ඉරාජ් වීරරත්න යනු මේ දිනවල සමාජ ජාල වෙබ් අඩවි ඔස්සේ බොහෝ දෙනෙකුගේ කතාබහට ලක්වන චරිතයකි. ඔහුගේ නවතම ගීතය වන 'දැනුනා' ගීතය හේතුවෙන් රසිකයන් කලකිරීමට පත්වූ බව බොහෝ දෙනෙකුගේ අදහසයි. මෙම නවතම ගීතය මෙරට ප්‍රවීණ ගායන ශිල්පියෙකුට කරන ලද මඩ ප්‍රහාරයක්ද? අප ඒ පිළිබඳ ඉරාජ්ගෙන් විමසා සිටි අතර, ඔහු පැවසුවේ මෙවැන්නකි.
Q 'දැනුනා' ගීතයේ ඔබේ අදහස මුලින්ම කිව්වොත්?
මම හැමදාම කරපු මියුසික් වීඩියෝවලට හොඳ, නරක ප්‍රතිචාර දෙපැත්තටම තියෙනවා. ඒක තවත් වයිරල් වීඩියෝවක්.
Q මේ ගීතය ගොඩක් දෙනෙක් විවේචනය කරනවා, ලංකාවේ ප්‍රවීණ ගායකයෙකුගේ පෞද්ගලික ජීවිතය මෙම වීඩියෝවේ කතා සංකල්පයට උපයෝගී කරගත්තා කියලා?
මෙහෙමයි, ප්‍රවීණ කෙනෙකුගේ කතාවක් වෙන්න පුළුවන් හෝ නැතාහෝ මේක මම දරන මතය තමයි මේ මියුසික් වීඩියෝවෙන් පෙන්වන්නේ. පසුගිය දවස්වල මම සෝෂල් මීඩියාවලින් දැක්කා ළමයින් අද තමන්ගේ අම්මා, තාත්තා පාරේ දාලා යන තත්ත්වයකට පත්වෙලා තියෙනවා. ගොඩක් පේජ්වලින් ඒවායේ වොයිස් කට්, වීඩියෝ අරගෙන තිබුණා. මට ඕන වුණා කතාවක් හදන්න.
එහෙම කතාවක් තිබුණා නම්, මට ඕන වුණා කරන්න. කෙනෙකුට මෙහෙම වෙන්නෙ, ඒ කියන්නෙ තරුණියක්ව විවාහ කරගත්ත එක ඒ දවස්වල සංස්කෘතියට ලොකු ප්‍රශ්නයක් කියා තිබුණා. අපි පසුගිය දවස්වල කිව්වා සංස්කෘතියට ගැළපෙන්නේ නැහැ කියලා. ගොඩක් ෆේස්බුක් පේජ්වලින් මඩ ගැහුවා. ඒ දෙයට පුදුම විදිහට මීඩියාවලින් සහ ෆේස්බුක් පේජ්වලින් ගැහුවා, මේක රටට හරියන්නේ නැහැ කියලා. නමුත් ඒක සාමාන්‍ය දෙයක් ලෝකයේ. ඒක අපට අලුත් දෙයක් වුණාට. ඒ දේ තමයි මම මේ වීඩියෝවෙන් පෙන්නලා තියෙන්නෙ. ළමයින් අත්හැරලා පාරට යනවාට වඩා කවුරු හරි බලාගන්න කෙනෙක් ඉන්නවා නම්, වැරැද්දක් නැහැ කියලා තමයි මම පෙන්නලා තියෙන්නෙ. ඒකට සමහර වෙලාවට එක එක උපක්‍රම පාචිව්චි කරනවා. මොකද සමහර මියුසික් වීඩියෝ බලන්න වෙනස් හේතු තියෙනවා. සමහර වීඩියෝ සමාජගත කරන්න ඕන වුණාම මම ඒ වෙනස් උපක්‍රම පාවිච්චි කරනවා.
Q දැන් ඔබ කියන උපක්‍රම පෙන්වන්නද එම වීඩියෝව තුළින් 'චීස්' 'සොසේජස්', 'කෙසෙල්' සහ අනෙකුත් දේවල් පෙන්වන්නේ? නැත්නම් ඒ දේවල්වල ඔබේ යටි අරමුණක් තියෙනවාද?
මෙහෙමයි. එක පාරම වීඩියෝව බැලුවාම තේරුම් ගන්න පුළුවන් ඕනෑම කෙනෙකුට. මම බෞද්ධ ගීත කරලත් තියෙනවා. මගේ 'යූ-ටියුබ්' එකට ගිහින් බලන්න කීයද ඒ දේවල් බලලා තියෙන්නෙ කියලා. මම ගිය මාසේ කළා, දුවෙක් තාත්තා කෙනෙකුට කියන සිංදුවක් 'තුරුලේ නිදන්' කියලා. ඒක බලපු ගාණ බලන්න. ඒක ලක්ෂ හතයි ගාණක් බලලා තියෙනවා, මාසයක කාලයක් තුළදී. එතකොට සමහර දේවල් මට සමාජගත කරන්න ඕන වුණාම උපක්‍රම පාවිච්චි කරනවා. ඒ උපක්‍රම තමයි පසුගිය දවස්වල මිලියන 05, 06 බලලා තියෙන්නෙ. මේක මේ ලංකාවේ ඉතිහාසයේ වැඩියෙන්ම බලමු පළපු වීඩියෝව වුණා. පැය විසිහතරෙන් ලක්ෂ 10කටත් වැඩිය බැලුවා. දැන් තියෙන්නේ ටී.වී. මාධ්‍ය නෙමෙයිනේ. සෝෂල් මීඩියා හරහා වයිරල් යවන්න ඕන වුණාම මියුසික් වීඩියෝවකට වඩා මේක වයිරල් වීඩියෝවක් වෙන්න පුළුවන්. මොකද මේකෙ සිංදුවට වඩා වැඩි තැන දීලා තියෙන්නේ වයිරල් වීඩියෝවක් හැටියටයි.
Q ඔබ කිව්ව 'මනමාලි දෙක' වීඩියෝවට හොඳ ප්‍රතිචාර ලැබුණා, නමුත් මේ නවතම ගීතය නිසා ඒ ලැබුණු ප්‍රතිචාරත් පලක් නැති වුණා නේද?
පරණ ඉරාජ් ආවා කියලා ගොඩක් අය කිව්වා. ගොඩක් අය කිව්වා ඒ ඉරාජ්ගේ සිංදු දෙන්න කියලා. ඒ 2005 දී, දැන් 2017 වෙලා. ඒක හරි. මම ඒ ඉල්ලපු එකම කළා. ඕක සංසන්දනය කළොත් මම පෙරේදා දාපු වීඩියෝ එකයි, 'තුරුලේ නිදන්' ගීතයයි කොච්චරක් බලලා තියෙනවාද කියලා.
Q ඒ කියන්නෙ ඔබට අවශ්‍යතාවක් නැහැ ජනතාව ආදරය කරන ඉරාජ් කෙනෙක් වෙන්න?
එහෙම නෙමෙයි. මට ඕන හැම වෙලාවේම පණිවුඩයක් මිනිස්සු අතරට යවන්නයි. ඒ කියන්නේ මම කැමැති නැහැ නිකං සිංදුවක් කරලා, කොල්ලෙක් කෙල්ලෙක් ලව්කරලා අඬනවා වගේ ගීත කරන්න. මේකෙ ලොකු පණිවුඩයක් දීලා තියෙනවා. මේ ගීතය හරියට බැලුවොත්, ඔය 'සොසේජස්', 'කෙසෙල් ගෙඩි' ඔක්කෝම අමතක කරලා බැලුවොත් මේක ඇතුළෙ ලොකු කතාවක් තියෙනවා. ඒ කතාව මිනිස්සුන්ට තේරුම් ගන්න බැහැ. අපේ රටේ මානසිකත්වය ඒ තත්ත්වයට සූදානම් නැහැ. ඉන්දියාවේ ගත්තාම, ඇත්ත කතා පදනම් කරලා පොත් ලියනවා, ෆිල්ම් හදනවා. ඉතිං මම මේකෙ වරදක් දකින්නේ නැහැ. මම මියුසික් වීඩියෝවක් කළා, මිනිස්සු මේක බලන විදිහයි වැරදි. ඒකට මට කරන්න දෙයක් නැහැ.
Q ඔබේ නිර්මාණවලට කරන ඕනෑම චෝදනාවකට ඔබට උත්තරයක් තියෙනවා කියලද ඔබ කියන්නේ?
මෙහෙමයි, මිනිස්සු හොඳ නරක දෙකම කියනවානේ. ඉතිං එතකොට මට හරිදේ මම කරන්නෙ. මගේ මියුසික් වීඩියෝවල පණිවුඩයක් දෙනවා. නොදැනීම අරගල කරන දේවල් පවා මම සමාජ කරලා තියෙනවා. මේ වීඩියෝවෙත් එක්තරා පණිවුඩයක් සමාජගත කරලා තියෙනවා. ලංකාවේ එළියේ ඉඳන් විවෘතව බලන අය හොඳ ගොඩක් කමෙන්ට්ස් දාලා තිබුණා. මොකද ලංකාවෙන් පිට ඉන්න අය ජීවත් වන සමාජයත් එක්ක ඒ අය දකිනවා මේකෙ හොඳ මොකක්ද කියලා. ලංකාව ඇතුළෙ ඉන්න අයට මේක දරාගන්න බැහැ. හැමෝම කියන්නේ මේක සංස්කෘතියකට පටහැණියි කියලා. වයසක කෙනෙක් තරුණියක්ව විවාහ කරගන්න බැහැ කියන එකයි කියන්නේ. අද කාලේ තරුණයෙක් තරුණිය එක්ක තරහා වුණු ගමන් කෝච්චියට බෙල්ල තියෙනවා. එහෙමත් නැතිනම් වෙනයම් ක්‍රමයකින් සියදිවි හානිකර ගන්නවා. ඒක වෙන්න ඕන නැහැ කියලයි මම කියලා තියෙන්නේ.
Q ගොඩක් අය චෝදනා කරනවා ඔබ වික්ටර් රත්නායක මහත්මයා සමග පෞද්ගලික තරහක් නිසා මෙවැනි වීඩියෝවක් නිර්මාණය කළා කියලා?
වික්ටර් රත්නායක මහත්මයා අපි ගරු කරන ජ්‍යෙෂ්ඨ කලාකරුවෙක්. කාලයක් තිබුණා වික්ටර් රත්නායක මහත්මයා අපේ සිංදුවලට බැන්නා. මේවා පවතින්නේ නැහැ, මේවා හරි නැහැ කියලා. අපි ඒ දේවල්වලින් ඉගෙන ගන්නවා මිසක් කාටවත් පහර දෙන්නේ නැහැ. එතුමා ලංකාවේ ශ්‍රේෂ්ඨ කෙනෙක්. අනික මේ වීඩියෝව හරියට එතුමත් බැලුවොත් මේක වෙන පණිවුඩයක්. එතුමාට පහර ගහන්නවත් කිසිදෙයක් කරපු මියුසික් වීඩියෝවක් නෙමෙයි. මේක සමාජයේ හැමෝටම පොදුවේ දෙන පණිවුඩයක් විතරයි. ළමයින් පාරට දානවාට වඩා තමන් වයසට ගියාම එහෙම දෙයක් වුණාට ප්‍රශ්නයක් නැහැ කියලා තමයි මම කියලා තියෙන්නේ. සෝෂල් මීඩියාවලින් ඒ කාලයේ තරුණියක් විවාහ කරගත්තා කියලා හෝ ගහලා ගැහුවා. ඒකට අඩු වැඩියෙන් පේජ්, වෙබ් සයිට් දායක වුණා. ඒ දේවල්වලින් ඔවුන් ලොකු ගාණක් හම්බ කර ගන්නවා. ඒ වගේම මටත් මේ දවස්වල පෝස්ට් හදාගෙන ගහලා ඒකෙනුත් හම්බ කර ගන්නවා.
Q 'ස' වෙනුවට 'ප' දැමීමෙන් යම්කිසි කෙනෙකුට හානියක් වුණේ නැද්ද?
නැහැ. මේ මියුසික් වීඩියෝව තුළින් කිසිම දෙයකටත්, කිසිම කෙනෙකුටවත් මඩක් ගහලා නැහැ. සමහර විට මේ වීඩියෝවට එක කතාවක් පදනම් කරගත්තා නෙමෙයිනේ. කතා දෙක තුනක් පදනම් කරගත්ත වීඩියෝවක්. %ප^ කියන්නෙත් සිංහල අකුරක්නෙ. ඒක කාටවත් කියන්න බැහැ සහ කාටවත් ඒකෙ අයිතිවාසිකමක් ඉල්ලන්නත් බැහැ. කාටවත් කියන්න බැහැ මම ඒකට මඩක් ගහනවා කියලා. මඩක් ගහන්න චේතනාවෙන් නෙමෙයි මම මේ මියුසික් වීඩියෝව හැදුවේ.
ඔබ කියන පණිවුඩ අතරේ තිබුණු දේවල් කිහිපයක් තමයි, 'සමලිංගික විවාහය නීතිගත කරයි', එහෙම නැතිනම් '2017 වර්ෂයේ අලි පිටරට යැවීමෙන් විශාල ලාභයක්' කියන දේවල්වලිනුත් දේශපාලනයටත් පහරක් එල්ල කරන්න ඔබ හිතන්නේ?
මගේ හැම සිංදුවකම දේශපාලනය තියෙනවා. හැම සිංදුවකම පොඩි පොඩි දේවල් ඇතුළට දානවා. ඒක මිනිස්සු බාරගන්න විදිය තමයි. මම මේ සිංදුවෙත් එක එක පණිවුඩ දාලා තියෙනවා.
Q ඔබට වර්තමාන දේශපාලනයත් එක්ක වෛරයක් තියෙනවාද?
ඔව් අනිවාර්යයෙන්ම. වැඩිපුරම පාලනය කරන්නේ, අපි ඉදිරියට යන්නේ අපේ රටේ තීරණ ගන්න තැනින්. ඒ කියන්නේ පාර්ලිමේන්තුව. ඒකෙ අටපාස් අය 98ක් ඉන්නවාලු. ඒ කියන්නේ 10 පාස් නැති අය. ඉගෙන ගත්තේ නැති අය කොහොමද රටේ තීරණ ගන්නෙ. ඒ අයව පත්කරන මිනිස්සු වැරදි නේද? ඒ මිනිස්සුන්ගේ අධ්‍යාපන මට්ටම මොකක්ද? අපි රටක් වශයෙන් ඉස්සරහට යන්නෙ නැත්තෙත් ඒක නිසයි. අපි ඉස්සෙල්ලාම එතැනින් පටන් ගන්න ඕන හැදෙන්න.
Q ඔබ මේ කරන නිර්මාණ නිසා මේ රටේ මිනිස්සුන්ට ඔබව එපාවීමක් විතරයි නේද වෙන්නෙ?
ඒකට එකම උදාහරණයයි තියෙන්නෙ. ඇත්ත කියන කොට හැමතිස්සෙම පහර ගහනවානේ. ඒ මියුසික් වීඩියෝව මුල ඉඳන් හරියට අවසන් වෙනතෙක් බැලුවොත් මිනිස්සු දන්නවා හිත ඇතුළෙන් මම මොකක්ද කරලා තියෙන්නෙ කියලා. අනික බණින එක රැල්ලක් වෙලා තියෙන්නෙ. හිතන්නේ නැහැ. කවුරුහරි කෙනෙක් බණිනවා දැක්කම ඊට උඩින් බණිනවා. ඉතිං ඔය බණින ඒවා මම ගණන් ගන්නේ නැහැ. 2004 පළමුවැනි ඇල්බම් එක දාපු කාලෙත් මට බැන්නා, ඒ දවස්වල හදපු සිංදු සමාජයට ගැළපෙන්නේ නැහැ, මොනාද මේ හදන සිංදු, මේ රැප් මොනාද, මේ බීට් (Beat) මොනාද කියලා. මේවා නෙමෙයි මියුසික් කියන්නේ කියලා. ඒ දවස්වල හදපු නිර්මාණවලට දැන් හොඳයි කියනවා. ඒවා විශිෂ්ටයි කියනවා. ඒ වගේම මම කියනවා, මේ අවුරුද්දේ හදපු සිංදු තව අවුරුදු 10කින් 15කින් මම ඒ කාලේ හදපු සිංදු නියමයි නේද කියලා. ඒක අනිවාර්යයෙන්ම වෙන දෙයක්.
Q ඉදිරියේදී ඔබේ නිර්මාණයන් මේ රාමුවේද?
මම ඉතිං රටේ, සමාජයේ, මිනිස්සු හැංගිලා හොරෙන් කරන දේවල්, සංස්කෘතියට හානි වෙනවා කියන දේවල් එළිපිට දාලා තියෙනවා. අපේ රටේ මිනිස්සු බොරු මිත්‍යාවකින් ජීවත් වෙන්නේ. ඒ රාමුව කඩලා අපි යන්න ඕන. අපි වහල්ලු වගේ දූපත් මානසිකත්වයෙන් ඉන්නවාට මම කැමති නැහැ. ඒක පිළිගන්න අය පිළිගනියි, නැති අය නැහැ. මම තවත් දෙයක් කියනවා මගේ මියුසික් වීඩියෝවලට කැමති නැත්නම් මම කියනවා බලන්න එපා කියලා. මගේ වීඩියෝවලට කැමති නැත්නම් බලන්න එපා. ඊට වඩා 'යූටියුබ්' එකේ තව ඕන තරම් තියෙනවා ඉන්දියන් කතා, මෙගානාට්‍ය. ඒවා බලන්න කියලා කියනවා.