එක්දින අන්තර්ජාතික තරග ඉතිහාසයේ ද්විත්ව ශතක දෙකක් වාර්තා කළ පළමු ක්‍රීඩකයා බවට පත්වීමට ඉන්දියාවේ රෝහිත් ෂර්මා සමත් විය. කලක් ඉන්දීය ක්‍රිකට් කණ්ඩායමේ ස්ථානයකුදු සොයාගත නොහැකිව ළතැවුණු ෂර්මා, සචින් තෙන්ඩුල්කාර්ගේ නික්ම යාමත් සමග අංක හතර පිතිකරුවා ලෙස කණ්ඩායමේ ස්ථානයක් හිමිකර ගත්තෙකි. කෙසේ නමුත් ඔහුගේ දස්කම් තීව්ර වන්නට පටන් ගත්තේ අත්හදා බැලීමක් ලෙස ආරම්භක පිතිකරුවා බවට පත් වීමත් සමගමය. පසුගිය වසරේදී ඔස්ට්‍රේලියාවට එරෙහිව ලකුණු 209ක් ලබා ගත් ඔහු, නිමා වූ ඉන්දු - ලංකා එක්දින තරගාවලියේදී තරගයකදී ක්‍රීඩකයකු වාර්තා කළ ඉහළම ලකුණු සංඛ්‍යාව වන 264 වාර්තා කළේද මෙම උසස්වීමත් සමගමය. ඉන්දීය ප්‍රීමියර් ලීග් තරගාවලියේ මුම්බායි කණ්ඩායමේ නායකයාද වන රෝහිත්, මේ අනුව ඉන්දීය ප්‍රේක්ෂකයන්ගේ වීරයෙකු බවට පත්ව ඇති අතර, චිත්‍රපට තරුවක් තරමටම ජනප්‍රිය වී ඇත. එහෙත් ඔහු විසින් ෆිල්ම්ෆෙයාර් සඟරාව සමගින් කළ සම්මුඛ සාකච්ඡාව සිංහලයට නැගීමට තවත් හේතු කිහිපයක්ම බලපෑවේය. අපි මෙතැන් සිට ඒ සඳහා අවධානය යොමු කරමු.
-
හින්දි චිත්‍රපට බලන්න උන්මාදය
මම හින්දි චිත්‍රපට බලන්න හුඟක් කැමැතියි. බොලිවුඩ් උන්මාදයක් මට තියෙනවා කිව්වත් ඒක වැරදි නැහැ. හැබැයි බොලිවුඩ් චිත්‍රපටවලට මං ඇබ්බැහි වුණේ මදුබාලා,වහීදා රෙහ්මාන්, ක්‍රිෂෝර් කුමාර්, රාජේෂ් ඛන්නා, අමිතාබ් බච්චන් ජනප්‍රිය වුණු යුගයේ පටන්. ඒ නිසා හින්දි සිනමාව මට පොඩි කාලෙ ඉඳලම හදවතට කිට්ටුයි. හැබැයි ඒ තරමටම මම හොලිවුඩ් සිනමාවටත් ආදරේ කරනවා. වෙලාවක් ලැබුණු ගමන් කරන්නෙත් චිත්‍රපට බලන එක තමයි. තරග අතරතුර ගමන් කිරීමේදීත් ලැබෙන කාලයේදි මම කරන්නේ අලුත්ම චිත්‍රපට මොනවද කියලා හොයලා බලන එක. ඒක දැන් මගේ දින චර්යාවේ කොටසක් වෙලා. ඒ නිසා මගේ රසවින්දනය හැමවෙලේම හොඳ මට්ටමක තියෙනවා. ජීවිතෙත් හරිම සුන්දර විදිහට ගලාගෙන යනවා.
-
හුඟක් කැමති හාස්‍ය චිත්‍රපටවලට
මගේ මුල්ම ආදරය ක්‍රිකට්වලට. දෙවැනි ආදරය චිත්‍රපටවලට. හැබැයි ඒ චිත්‍රපට අතරින් වැඩියෙන්ම මම කැමති හාස්‍ය චිත්රපටවලටයි. සුපිරි වීර චරිත ඉන්න චිත්‍රපටවලටත් කැමතියි. මම දකින විදිහට රාජ්පල් යාදෙව් කියන්නේ විශිෂ්ට ගණයේ නළුවෙක්. රාජ්පල් තිරයට එද්දි මං හිනාව නවත්තගන්නෙත් බොහොම අමාරුවෙන්. මං ඔහුට හුඟක් කැමතියි. අනික යමක් හිතන්න බල කරන චිත්‍රපටවලට මම වැඩි අවධානයක් යොමු කරනවා. විශේෂයෙන්ම වීර් -සාරා, හේරා පේරි,ජෝ ජිතා වෝහි සිකන්දර් , The Avengers, Iron Man, The Dark Night Rises යන චිත්‍රපටවලට මම හුඟක් කැමතියි. ඒ චිත්‍රපට නැවත නැවත නරඹමින් මම වින්දනයක් ලබනවා. අලුත් වෙනවා. කොහොම වුණත් මේ චිත්‍රපට කීපයෙනුත් වීර් - සාරා චිත්‍රපටයට මම හුඟක් කැමතියි. චිත්‍රපටය තුළ තියෙන්නේ සදාතනික කතා තේමාවක්. අනික ගීත, සංගීතය ආදී හැමදෙයක්ම හොඳ මට්ටමක තියෙනවා. හැබැයි මම මේ තරමටම 'Border' චිත්‍රපටයටත් කැමතියි. ඒ ජාත්‍යානුරාගය ඇති කරවන චිත්‍රපටයක් හින්දා. අනික ඒ චිත්‍රපටය නරඹද්දී මොනම වෙලාවකවත් කම්මැලි ගතියක් දැනෙන්නෙ නෑ. ආයෙත් බලන්න හිතෙනවා මිසෙක. ඒ නිසා මේක කී පාරක් බැලුවත් ආයෙත් බලන්න හිතෙයි කියලයි මට නම් හිතෙන්නේ.
-
චිත්‍රපටයක රඟපාන්න ලැබුණු අවස්ථාව
මම ඒ වෙලාවේ වෙළෙඳ දැන්වීමක රූගත කිරීමක හිටියේ. රූගත කිරීමෙන් පස්සෙ අධ්යක්ෂවරයා මං ළඟට ආවා.
“රෝහිත්, ඔයාට තියෙන්නේ ෆොටෝජෙනික් මූණක්නේ. කැමති නැද්ද මගෙත් එක්ක වැඩ කරන්න. මගේ චිත්‍රපටයක රඟපාන්න කැමති නැද්ද? "මම ඉතා ගෞරවයෙන් ඒක ප්‍රතික්ෂේප කළා. මට මම ගැන බලන්නවත් වෙලාවක් නෑ දැන්. ඉතින් කොහෙද? අනික මේ වෙලාවේ ක්‍රිකට් ගැන ඇරෙන්න වෙන මුකුත් ගැන හිතන්නෙ නෑ. මොකද මම මගේ වෘත්තීමය ජීවිතය පටන් ගත්තා විතරයි. ඒත් අනාගතයේදී නම් මේ ගැන සලකා බලන්න පුළුවන්. හැබැයි මට ඒ වගේ අවස්ථාවක් ලැබුණොත් මගේ අනෙක් පැත්තේ නිළියගේ චරිතයට කරීනා කපූර් එනවටයි කැමතියි. එයා තමයි මගේ කැමැත්ත. එයාගේ හැම චිත්‍රපටයකටම මම කැමතියි.
-
චිත්‍රපට තේමාවලට ක්‍රීඩාව සම්බන්ධ වීම
මම නම් ඒ ගැන සතුටින් ඉන්නේ. චිත්‍රපට නිර්මාණකරුවෝ ක්‍රීඩාවත් තමන්ගේ නිර්මාණවලට සම්බන්ධ කර ගත යුතුයි. ඒක හුඟක් වැදගත්. ක්‍රීඩාව සම්බන්ධ කරගෙන හුඟක් චිත්‍රපට නිර්මාණ වෙලා තියෙනවා. ප්‍රේක්ෂකයෝ ඒවා සතුටින් භාරගෙනත් තියෙනවා. 'ලගාන්', 'චක් දේ ඉන්දියා', Goal (English Film), Goal 2, For Love of the Game, In wickets කියන්නේ මේවට හොඳම උදාහරණ. අනික චිත්‍රපටයට ක්‍රීඩාව සම්බන්ධ කිරීමෙන් නිර්මාණය සඳහා වැඩි අවධානයක් ලබාගන්නත් පුළුවන්. තමන්ගේ දැක්ම වුණත් පහසුවෙන් එයින් සමාජගත කරන්න පුළුවන්.
-
කැමතිම නළුවා සහ කැමතිම නිළිය
(තරමක් වේලා සිතමින්) ගොඩක් ඉන්නවනේ. හැබැයි මම හිතන්නේ රිතික් රෝෂන් කියන්නේ විශිෂ්ට නළුවෙක්. වැඩි චිත්‍රපට සංඛ්‍යාවක් රඟපාලා නැති බව ඇත්ත. ඒත් රඟපාපු චිත්රපටවලදි වෙනස්ම චරිත රඟපෑවා. ඒ හැම චරිතයකටම සාධාරණයක් ඉෂ්ට කළා. අනික සුපිරි නර්තන ශිල්පියෙක්. ඒ නැටිල්ල කාත් එක්කවත් සංසන්දනය කරන්න බෑ. රිතික්ගේ මූණෙන් හැඟීම් ප්‍රකාශය වෙන ආකාරයත්, වෙනස්වෙන ආකාරයත් අති විශිෂ්ටයි. කාටවත් පරාද වෙන්නේ නෑ. හොඳටම අදාළ හැඟීම මූණට ගේනවා. ඊට අමතරව සයිෆ් අලී ඛාන් හොඳ නළුවෙක්. ආක්ෂේ කුමාර් දක්ෂ නළුවෙක්. හැබැයි ඔහු ස්වාභාවිකත්වයට මුල්තැන දෙන නළුවෙක්. රවුඩි රාතෝර්ටත් මම කැමතියි. විද්‍යා බාලන් සහ දීපිකා පදුකෝන් කියන්නෙත් මම කැමති බොලිවුඩ් නිළි දෙපළක්. දෙන්නටම මෑත කාලයේදි හොඳ යමක් කරන්න ලැබුණා. මොකද හාස්‍ය චිත්‍රපටවල වගේම ක්‍රියාදාම චිත්‍රපටවලත් රඟපාන්න මේ දෙන්නටම අවස්ථාව ලැබුණා. හොලිවුඩ්වලින් නම් මම කැමැතිම නළුවා පෝල් වෝකර්. එයාට හුඟක් ආසයි.
මම එක සැරයක් කිව්වේ. කරීනා කපූර් තමයි. එයා හරිම ලස්සනයි. එයාට මම හුඟක් කැමතියි. දැක්කමත් පිස්සු වගෙයි. එයාගේ හැම චිත්‍රපටයක්ම මම බලන්නේ මේ හින්දයි. මෙගන් ෆොක්ස් සහ බ්ලේක් ලිව්ලිට තමයි මම හොලිවුඩ් නිළියන්ගෙන් වැඩියෙන්ම කැමති. ඒ දෙන්න දැක්කම හිත ඇදිලා යනවා.
චිත්‍රපට තරමටම මම සංගීතයට කැමතියි. ඒත් මම ඉන්න ස්වභාවය මත මම අහන සංගීතය වෙනස් වෙනවා. ඒත් සාමාන්‍යයෙන් මම අහන්නේ හිප්පොප්, රැප් වගේ ගීත. මම ඩ්රේක්ගේ ගීතවලට හුඟක් කැමතියි. ඇත්තම කිව්වොත් එයාගේ ඔක්කොම ගීතවලට මම කැමතියි. හැබැයි මේ දවස්වල නම් මම ආශිකී 2 චිත්‍රපටයේ ගීතවලට ඇබ්බැහිවෙලා ඉන්නේ. අපි කොදෙව් සංචාරයට ගිය වෙලේ මට අහන්න ලැබුණා ක්‍රිස් ගේල්ගේ ගීත ලැයිස්තුව. පුදුම හිතෙනවා ඒ සංගීතය. විස්මයජනක නාද මාලාවල් තමයි ඒ රටේ හැදෙන්නේ. මට එහෙදි ස්ක්රිප්ට්ගේ 'Hall of the Fame' , ෂෝන් පෝල්ගේ 'She Doesn’t mind' ගීතය අහන්න ලැබුණා. හිතාගන්නවත් බෑ ඒ රටේ සංගීතය ගැන.
-
කැමතිම චිත්‍රපට අධ්යක්ෂවරයා
මම කලින් කිව්වා වගේ මම හුඟක් කැමති හාස්‍ය චිත්‍රපටවලට. ඒ නිසා ඩේවිඩ් ධවාන්, ප්‍රියදර්ශන් වගේ චිත්‍රපට අධ්‍යක්ෂවරුන්ට හුඟක්ම කැමතියි. ඔවුන්ට පුළුවන් ප්‍රේක්ෂකයන් හිනාවෙන් සන්තෝෂ කරන්න. අපි මොන විදිහකට සිනමා ශාලාවට ආවත්, ඔවුන් ඔබව හිනාගස්සනවාමයි. එතැනයි ඔවුන්ගේ දක්ෂතාවය තියෙන්නේ. මම වුණත් ඉම්තියාස් අලීගේ ප්‍රබල රසිකයෙක්. ඔහුගේ චිත්‍රපට හුඟක් ආදරණීයයි. හැබැයි ඒවා විශිෂ්ට නිර්මාණ. ජේම්ස් කැමරන් වුණත් එහෙමයි. ඔහුත් අති විශිෂ්ට ගණයේ චිත්‍රපට අධ්‍යෂවරයෙක්.
මම දන්නෙ නැහැ මම ආදරණීය චරිතයක්ද නැද්ද කියලා. ඒක උත්තර දෙන්න අමාරු ප්‍රශ්නයක්. ඒත් මම රොමෑන්ටික් චිත්‍රපට බලන්න නම් හුඟක් කැමතියි. වීර් - සාරා තමයි මම බලපු ආදරණීයම චිත්‍රපටය. ඒ චිත්‍රපටයේ තියෙන 'තේරේ ලියේ' ගීතය මට කවදාවත් අමතක වෙන්නෙ නැහැ. මට පෙම්වතියක් හිටියා. ඒ ඉස්කෝලෙ කාලෙ. ඒත් කවදාවත් එයත් එක්ක එකම සිනමා ශාලාවක චිත්‍රපටයක් බලන්න මට අවස්ථාවක් ලැබුණෙ නැහැ. කොහොම වුණත් අද මම තනිකඩයෙක්. මම අදත් කැමතියි මගේ පෙම්වතියත් එක්ක 'දිල්වාලේ දුල්හානියා ලේ ජායෙන්ගේ' චිත්‍රපටය බලන්න.
මාලන් ගෝවින්ද