වගකීමක් ආයතනය පැවරුවා.
සම්මාන ලැබීම
මීට පෙර මම සම්මාන ලබාගෙන තිබෙනවා. තරුණසේවා සභාව, තුරුණු ශක්ති, යෞවන සම්මාන මේ හැම එකක්ම අරගෙන තියෙනවා. ගමේ පන්සලේ වේදිකාවෙන් පටන් අරගෙන, මළගේ පාසල පන්සල වෙන්න පුළුවන් මේ සමාජයේ පළමුවැනි ස්ථාවරය වෙන්නේ එතන. නමුත් මගේ නිවේදන කටයුතු වෙනුවෙන් සම්මානයක් ලැබුණ පළමුවැනි අවස්ථාව මේක.
බස්නාහිර පළාත් සභාව තමයි මට ඒ සම්මාන දුන්නේ. ඒ ගොල්ලෝ ක්ෂේත්‍ර 20 තෝරාගෙන ඇගයීම් කළා. ඒ අතරින් නිවේදන ක්ෂේත්රයේ තුන්දෙනෙකුට සම්මාන ලැබෙනවා. අනෙක් පුද්ගලයෝ දෙන්නා හරි සුවිශේෂයි. එක්කෙනෙක් තිලක් කුමාර රත්නායක. ඔහුට මට වඩා බොහොම අත්දැකීම් තිබෙනවා.
අනිත් කෙනා ආරියසිරි විතානගේ මහත්මයා. ඔවුන් දෙන්නාම මට වඩා ජ්‍යෙෂ්ඨයින්. ඒ වගේ අයත් එක්ක සම්මානයට පාත්‍ර වීමට ලැබීම ඇත්තටම වටිනවා. ඒ ගොල්ලො තෝරාගැනීමේදී බැලුවෙ ගමක ඉඳලා කොළඹට දුෂ්කර ගමනක් ඇවිල්ලා, කාලය ශ්‍රමය, ධනය කියන මේ සියලු දේ කැප කරලා ජාතික මට්ටමට ආව පුද්ගලයො. ඒ ඇගයීමේදී මටත් සම්මානයක් ලබාගන්න හැකිවුණා.
නිවේදනයට පිවිසීම
ඇත්තටම අදටත් ගමේ අය කියනවා හරි පුදුමයි කියලා. මම පොඩි කාලේ, ඒ කියන්නේ මොන්ටිසෝරි යන වයසෙ විතර ප්රවෘත්ති කියනවාලු. ඒ කාලෙ රූපවාහිනී බලලා එහෙම අත්දැකීමක් නැහැ. ගෙදර රූපවාහිනියක් තිබුණෙත් නැහැ. හැබැයි රේඩියෝව අහනවා. ඒ පුරුද්දට වචන කැඩි කැඩි ප්රවෘත්ති කියනවා ගමේ මිනිස්සු දන්නවා.
ප්රවෘත්ති කියන්න බැහැ. 'පෝත්ති' කියලා කියන්නේ. 'වෙඩි හතක් පුපුරයි' ඒ වගේ මටම ආවේණික වචන කියන්නේ පොඩි දරුවෙක් විදියට. ඒ ආරම්භයත් එක්ක මෙහෙම ආව ගමන ගැන පුදුමයි. මොකද මනුස්සයෙකුට හැමදාම එහෙම වෙන්නෙ නැහැනේ. අදටත් සමහර අය පුදුමය පළ කරනවා ඇත්තටම මේක මාර දෙයක් කියලා. හැබැයි මට කාලයකදී මේ දේ අත්හැරිලා තිබුණා.
මම පාසල් ගියේ ගොඩගම සුභාරුතිය කණිෂ්ඨ විද්‍යාලයට. එහිදී ශිෂ්‍යත්වය සමත් වෙලා කොළඹ නාලන්දා විද්‍යාලයට එන්න අවස්ථාව ලැබෙනවා. ඇවිත් මුල්කාලයේදී මට එහෙම නිවේදනයට එන්න ආසාවක් තිබුණෙ නැහැ. හැබැයි 10, 11 වසර වගේ වෙද්දී මාධ්‍ය උණ කියන දේ හැදෙනවා. ඒත් සමගම තමයි නැවත මගේ දෙවෙනි පැමිණීම සිද්ධ වෙන්නේ.
ඒ ආවා කියලා මට ක්ෂේත්රයට එන්න ලැබෙන්නේ නැහැ. පාසල් කාලයේදීම මට ගුවන්විදුලියට එන්න අවස්ථාව ලැබෙනවා. ඒකට හේතුව 'යෞවනයේ පැවැත්ම' කියලා වැඩසටහනකට මම සම්බන්ධ වුණා දමයන්ති නානායක්කාර මහත්මියගේ. ඒ කාලයේදී ගුවන්විදුලි සංස්ථාවේ වෙළෙඳ සේවය 'පවන' කියලා නම වෙනස් වෙනවා. ඒ අය පාසලෙන් විශ්වවිද්‍යාලයෙන් ටිකක් වෙනස් විදියට ඉන්න තරුණ පිරිසක්. ඒ පිරිස අතරට එන්නත් මට අවස්ථාව ලැබෙනවා.
නමුත් මට ගුවන්විදුලියේ රැඳෙන්න අවස්ථාව ලැබුණේ නෑ. මට ඒ අවස්ථාව අහිමි වෙනවා. කාලයත් එක්ක එතන තියෙන බැඳීම නැතිව යනවා. මගේ ගම ඉංගිරිය. මම ගමේ ඉඳන් නාළිකාවට ඇප්ලිකේෂන් දානවා. ඒ වනවිට ඒ පිස්සුව මට තිබුණා. සම්මුඛ පරීක්ෂණ ගොඩක් එනවා. ගියාට පස්සෙ කියනවා ප්‍රශ්නෙ තියෙන්නේ ඔයා ඉන්නෙ සෑහෙන දුරනේ, ඔයාව සම්බන්ධ කරගන්න ක්‍රමයක් නැහැ කියලා.
ඒ අය හොයන්නේ 20km සීමාව. ඒකට තර්ක කරන්න මට අවබෝධයක් තිබුණෙත් නැහැ. ඉතිං හැමදාම ඒක අහිමි වෙලා ගියා. මම අන්තිමට ඒ හීනයත් තියාගෙන ගාමන්ට් එකක වැඩට ගියා. මගේ යාළුවෝ දන්නවා මගේ පිස්සුව. යාළුවෝ දාපු ඇප්ලිකේෂන් එකකට තමයි මට සිරසෙ ඉන්ටවිව් එක ආවේ. සිරස කිව්වාම ඒ කාලේ පිස්සුවක්. සිරස ආව මුල් කාලෙ නිසා හැමෝටම ආසාව තිබුණෙ සිරසෙ නිවේදකයෙක් වෙන්න. සමහර ගාල්ල මාතර පැත්තෙ ගුරුවරු ඇවිත් තිබුණා.
ඒ රැකියාව අතඇරලා සිරසෙ ගුරුවරයෙක් වෙන්න. මමත් ඒ ගොඩේ ගියා. දහ පහළොස් දෙනෙක් හිටියා. ඒ අතරින් නවදෙනෙක්, හත්දෙනෙක් වශයෙන් අවසානේ ඒ ගොල්ලො ගන්න තීරණය කළේ පස්දෙනයි. ඉතුරු දෙන්නගෙන් කැමති දෙන්නෙක් ගන්න කියලා ඒ වෙලාවේ ඉන්ටවිව් බෝඩ් එකේ හිටිය නිහාල් වික්‍රම එදිරිසූරියට භාරදුන්නා. එස්.එම් මරික්කාර්ට භාරදුන්නා තෝරන්න කියලා. ඔහු නිහාල්ට කැමති කෙනෙක් ගන්න කියලා කිව්වා.
එහි එක්කෙනෙක් අනුරාධපුරයේ. අනිත් කෙනා මම. පසුව නිහාල් අයියාගේ තෝරාගැනීම වුණේ මාව. ඒ ගොල්ලො දැක්කා මම මිනිස්සුන්ට කතා කරන්න පුළුවන් චරිතයක් විදියට. ඒ ගොල්ලො මාව යොමු කළේ සීතාවකට සිරස කියන එකට. එතනදී අවිස්සාවේල්ල ප්‍රදේශයේ සති දෙකක පමණ කාලයක් ඒ අය එක්ක නැවතිලා ස්ටිකර් කැම්පේන් එක, ප්‍රමෝෂන් එක, බස්වලට, ගෙවල්වලට ගිහිල්ලා රේඩියෝ එක සිරසට හදලා ඒකට පොඩි තෑග්ගක් දීලා මිනිස්සුන්ගේ ඔළු හදන එක තමයි පළමුවැනි කාර්යය වුණේ.
මගෙ ආසාව වුණේ එළියෙ ඉන්නවාට වඩා ඇතුළෙ නිවේදකයෙක් වෙන්න. ඒ අතර මගේ යාළුවෙක් කතා කරලා කිව්වා අලුත් නාළිකාවක් පටන්ගන්නවා සැටලයිට් එකක්, කැමතිද සම්බන්ධ වෙන්න කියලා.
ජාතික රූපවාහිනියට පැමිණීම
දැයට කිරුළ බලන්න ගිය වෙලාවේ සියලු නාළිකාවල තරග තිබුණා. එහිදී රූපවාහිනීයේදී තමයි මට මුලින්ම අවස්ථාව ලැබුණේ. ඒ අනුව මම තීරණය කළා ජාතික රූපවාහිනියට සම්බන්ධ වෙනවා කියලා.
ඉදිරි බලාපොරොත්තු
දැනට නිවේදන කටයුතු කරගෙන යනවා. අවුරුදු 10 සිට ස්ථාවර ගමනක් ආවා කියලා දකිනවා. තවදුරටත් කරන්න පුළුවන් උපරිම කාලසීමාවක් වැඩකටයුතු කරනවා. බලෙන් ඒ තුළ රැඳිල ඉන්න මම කැමති නැහැ. ඊළඟ පරම්පරාවට අවස්ථාව දීලා ඕනෑම මොහොතක ඉවත් වෙන්න මම කැමතියි. ඉදිරියට මාධ්‍ය ක්ෂේත්රය තුළ ඉන්නවද කියන එක තීරණය කරලා නැහැ.
077 7 075 885