හොඳම චිත්‍රපටය - 'ඔබ නැතුව ඔබ එක්ක'
හොඳම නළුවා - ශ්‍යාම් ප්‍රනාන්දු
හොඳම නිළිය - අංජලී පටෙල්
වසර අටකට පසුව පැවැති 18 වැනි ජනාධිපති සිනමා සම්මාන උලෙළ පසුගිය සිකුරාදා කොළඹ බණ්ඩාරනායක සම්මන්ත්රණ ශාලාවේදී පැවැත්විණි. 70 වසරක සිනමා අභිනන්දනය වෙනුවෙන් පැවැත්වුණු මෙම සිනමා උලෙළ සමගින් මේ වසරේදී ජාතික චිත්‍රපට සංස්ථාවට 45 වසරක් සපිරීමද සුවිශේෂී විශේෂත්වයක් වන අතර, මෙවර සම්මාන ප්රදානය කෙරුණේ 2015 වසරේ තිරගත වූ චිත්‍රපට වෙනුවෙනි.
ශ්‍රී ලාංකේය සිනමාව ඩිජිටල්කරණයේ නව යුගයට කැටුව යමින් අට වසරකට පසු පැවැත්වුණු 'ජනාධිපති සිනමා සම්මාන උලෙළ',ශ්‍රී ලංකා ජාතික චිත්‍රපට සංස්ථාව විසින් 1979 වසරේදී මෙරටට හඳුන්වාදුන්නකි.
මෙහිදී අදහස් දක්වමින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පැවසුවේ රටේ ජාතික සමගිය සහ සංහිඳියාව ඇතිකිරීම වෙනුවෙන් කලාකරුවන්ට සුවිශේෂී දායකත්වයක් ලබාදිය හැකි බවයි. සිනමා කර්මාන්තයේ ප්රගමනය වෙනුවෙන් අවශ්‍ය ඉදිරි ක්‍රියාමාර්ග ගැනීම සම්බන්ධයෙන් සහ බොහෝ කලාකරුවන්ගේ ජීවිතයේ සෑඳෑසමයේ පවතින ශෝචනීය තත්ත්වයට පිළියම් යෙදීම සඳහා ගන්නා වූ වැඩපිළිවෙළ මෙම වසරේ මැද භාගයේ සිට ක්‍රියාත්මක වනු ඇති බවද ජනාධිපතිවරයා කියා සිටියේය.
2015 වසරේ තිරගත වූ චිත්‍රපට අතුරින් ප්‍රසන්න විතානගේ මහතා අධ්‍යක්ෂණය කළ 'ඔබ නැතුව ඔබ එක්ක' හොඳම චිත්‍රපටය ලෙස මෙවර සම්මානයට පාත්‍ර වූ අතර, එහි රඟපෑ ශ්‍යාම් ප්‍රනාන්දු හොඳම නළුවා ලෙසද, අංජලී පටෙල් හොඳම නිළිය ලෙසද ජනාධිපති සම්මාන දිනාගත්හ.
මෙවර සිනමා සම්මාන උලෙළේ සම්මාන විනිශ්චය මණ්ඩලයේ සභාපතිවරයා ලෙස ආචාර්ය ධර්මසේන පතිරාජ කටයුතු කළ අතර, ශ්‍රී ලංකා පරිපාලන සේවයේ විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු මෙන්ම ජාතික චිත්‍රපට සංස්ථාවේ සහ ජාතික ඉතිරිකිරීමේ බැංකුවේ සභාපතිවරයා ලෙස කටයුතු කළ සුනිල් එස්.සිරිසේන, සම්මානනීය ගත්කතුවරියක මෙන්ම තිර නාටක රචිකාවියක වන සුමිත්‍රා රාහුබද්ධ, පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ලලිත කලා අධ්යයන්යාංශයේ සිනමා හා රූපවාහිනී මාධ්‍යය පිළිබඳ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය අතුල සමරකෝන්, දීප්ති කුමාර ගුණරත්න,'සත්හඬ' සතිඅන්ත ජාතික පුවත්පතේ කර්තෘ දීප්ති කුමාර ගුණරත්න යන පිරිස කටයුතු කළ අතර, විනිශ්චය මණ්ඩල සමායෝජකයකු ලෙස සම්මානනීය සිනමා ලේඛකයෙකු වන බුද්ධදාස ගලප්පත්ති මහතා කටයුතු කළේය.
සිනමා කර්මාන්තයේ උන්නතිය සහ කලාකරුවන් දිරිගැන්වීමේ අරමුණින් පැවැති මෙම සම්මාන උලෙළේදී මූලික සම්මාන 21 ක් මෙන්ම පුරෝගාමී මෙහෙවර බුහුමන් සම්මාන 09ක්ද පිරිනැමුණි.
ඒ අනුව එම පුරෝගාමී සම්මානවලින් සිනමා අධ්යක්ෂ තිස්ස ලියනසූරිය, සිනමා මාධ්‍යවේදියෙකු වන ආතර් යූ. අමරසේන,සිනමා ගීත රචකයෙකු වන මහාචාර්ය සුනිල් ආරියරත්න,සිනමා රංගන ශිල්පිනී චන්ද්‍රා කළුආරච්චි, සිනමා අංග රචක ඩෙරික් ප්‍රනාන්දු, සිනමා මාධ්‍යවේදී ඒ.ඩී.රංජිත්කුමාර, සිනමා විචාරක ගාමිණී වේරගම,සිනමා සාහිත්‍යධර සුනිල් මිහිඳුකුල සහ සිනමා ශබ්ද පරිපාලක කේ.පී.බාලසිංහම් යන මහත්ම මහත්මීහු පිදුම් ලැබූහ.
මෙහිදී ස්වර්ණසිංහ සම්මාන 06ක් පිරිනැමුණු අතර, ඒවා සිනමා පසුබිම් ගායිකා නන්දා මාලිනී,සිනමා අධ්යක්ෂ වසන්ත ඔබේසේකර,සිනමා නිළි අනෝජා වීරසිංහ,සිනමා නිළි ස්වර්ණා මල්ලවආරච්චි,සිනමා නළු ධර්මසිරි බණ්ඩාරනායක සහ සිනමා කැමරාකරණ ශිල්පී ඩොනල්ඩ් කරුණාරත්න යන මහත්ම මහත්මීහු දිනාගත්හ.
සම්මාන උලෙළ සඳහා අමාත්‍ය ගයන්ත කරුණාතිලක, අකිල විරාජ් කාරියවසම්, ඩී.එම්. ස්වාමිනාදන්, නියෝජ්‍ය අමාත්‍යවරුන් වන රංජන් රාමනායක, කරුණාරත්න පරණවිතාන, ජාතික විත්‍රපට සංස්ථාවේ සභාපති දීපාල් චන්ද්‍රරත්න යන මහත්වරුන්,ප්‍රවීණ කලාකරුවන් ඇතුළු විශාල පිරිසක් එක්ව සිටියහ.
ඡායාරූප- ශමීර රාජපක්ෂ