පැවැති 2015 ජනවාරි 08 ජනාධිපතිවරණයේදී මෛත්‍රීපාල සිරිසේන මහතා ජනාධිපති පදවියට පත් කිරීමට කැප වූ කලාකරුවෙකු වන ලක්ෂ්මන් විජේසේකර මහතා එම වසරේම අගෝස්තු 17 වැනිදා පැවැති පාර්ලිමේන්තු මහ මැතිවරණයේදී ජනතා විමුක්ති පෙරමුණ ජයග්‍රහණය කරවීමේ අරමුණින් ක්‍රියා කළේය. ප්‍රසිද්ධියේ දේශපාලනය කරන කලාකරුවෙකු ලෙස රටේ වර්තමාන ප්රවණතා පිළිබඳ 'අද' පුවත්පත සමග පැවැති සංවාදයේදී ඔහු මෙලෙස අදහස් දැක්වීය.
Q වත්මන් යහපාලන රජය පිළිබඳ ඔබේ අදහස කෙබඳුද?
ජනාධිපතියි, අගමැතියි සෑහෙන්න කතා කරන බව පේනවා. හැබැයි ඒ කියන කිසිදෙයක් සිද්ධ වෙන්නේ නෑ. ඊට හේතුව ඒ කියන දේවල් ක්‍රියාත්මක වීමට පසු විපරමක් නැතිකම.
රණසිංහ ප්‍රේමදාස ජනාධිපතිතුමා එයාට කරගන්න ඕන දේවල් රජයේ නිලධාරීන්ගේ පස්සෙන් එළවලා කරවාගත්තනේ. ප්‍රේමදාස ජනාධිපතිට ඒ දවස්වල අපි කැමති නැහැ. හැබැයි ආයෙත් එතුමා කරපු දේවල් දිහා හැරිලා බැලුවාම ප්‍රේමදාස ජනාධිපතිතුමා කරපු සේවය අතිවිශාල බව පේනවා. ඔහු රටට කරල තියෙන්නේ අපි අගය කරන්න ඕන දේවල්.
උදේ 6.00 ට ප්‍රේමදාස ජනාධිපතිතුමාගෙන් දුරකථන ඇමතුම් එන බව දන්නා නිලධාරීන් බය වුණා. මොකද ඔහු කියපු වැඩේ ක්‍රියාත්මක වෙලා නොතිබුණොත් ඉතාම දුෂ්කර පළාතකට ස්ථාන මාරුවක් ඔහුට ලැබෙන බව දන්නා නිසා.
Q එතකොට රාජපක්ෂ පාලන සමයෙත් එහෙම බයක් තිබුණා නේද?
නෑ නෑ, ඒ බය වෙන බයක්. ඒක භයානක බයක්. ප්‍රේමදාස මහත්තයා බය ඇති කළේ රටට හිතකර වැඩක් කරන්න. රාජපක්ෂවරු රටේ බය ඇති කළේ තමන්ගේ පැවැත්ම වෙනුවෙන්. රජයකින් රටක් පාලනය කරන්න ඕන. වත්මන් රජයේ රටක් පාලනය කිරීමේ ලක්ෂණ නැහැ. අපි අවුරුදු පහක් මේක අල්ලගෙන ඉන්නේ කොහොමද කියන එක තමයි අද ඉන්න කට්ටිය බලන්නේ. අලුත් අදහස් ඇති අයට අත දීමට වෙන්කරන මුදලටත් වැඩි මුදලක් ඒ වැඩපිළිවෙළ දැනුම්දීමට කරන දැන්වීමට මේ රජය වියදම් කරනවා.
ඒකට යම් ගවේෂණාත්මක, ගැළපෙන පිරිසක් යෙදවීමයි කළ යුත්තේ. එහෙමවත් අලුත් අදහස් ඇති අය හොයාගන්න අමාරු නම් %සිරසෙ^ තියෙන අර අලුත් අදහස් ඇති වැඩසටහනෙන් තොරතුරු අරගෙන අලුත් අදහස් ඇති අයට අත දෙන්න පුළුවන්නේ. මොකටද දැන්වීම් දාලා දෙන්න තියෙන අරමුදල නැති කරගන්නේ.
Q එතකොට මේ වෙනසට මැදිහත් වීමට ඔබට හිතදුන්නේ ඇයි?
මහින්ද රාජපක්ෂ පාලන සමයේ අන්තිම කාලෙ වෙනකොට ජනතාවගේ නිදහස අහිමි වීමේ තර්ජනයක් තිබුණා. ජනතාව හිටියේ බයෙන්. ඒ කාලෙ මහින්ද රාජපක්ෂ වටේ හිටපු පිරිවර විසින් කරන ලද ගසාකෑම් දරුණු අන්දමට සිදුවුණා. ඒ දේවල් අතරෙ විශේෂයෙන්ම ගෝඨාභය රාජපක්ෂ රටට වැඩදායක දැනෙන දේවල් ප්‍රමාණයකුත් කළා. තිබුණු වාතාවරණය අනුව මේ වෙනස සිදුවිය යුතුව තිබුණා. මේ වෙනසට මැදිහත් වුණේ නැත්නම් අපේ රට මේ වෙනකොට ඉතා භයානක තත්ත්වයකට පත්වෙන්න තිබුණා.
Q මොනවගේ භයානක තත්ත්වයක්ද?
අර ඉඩි අමීන් පාලනය කරපු උගන්ඩාව වගේ තත්ත්වයකට රට පරිවර්තනය වෙන්න තිබුණා.
Q එතකොට ගෝඨාභය රාජපක්ෂ මහතා කරපු කටයුතු ඔබ හොඳයි කියන්නේ?
නාගරික සංවර්ධන අධිකාරියේ ඔහු දැරූ නිලයේ සිට රට අලංකාර කිරීමට ඔහුගේ බලය පාවිච්චි කරලා කළ කටයුතු ඉතාම ඉහළ තත්ත්වයක තිබුණා. ඒවා ජාත්‍යන්තර ඇගයීමටත් ලක්වුණානේ.
සරත් ෆොන්සේකාගේ හැකියාවන් හඳුනාගෙන ඔහු යුද හමුදාපති තනතුරට පත් කරලා යුද්ධෙ දිනන්න අවශ්‍ය මාවත හැදුවෙත් ගෝඨාභයනේ. ඒවා හොඳ වැඩනේ. ඉස්සර හිටපු ආරක්ෂක ලේකම්වරුන්ට වෙඩිල්ලක් තියන්නත් රටේ ජනාධිපතිගෙන් අහන්න ඕන. ගෝඨාභය, මහින්ද රාජපක්ෂගේ මල්ලි නිසා යුද ජයග්‍රහණයට යන පාර පහසු වුණා.
Q වෙනස වෙනුවෙන් ඔබ ගත් පියවර නිවැරදි බවද ඔබේ මතය?
ඔව්. ඒ කාලෙ ජනතාව රජයට විරුද්ධව කතා කරන්න බැරි ලොකු තැතිගැන්මකින්නේ හිටියේ. එදා මේ වෙනස ඇති කළ යුතුව තිබුණා. ඒකට මම පමණක් නොවේ කලාකරුවන් රටේ තරුණ කොටස් ඇතුළුව විශාල පිරිසක් මූලික වෙලා කටයුතු කළා.
මෛත්‍රීපාල සිරිසේන මහතා ජනාධිපති තනතුරට තරග කරන්න යෝජනා වෙලා, සම්මත වෙලා, ජනවාරි 08 එතුමා ජනාධිපතිවරණයට තරග කරන්නේ නැතිව රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරණයට තරග කළා නම් කවදාවත් දින්නනේ නැහැනේ. ඒක තමයි සත්‍යය.
මෛත්‍රීපාල සිරිසේන මහතා ජනාධිපති කරන්න වෙහෙසුණු මිනිසුන්ගේ අරමුණ ඉටුවුණා. ජනතාවට ලොකු නිදහසක් ඇති වුණා. ඇයි රජයේ සේවකයන්ට රුපියල් 10,000කින් වැටුපත් වැඩිවුණේ. ඒක ලොකු දෙයක්. ඒවාට මුදල් රජය හොයන්නත් ඕන නේ. ගුවන් විදුලි බලපත්‍රය හා රූපවාහිනී බලපත්‍රය ගතයුතුයි කියන ක්‍රමවේදය ඉවත් කිරීමෙන් රජයට ලැබිය යුතු මුදල් අහිමිවීමක් සිදුවෙනවා. එම බලපත්‍ර ක්‍රමය යළි ක්‍රියාත්මක කළ යුතුයි. ඒ තුළින් අදාළ රජයේ ආයතන පවත්වාගෙන යෑමට මූල්‍යමය පහසුවක් ඇති වෙනවා.
Q ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතාට සහයෝගය දුන් ඔබ මහ මැතිවරණයේදී ජනතා විමුක්ති පෙරමුණට සහයෝගය දෙන ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටියේ ඇයි?
මම ජනාධිපතිවරණයේදී මෛත්‍රීපාල සිරිසේන මහතාට වැඩ කළාට, කවදත් ඡන්දෙ දුන්නේ ජනතා විමුක්ති පෙරමුණට. මම ජනතා විමුක්ති පෙරමුණේ සාමාජිකයෙක් නොවෙයි. හැබැයි මම කවදත් ඡන්දෙ දුන්නේ ජේ.වී.පී. එකට. ජනතා විමුක්ති පෙරමුණේ හෙළිදරව් කිරීම්වලට මම කැමතියි.
Q දැන් රටේ ජනතාව මේ යහපාලන රජය දැඩි ලෙස විවේචනය කරනවා නේද?
මට නම් තේරෙන්නේ නෑ ජනතාව කියන දේ මොකක්ද කියලා. මේ රජය පත් කිරීමෙන් පසු රටේ ජනතාවගෙන් වත්මන් රජය විවේචනය කරන කොටස බලාපොරොත්තු වෙන දේ කුමක්ද කියලා මට නම් තේරුම්ගන්න අමාරුයි. වර්තමාන රජයට ඇතිවෙලා තියෙන අභියෝග අතීතයේ තිබූ හැම රජයකටම ඇති වුණානේ. තමන්ගේ යාළු මිත්‍රකම් පැත්තකට දාලා පසුගිය රාජපක්ෂ රජයේ ගසාකෑම්වලට වැරදිකරුවන්ට අනිවාර්යයෙන්ම දඬුවම් දිය යුතුයි.
මහින්ද රාජපක්ෂ ළඟ තියෙන මහජන සම්බන්ධතාව ඉතාම ඉහළයි. අදත් ඔහු වටා පිරිසක් ඉන්නේ ඒ නිසා. නමුත් ඔහු වටේ හිටපු අය විසින් තමයි ඔහු මේ තත්ත්වයට පත් කළේ. බලය ලැබුණට පස්සෙ බලය ලද කෙනාව වළකට දාලා එක් පිරිසක් ඒ වළ වැහෙන්න හිටගන්නවා. ඒ වළ වටේ ඉන්න පිරිස උඩ ඉඳන් පල්ලෙහාට කියන එක තමයි බලය ලබපු තැනැත්තා අහන්නේ.
Q මේ යහපාලන රජයට දූෂණ චෝදනා ඇති වෙලා නේද?
ඔව්. මේ රජයේ ඇතැම් අයත් ඒක කරන්න පටන් අරගෙන. පදවිප්‍රාප්ති උත්සව මොකටද? කිසිම තේරුමක් නැති නාස්තියක්නේ. ඒ වියදමෙන් නැති බැරි පවුල් දහයකට ගෙවල් 10 ක් හදලා දෙන්න පුළුවන්නේ.
Q අලුත් පරපුර යන දිශානිතය පිළිබඳ ඔබේ අදහස කෙබඳුද?
අලුත් තරුණ පරපුර යන දිශානතිය ඉතා හොඳයි. හැබැයි ඒ අය අතීතය අධ්‍යයනය කිරීමෙන් බැහැරවීමක් හෝ අතීතය අමතක කිරීමක නිරතවෙලා ඉන්න බවක් පේනවා. අතීතය හඳුනා නොගෙන, අමතක කරලා අනාගතයට යන්න බැහැ. විශේෂයෙන්ම මගේ විෂය වන සංගීතයේදී තරුණ පරපුර, එම අතීතය අමතක කරලා ඉබාගාතේ යන ස්වභාවයක් මම දකිනවා. දක්ෂතා ඇති තරුණ පිරිසකුත්, තම දක්ෂතා එළිදැක්වීමට නොහැකිව ළතවෙන තරුණ පරපුරකුත් රටේ ඉන්නවා.
මේ රජයෙනුත් තරුණයන් වෙනුවෙන් යමක් සිදුවේවි යැයි බලාපොරොත්තු ඇති කරගන්න බැහැ. වත්මන් රජයට එවැනි සැලසුමකුත් නැහැ. රජයේ ආයතන තුළ ඉන්න අයගෙන් වැඩ ගන්නේ නැතිව, ඇමතිවරුන් තමන්ගේ හිතෛෂීන්ගෙන් 100 ක් විතර රාජ්‍ය ආයතනවලට අනුයුක්ත කළාම කොහොමද රටකට සෙතක් වෙන්නේ. විෂය නොදන්නා අයෙකුට ආයතනවල ප්‍රබල තනතුරක් දුන්නාම ඒ පුද්ගලයා වටා හැම රජයකින්ම වට කරගන්න අය ඔහුව වහගන්නවා. අද රසිකත්වය විසිරිලා. එදා රසික මට්ටම එක තලයක තිබුණේ. ඉස්සර අපි රූපවාහිනි සංස්ථාවේ 'ගායනා' වැඩසටහන කළේ අනුග්රාහකයන් කිසිවෙක් නැතිවයි. අද මේ අනුග්රාහකයන් නැතිව කිසිම දෙයක් කරන්නේ නැති තත්ත්වයකට රට පත්වෙලා.
සටහන /ඡායාරූප - පද්මකුමා පී. මෙත්තසේන