ශ්‍රී ලංකාව ජාත්‍යන්තරයට ගෙනයමින් ශ්‍රී ලාංකේය පසුතලයේ රූගතකිරීම් සිදුවී පසුගිය මස අතිශය සාර්ථක ප්‍රේක්ෂක ප්‍රතිචාර මත නිමාවට පත් වූ 'The GoodKarma Hospital' බ්‍රිතාන්‍ය රූපවාහිනී කතාමාලාවේ කලා අධ්යක්ෂවරයා ලෙස කටයුතු කළේ ලාංකේය නාමය ජාත්‍යන්තර තලයට රැගෙන ගිය විශිෂ්ට කලා අධ්යක්ෂවරයකු වන එරල් කෙලීය.
හොලිවුඩ් චිත්‍රපට අධ්යක්ෂ ස්ටීවන් ස්පීල්බර්ග්, බොලිවුඩ් චිත්‍රපට අධ්යක්ෂ අනුරාග් කාශ්‍යප්,ඉන්දීය චිත්‍රපට අධ්‍යක්ෂිකා දීපා මෙහ්තා වැනි දැවැන්තයන්ගේ චිත්‍රපට සමග ජාත්‍යන්තර සිනමාවේ කටයුතු කළ කලා අධ්‍යක්ෂවරයෙකු වන ඔහු චිත්‍රපට සැලසුම්කරණ ශිල්පියෙකු ලෙසද කටයුතු කළ නිර්මාණකරුවෙකි. එම චිත්‍රපට අතර Jungle Book, Mother Theresa, Fifty Fiftyකැපී පෙනේ. එබැවින් Indiana Jones, Bombay Velvet, Midnight Children, Water ආදී බොලිවුඩ්, හොලිවුඩ් චිත්‍රපට ගණනාවක කලා අධ්යක්ෂවරයා ලෙස කටයුතු කළ ඔහු සමගින් කෙටි කතාබහක යෙදීමට අපි අදහස් කළෙමු.
'The Good Karma Hospital'රූපවාහිනී කතා මාලාවට මම සම්බන්ධ වුණේ කලා අධ්යක්ෂවරයා වශයෙන්.මොකද ඊට නිෂ්පාදන සැලසුම්කරණ ශිල්පියෙක් බ්‍රිතාන්‍යයෙන්ම පැමිණියා. ඒ හින්දා අපි දෙන්නට තිබුණු ප්‍රධාන අභියෝගය තමයි මීට අදාළ පසුතලය කේරළ බව ප්‍රේක්ෂකයන්ට ඔප්පු කිරීම. මොකද මේ කතාව එවැනි පසුබිමකයි ගෙතෙන්නේ. බස්, ත්‍රීවිල් ආදියේ සිට සියලු දේම අපට ඒ හින්දා වෙනස් කරන්න වුණා.ඒ හින්දා දළ චිත්‍ර සැලසුම්කරණය(Story Board) ඔස්සේ තමයි මෙහි දළ සැකැස්ම සැලසුම් කළේ* එරල් කතාව ඇරඹුවේය.
Q දීර්ඝ කාලයක් පුරා කලා අධ්‍යක්ෂණයේ යෙදුණු ඔබට කලා අධ්යක්ෂණ විෂය ක්ෂේත්රය පිළිබඳ යම් නිර්වචනයක් ඇති ?
පළමුව තිර රචනය හොඳින් වටහාගත යුතුයි.ඉන්පස්සේ තමයි චිත්‍රපටයට අදාළ දර්ශන තලචිත්ත රූප වශයෙන් තමන්ගේ හිතේ මවාගත යුත්තේ.ඒ අනුවයි කලා අධ්යක්ෂවරයා තමන්ගේ කාර්යයට ප්‍රවේශ විය යුත්තේ.එහිදී අපට අධ්යක්ෂවරයා ලබාදෙන ඉතා වැදගත්.ඔහු/ඇය තමයි පූර්ව නිෂ්පාදන අවධියේදී කලා අධ්යක්ෂවරයාගේ සැලසුම්වලට සිනමාත්මක හැඩයක් නිසි පරිදි ලබා දෙන්නේ.
Q බොලිවුඩ්,හොලිවුඩ් චිත්‍රපට අධ්යක්ෂවරුන් සමගින් වැඩ කළ ඔබට එවැනි සිනමාපටවල කලා අධ්‍යක්ෂණය පිළිබඳ අත්දැකීම් ඇති?
ඔවුන් එක්ක කටයුතු කිරීම ඉතා පහසුයි. ඔවුන් සැලසුම්සහගතව තමයි චිත්‍රපට කෘතියට පිවිසෙන්නේ. එතැනදී ඔවුන්ට නිෂ්පාදකයන් වශයෙන් දළ චිත්‍ර සැලසුම්කරණය ඉතා වැදගත්. ඒ අනුවයි ඔවුන් දෘශ්‍ය රූපවල සැකිල්ලක් පූර්ව නිෂ්පාදන අවධියේදීම සකසාගන්නේ. අධ්යක්ෂවරුන්ටත් කලා අධ්යක්ෂවරයා කළ යුතු කාර්යය පිළිබඳ හොඳ අවබෝධයක් තියෙනවා. ඒ නිසා හොඳ ආත්ම විශ්වාසයකින් අපට වැඩ කරන්න පුළුවන්.
Q එහෙනම් අමතක නොවන සිදුවීම් පවා මතක ඇති?
මට එක් වතාවක් 'RoboWorriors' චිත්‍රපටයෙදි මට සිද්ධවුණා අඩි 65ක රොබෝ කෙනෙක් නිර්මාණය කරන්න. එහෙමයි නිෂ්පාදනයේ එය ලියවිලා තිබුණේ. එහි නිෂ්පාදන සැලසුම්කරණ ශිල්පියා මම. ඒත් එතරම් විශාල රොබෝ කෙනෙක් එතෙක් කවුරුවත් ලෝකයේ නිර්මාණය කරලා තිබුණේ නැහැ. මම තමයි මුලින්ම එය නිර්මාණය කළේ. ඒ නිසා ඒ චිත්‍රපටය නම් මට කවදාවත් අමතක වෙන්නේ නැහැ.
Q වෘත්තීයමය වශයෙන් ගත්තම කලා අධ්යක්ෂවරයාට වර්ණය යන්න ඉතා වැදගත්?
අනිවාර්යයෙන්ම. විශේෂයෙන්ම පසුතල නිර්මාණය සමග සමබර කළ යුතු වර්ණ පිළිබඳ දක්වන අවධානය ඉතා වැදගත්. මොකද එහිදී රංග වස්ත්‍රවල ස්වරූපය සහ වර්ණය ගැන දක්වන අවධානය ඉතා වැදගත්. එතැනදි සෙසු අනුශාංගික කොටස්වල වර්ණය ගැනත් අපි පූර්ණ අවධානයක් යොමුකළ යුතුමයි.
ඒ අනුවයි වර්ණය සමබර කළ යුතුයි. ඒ නිසයි කලා අධ්යක්ෂවරයා විසින් තිර කතාව හොඳින්ම තේරුම්ගත යුත්තේ. උදාහරණයකට 'Indiana Jones' චිත්‍රපටය ගත්තොත් එහි කතාව ගොඩනැගෙන්නේ ඉතා වියළි පරිසරයක. ගම්මානයක දුක්බර කතාවක් තමයි එහි තියෙන්නේ. ඒ නිසා වර්ණයත් ඒ පසුබිමට අනුව සංවේදී කළ යුතුයි. එහෙම නැතුව එතැනදි අපි හැමවිටම දීප්තිමත් වර්ණ භාවිත කළා නම් එය කතාවට නොගැළපෙන්න තිබුණා. ඒ නිසා කතාවට ගැළපෙන හැඩය වගේම වර්ණය ගැනත් දක්වන සැලකිල්ල ඉතා වැදගත්.
Q ඒත් වර්ණය පිළිබඳ තීරණය කිරීමත් අධ්යක්ෂවරයාගේ කාර්යයක් බවයි බොහෝ දෙනෙක් හිතන් ඉන්නේ?
මං හිතන්නේ එය කලා අධ්යක්ෂවරයා සහ නිෂ්පාදන සැලසුම්කරණ ශිල්පියාට බාරදිය යුතු කටයුත්තක්.මොකද ඔවුන් තමයි මෙහි පසුතලය, රංග වස්ත්‍ර,රංග භාණ්ඩ, වේශ නිරූපණය ආදියට අයත් වර්ණය මනාව ගොඩනගන්නේ.
Q ඒත් ඔබට බොලිවුඩ්,හොලිවුඩ් වගේම නිදහස් චිත්‍රපට ශානරයේ සිනමා ව්‍යාපෘති සඳහාත් දායකවෙන්නට ලැබෙනවා.එය කලා අධ්යක්ෂවරයකුට ලැබෙන වෙනස්ම භූමිකාවක්?
ඔව්. උදාහරණයකට දීපා මෙහ්තාගේ Water චිත්‍රපටයේදී අපි භාවිතකළේ නිල් පැහැය මුසු සුදු පැහැයක්. එය අපි අපි පූර්ව නිෂ්පාදන අවධියේදී ගත් සාකච්ඡාවකට බඳුන් කරලා ගත්තු තීරණයක්. මොකද එය තමයි අදාළ කතා තේමාවත් සමග සමපාත වන වර්ණය. ඒ නිසා එතැනදි අපි වැඩිය දීප්තිමත් වර්ණ භාවිත කළේ නැහැ.
Q වෘත්තීයමය කලා අධ්‍යක්ෂවරයෙකු කියන්නේ සමාජය පිළිබඳ පුළුල් දර්ශනයක් ඇති කෙනෙක් විය යුතුයි. එහෙම නේද ?
අනිවාර්යයෙන්ම. උදාහරණයකට 'Water' චිත්‍රපට කරද්දී නිෂ්පාදකවරුන් මාව වරාණාසි(බරණැස) යැව්වා. මම එහිදී මේ තිර කතාවට අදාළ පසුබිම ගවේෂණය කළා. පොත්පත් පවා පරිශීලනය කළා. ඒ හින්දා එම පර්යේෂණයෙන් පසුවයි මම චිත්‍රපටයට අදාළ හැඩතලය පැහැදිලිව ගොඩනගාගත්තේ.ඒ නිසා එවැනි ගවේෂණයකින් තමයි ඔහුට/ඇයට සාර්ථක දායකත්වයක් නිර්මාණයට ලබාදිය හැකි වෙන්නේ. ඒ නිසයි හොඳ සමාජ කියවීමක් අවශ්‍ය කෙරෙන්නේ. ඒ අනුවයි අදාළ සමාජ හැඩතල,වර්ණ ඔහු අතින් සංකලනය වෙන්නේ.
ඡායාරූප - ක්‍රිෂාන් රණසිංහ