VIDEO
සචිත් සහ එරංග කියන්නේ හොඳ යහළුවන් දෙන්නෙක්. උගත්කම අතින් වගේම දක්ෂතා අතිනුත් පොහොසත් අපූරු තරුණයන් දෙන්නෙක්. දැන් හොඳ යාළුවන් වුණත් ලංකාවෙදි මේ දෙන්නා එක වරක්වත් මුණගැහුණු අය නෙවෙයි. මේ දෙන්නා පළමු වරට මුණගැහෙන්නේ ජපානයේදී. ඒ හමුව ක්‍රමක්‍රමයෙන් ශක්තිමත් මිතුදමක් බවට පත් වෙන්නේත් නිරායාසයෙන්. මේ මිතුරුකම හා බැඳුණු සමාන අදහස් දැරීමේ ප්‍රතිඵලයක් හැටියටත් සචිත් සහ එරංග තමන් ජපානයේදී අත්විඳි බොහෝ දේ ගැන සහ සහ ලදහැකි හරවත් ජීවිතාවබෝධය ගැන නිතර නිතර එකිනෙකා සමග කතා කරන්න පටන් ගන්නවා.
ඒ විතරක් නෙමෙයි ජපානයට ආවේණික ජපන් සංස්කෘතියෙන්ම උපන් වඩා විධිමත් තාක්ෂණික වගේම සමාජීය පිළිවෙත්, ක්‍රමවේද හා විනයානුකූල ජීවන පැවැත්ම ගැනත් ඔවුන් දිගු සංවාදයක යෙදෙනවා. ඉන් නොනවතින ඔවුන් මේ ගැන අපේ අය දැනුවත් කරන්නේ කොහොමද කියලත් කල්පනා කරපු සබුද්ධික තරුණයෝ දෙන්නෙක් විදියට අපට හමුවන්නේ “ජපානයෙන් ඉගෙන ගනිමු (Learn from Japan)” කියලා මුහුණු පොත ඔස්සේ ගෙන එන වැඩසටන් මාලාවක් තුළින්.
මේ සංකල්පයත්, වැඩසටහන් ඉදිරිපත් කිරීමත් ඔවුන්ගේම ක්‍රමයකට ගෙන එන්නයි මේ දෙන්නා උත්සාහ කරන්නේ. “අද” අපි ඔවුන් හමුවෙන්න හිතුවේ මේ සද්කාර්යය ගැන කතා කරන්නත්, ඔවුන්ගේ උත්සාහයට පොඩි අත්වැලක් ලබාදෙන්නත් එක්කයි. මේ අපි සචිත් සහ එරංග සමග යෙදුණු කෙටි පිළිසඳරක සටහන් පෙළක්. තව දෙයක් තියෙනවා. ඉදිරියේ දී ඔවුන්ගේ වැඩසටහන් “අද” වෙබ් පිටුවෙන් නරඹන්නත් ඔබට අවස්ථාව තියෙනවා. පහත අමුණා ඇති විඩියෝවෙන් ඔවුන්ගේ වාහන ධාවනය පිළිබඳ කරපු විඩීයෝ පටය ඔබට නරඹන්නත් පුළුවන්.
Q සම්පූර්ණ නම - එරංග දිල්ෂාන් හෙට්ටිආරච්චි
Q ගම - කළුතර
Q ජපානයේ ජීවත් වන ප්‍රදේශය - ටෝක්යෝ
Q රැකියාව - වරලත් ගණකාධිකාරී/ වෘත්තීමය සේවා සමාගමක් වන Deloitte ආයතනයේ දේශීය හා විදේශීය ආයෝජන සඳහා මූල්‍ය උපදේශකවරයෙකු ලෙස කටයුතු කරනවා.
Q ජපානයේ ජීවත්වෙන්න පටන් අරගෙන කොපමණ කල් වෙනවද? අවුරුදු හතරක් විතර වෙනවා
Q ඇයි ජපානයට එන්න හිතුණේ ?
ශ්‍රී ලංකාවේදී මූල්‍ය හා තොරතුරු තාක්ෂණික උපදේශකවරයෙකු ලෙස කටයුතු කළා. ලෝකය සමග සසඳලා බලනකොට අපේ රටේ ආයෝජන වගේම ව්‍යපාරවල වර්ධන වේගය පහළ මට්ටමක තියෙන්නේ. ඒ වගේම ව්‍යපාර සඳහා තොරතුරු තාක්ෂණය භාවිතය ගොඩක් පහළ මට්ටමක තියෙන්නේ. ඒ නිසා ජපානය වගේ ආයේජන තොරතුරු තාක්ෂණය අතින් දියුණු රටක මූල්‍ය හා තොරතුරු තාක්ෂණික උපදේශකවරයෙකු ලෙස කටයුතු කරන්න ලොකු අසාවක් තිබුණා.
Q ජපානයට එන්න කලින් ජපන් භාෂාව හැදෑරුවද?
ශ්‍රීලංකාවේදී ජපන් භාෂාව පිළිබඳ මූලික අධ්‍යාපනය ලැබුවා. ජපානයට ඇවිත් තව තවත් හැදෑරුවා. ඒ වගේම දැනටත් වේලාව තියෙන විදිහට ජපන් භාෂාව හදාරනවා. මට හිතෙන විදිහට ජපන් භාෂාව කියන්නේ හදාරලා ඉවර කරන්න පුළුවන් භාෂාවක් නොවෙයි.
Q සම්පූර්ණ නම - කනංකෙ ලියනගේ සචිත් ප්‍රියංකර ලියනගේ
Q ගම - ඉපදුණේ ගාල්ලේ උඩුමලගල කියන ගමේ. පදිංචිය ගාල්ලේ රිච්මන්ඩ් කන්දේ
Q ජපානයේ ජීවත් වන ප්‍රදේශය - ටෝකියෝ නිහොන්බෂි
Q රැකියාව - සිස්ටම් ඉංජිනේරුවෙකු විදියට සේවය කරනවා
Q ජපානයේ ජීවත් වෙන්න පටන් ගෙන කොපමණ කල් වෙනවද? දැනට අවුරුදු 9ක් වෙනවා
Q ඇයි ජපානයට එන්න හිතුනේ ?
පහේ ශිෂ්‍යත්වය පාස්වෙලා ජපානයේ පැවැත්වෙන වාර්ෂික ළමා සමුළුවකට සහභාගිවෙන්න අවස්ථාව ලැබුණා. එදා ජපානයට ඇවිත් ගියාම ආයේ දවසක ජපානයේ ඇවිත් පදිංචි වෙන්න ආසාවක් ඇති වුණා.
Q ජපානයට එන්න කලින් ජපන් භාෂාව හැදෑරුවද?
ලංකාවේදි නම් ලොකු හැදෑරීමක් කළේ නැහැ. “හිරගන” හෝඩිය ලියන හැටි ටිකක් ඉගෙන ගත්තා. මම ජපානයට ආවේ ජපන් රටේ අධ්‍යාපන අමාත්‍යංශයෙන් ලැබුණ ශිෂ්‍යත්වයකින්. ඒ ශිෂ්‍යත්වය අවුරුදු පහක් පුරාවට ලැබෙනවා. ඒකෙන් මුල් අවුරුද්දේ අපිට ජපන් භාෂාව ඉගැන්නුවා. ඊට පස්සේ අපිට සාමාන්‍ය ජපන් ළමයි එක්ක විශ්වවිද්‍යාලයේ ඉගෙන ගන්න ලැබුණා. මම ඉංජිනේරු උපාධිය හැදෑරුවේ ජපන් භාෂා මාධ්‍යයෙන්. ඒ දේවල් එක්ක ජපන් භාෂාව ටික ටික හුරු වුණා.
Q සචිත් ඔය දෙන්නගේ යාළුකම පටන් ගත්තේ කොහොමද?
ඒකත් අහඹු සිදුවීමක්. මම ජපානයේ ශ්‍රීලංකා වෘත්තිකයන්ගේ සංගමයේ ස්වේච්ඡා වැඩසටහනක ප්රචාරක කටයුතු සිදුකරද්දී තමයි එරංග මට හමුවුණේ. සමාජ ජාල ඔස්සේ තමයි අපි ඒ වගේ වැඩසටහන්වල ප්රචාරක කටයුතු කරන්නේ. මම එහෙම දාපු දැන්වීමක් දැකල එරංග මට කතා කළා.ස්වේච්ඡා වැඩ කටයුතුවලට සහයෝගය දක්වන්න කැමති බව එරංග කිව්වා. එතනින් පස්සේ එරංග සහ මම නොයෙකුත් සංගම්වල වැඩ කටයුතුවලදී එකතු වෙලා වැඩ කළා.
Q කවුද මේ වගේ වැඩක් කරමු කියලා යෝජනා කළේ?
ඇත්තටම මේක එරංගගේ අදහසක්. මේ අදහස ඉදිරිපත් කළාම මම එක පයින්ම කැමති වුණා.
Q ඇයි එරංගට මේ වගේ දෙයක් කරන්න හිතුණේ?
ඇත්තටම මෙහෙම දේවල් කරන්න ඕන කියන අදහස ජපානයේ ඉන්න ගොඩක් දෙනෙකුගේ හිත්වල තියෙනවා. ඒත් ඒක ක්‍රියාවට නංවන එක තමයි සිද්ධ වුණේ නැත්තේ. ජපානයට එන්න කලින් ජපානය මෙහෙමයි කියල අත්දැකීම් තියෙන අය අපිට කියනවා. අපි ඒවා ඇහුවට ඒ දේවල් අත්විඳින්න වෙන්නේ ජපානයට ආවට පස්සෙයි. ජපානයට ඇවිත් ටික කාලයක් ගියාම ජපානයේ විදියට අපේ ජීවිත හැඩගැහෙනවා. ජපානයේ තියෙන “සිස්ටම් එක” ලංකාවට වඩා ගොඩක් වෙනස්. ජපානයේ කාලයක් ජීවත් වෙලා ලංකාවට ගිය කෙනෙකුට ඒ වෙනස හොඳට තේරෙනවා. ලංකාවේ “සිස්ටම් එකත්” මේ වගේ වුණා නම් කියල හිතෙන අවස්ථා අනන්තයි. ඉතින් ඒ දේවල් ගැන ලංකාවේ ඉන්න අයටත් යම්කිසි අදහසක් දෙන්න හිතාගෙන තමයි මේ වැඩේ පටන් ගත්තේ.
Q මෙවැනි දෙයක් කිරීමෙන් බලාපොරොත්තු වෙන්නේ මොනවද?
සචිත් - ඇත්තටම මේ දේවල්වලින් අපිට පෞද්ගලික වාසියක් ලැබෙන්නේ නෑ. අපි එවැනි දෙයක් බලාපොරොත්තු වෙන්නෙත් නෑ. මේ දේවල් සියුම්ව ශ්‍රීලාංකිකයන්ගේ මනසට ඇතුළු කරලා ඒ තුළින් අපේ රටේ ආකල්පමය දියුණුවක් සහ භෞතික දියුණුවක් ඇතිකරන එක තමයි අපේ එකම බලාපොරොත්තුව. අපි අපේක්ෂා කරනවා මේ දේවල් ශ්‍රීලංකේය ජන සමාජයට සුළුවෙන් හෝ බලපෑමක් කරාවි කියලා.
Q මොනවද තියෙන ගැටලු?
සචිත් - ඕනෑම දෙයක් කරනකොට ගැටලු මතුවෙන එක සාමාන්‍ය දෙයක්. ඒ දේවල් අපිම නිරාකරණය කරගන්නවා. අපේ වීඩියෝවලට ප්‍රමාණවත් ප්‍රචාරයක් ලබාදෙන්න අපිට විධිමත් ප්‍රචාරණ යාන්ත්‍රණයක් තිබුණේ නෑ. සමාජ ජාල හරහා අපි යම්තාක් දුරට එය ප්‍රචාරය කර තිබෙනවා. මේ එක වීඩියෝවක් සම්පූර්ණයෙන්ම අවසන් කරන්න සැලකියයුතු කැපකිරීමක් කරන්න අපිට සිදුවෙනවා. ඒ වගේම මූල්‍යමය වශයෙනුත් අපිට යම් වියදමක් දරන්න සිදුවෙනවා. එහෙම මහන්සි වෙලා අපි හදන වීඩියෝවකට ප්‍රමාණවත් ප්‍රචාරයක් ලබාදෙන්න බැරිවුණාම අපිට යම් කනගාටුවක් ඇති වෙනවා.
Q ජපන් අයගෙන් ලැබෙන සහයෝගය කොහොමද?
එරංග - ජපන් ජාතිකයන් අපිට ගොඩක් අවස්ථාවලදී සහයෝගය දක්වා තියෙනවා. ඒත් ජපනුන් වීඩියෝ කැමරාවකට නිරාවරණය වෙන්න මැලිකමක් දක්වනවා. ඒ වගේ අවස්ථාවකදී අපිට ඔවුන්ගෙන් අවසරය ගන්න අපහසු වෙන අවස්ථා එනවා. ජපානයේ තියෙන හොඳ දේවල් ලංකාවට ගෙනියන්න අපි දරන අවංක උත්සාහය ඔවුන්ට පැහැදිලි කළාම ඔවුන් අපිට ගොඩක් උදවු කරනවා.
Q මුහුණදුන් රසබර අත්දැකීම් එහෙමත් ඇති නේ....
සචිත් - ඔව්. වරක් එක වීඩියෝවක ආරම්භයේ අපි පටිගත කරපු හඳුන්වාදීමේ කොටස නිසියාකාරව පටිගත වෙලා තිබුණේ නෑ. අපි ඒ වෙනුවෙන් වෙනම දවසක පැය දෙකක් වෙන්කරගෙන, කලින් දවසේ ඇඳුම්ම ඇඳගෙන පටිගත කරන්න සූදානම් වුණා. ඒයන අතරමග කැමරාවත් එක්ක ඇදගෙන වැටිලා මට තුවාල වුණා. අතපය විතරක් නෙමෙයි, මුහුණත් තුවාල වෙලා ලේ ගලන්න ගත්තා. අමාරුවෙන් ලේ ගලන අතපය තියාගෙන මුහුණේ ලේ ගලන එක නතර වෙනකන් ඉඳල ලේ පිහදලා සිනාමුසු මුහුණක් මවාගෙන ඒ වීඩියෝව රූපගත කළා.
තවත් දවසක සුපර්මාර්කට් එකක් ඇතුළේ වීඩියෝ කරන්න අවසර ගන්න බැරුව අපි සුපර්මාර්කට් 5-6කට ගියා. ඒවායේ වැඩ කරන මිනිස්සු අපිට අවසර නොදී අපිව රස්තියාදු කෙරෙව්වා. අපි මේ කරන්නේ ස්වේච්ඡා වැඩක් කියල ගොඩක් අය පිළිගත්තෙ නෑ. රජයේ හෝ වෙනත් ආයතනයක අනුග්‍රහයක් ඇතිව මේ දේවල් කරනවා කියලයි ගොඩක් දෙනා හිතන්නේ.
Q උදවු කළ අය සහ කරන අය ගැනත් මතක් කරමු....
එරංග - ජපානයේ වෙසෙන සමස්ත ශ්‍රීලාංකික ප්‍රජාව අපේ මේ කාර්ය වෙනුවෙන් විශාල දිරිගැන්වීමක් කරනවා. විශේෂයෙන්ම ඔවුන් මේ දේවල් ලංකාවේ වාසය කරන මිතුරන්ටත් පෙන්වනවා. අපිට බොහෝ දෙනෙක් දුරකථන ඇමතුම් දීල අලුත් අදහස් ලබාදෙනවා. ෆේස්බුක් හරහා දැනටමත් විශාල පිරිසක් අපේ පිටුවට එකතු වෙලා ඉන්නවා. ඒ හැමදෙනාටම ස්තුති කරන්න කැමතියි. ඒ වගේම මේ වීඩියෝ සංස්කරණය කරන්න විශේෂ සහයෝගයක් දුන්න අපේ මිත්‍ර දුමේෂ් රසල් ජෑන්ස් මතක් කරන්න කැමතියි. අවසාන වශයනේ මේ වීඩියෝ වෙනුවෙන් විශේෂ ප්‍රචාරයක් ලබාදෙන්න ඉදිරිපත් වූ අද පුවත්පතේ සේවය කරන දිනේෂ් කුමාර මහතා ඇතුළු කාර්ය මණ්ඩලයටත් විශේෂ ස්තුතියක් පුදකරන්න කැමතියි.