එංගලන්තයේ රාජකීය ඔපෙරා ශාලාවේ නැගු හඬ ශ්‍රී ලංකාවේද අවදි කරන්නට ඇය යළිත් ඈ උගත් පාසල් බිමටම ආවාය. විශාඛා විද්‍යාලය ජෙරේමියස් දියෙස් ප්‍රධාන ශාලාවේදී 'Kishani Sings For VISAKNA'නමින් පසුගියදා ප්‍රසංගය පැවැත්වූ කිෂානි ජයසිංහ ඇගේ ඔපෙරා ගායන ජීවිතයත් ' Kishani Sings For VISAKNA' පිළිබඳවත් මෙසේ හඬ අවදි කළාය.
-
සංගීත ජීවිතයේ ආරම්භය කොතැනද ?
කවදාවත් වෘත්තීය සංගීතඥයෙක් වෙන්න හිතුව කෙනෙක් නෙමෙයි. හැමදාම සිංදු කියන්න පුළුවන්කම තිබුණා. පාසල් යද්දි නම් ඒ ගැන ඒ තරම් අවබෝධයක් නොතිබුණාට ඔපෙරාවලට ගොඩක් සමීපයි කියල පස්සෙ තේරුණා. පාසල් කාලයෙන් පස්සෙ නීතිය ඉගෙන ගන්න එක්සත් රාජධානියේ නොටිංහැම් විශ්වවිද්‍යාලයට ගියා. එහිදී විශේෂවේදී, ශාස්ත්‍රපති ආදී සියලු දේ සම්පූර්ණ කළා. අහම්බෙන් එංගලන්තයේදී මේ සංගීත ක්ෂේත්රයේ හුඟක් ප්‍රසිද්ධ ගුරුතුමියක් මට මුණ ගැසුණා. එයා තමයි මට කිව්වෙ ඔයාට තියෙන හැකියාව නිසා උත්සාහ කරලා බලන්න කියල. මම හා කිව්වට ඒ තරම්ම හිතට ගත්තෙ නෑ. සැහැල්ලුවෙන් තමයි හිතුවෙ.
ඇත්තටම පුහුණුවීම් කරන්න ගත්තෙන් සුළුවෙනුයි. එහිදී අවස්ථාවක් ලැබුණ Royal Academy of Music (RAM) හි ඔපෙරා ඉගෙන ගන්න. එංගලන්තෙ තියන පරණම මධ්‍යස්ථානයක් විදිහට මෙතන හඳුන්වන්න පුළුවන්. අම්මලගෙනුත් අවසර අරන් මං එතනට ගියත්, මෙය වෘත්තියක් විදිහට කරන්න අපේක්ෂාවක් මට ඒ වෙද්දිවත් ඇතිවෙලා තිබුණෙ නෑ. ඒක ඉවර වුණාට පස්සෙ මට Royal Opera House එකේ අවුරුද්දකට සැරයක් තියෙන තෝරාගැනීමකට යන්න අවස්ථාව ලැබුණා. ලෝකෙ පුරාම ඉන්න අය එවන ඉල්ලුම්පත් අතරින් ගිය වර්ෂයේ තෝරා ගත්තේ හතරදෙනයි. එතැනිනුත් කාන්තා නියෝජනය වෙනුවෙන් එක් අවස්ථාවක් පමණයි ඉතිරිව තිබුණේ. දහස් ගාණක් අතරින් මට ඒ තැන හිමිවුණා. මට ඒක කරන්න පුළුවන් කියන හැඟීම ඇතිවුණේ එදයි.
-
ඔබ බකිංහැම් මාලිගාවෙත් ගායනා කළා?
ඔව්. චාල්ස් කුමාරයාගේ 60 වන උපන් දිනයට ගායනා ඉදිරිපත් කරන්න ඒ අය තරුණ Soprano කෙනෙක් බලාපොරොත්තු වුණා. තෝරාගැනීම් වලින් පස්සෙ මට ඒ ආරාධනාව ලැබුණා. ඒක වෙනම ලෝකයක්. එතැනට ආව අයත් එංගලන්තයේ, මහා බ්‍රිතාන්‍යයේ, යුරෝපා රටවල ගොඩක් රාජකීය පවුල්වල අයයි. ඒක හිතන්නවත් මවාගන්නවත් බැරි තරම් සුන්දර අවස්ථාවක්.
-
ඔබට ලැබුණු ප්‍රසංගවල සුන්දරම මතක සටහන් මොනවාද?
එහෙම විශේෂයක් නම් නෑ. මොකද මම කරන සෑම ප්‍රසංගයක්ම වෙනුවෙන් මම මගේ උපරිම කැපවීම යොදවනවා. ආසාවත් එක්ක තමයි මම මගේ රැකියාව කරන්නේ. පුහුණුවෙද්දි කටහඬ විතරක් හදලා බෑ. ශරීර ශක්තියත් වැදගත්. මොකද දර්ශනයක් පැය 3ක්, 3 ½, ක් විතර තියෙනවා. ලොකු, පරණතාලේ ඇඳුම් හදන්න ඕන. අන්තිමට දකින නිෂ්පාදනය බොහොම සුන්දර එකක් වුණාට ගන්න ඕන මහන්සිය ඉතාමත් වැඩියි. මම ගායනා කරන්නේ මයික්‍රෆෝන භාවිත නොකර නිසා ගොඩක්ම පුහුණුවීම් කරන්න සිද්ධ වෙනවා.
චාල්ස් කුමාරයට සිංදු කිවුව එක මගේ ජීවිතේ වැදගත්ම අවස්ථාවක්. ඒ වගේම Royal Opera House එකේ පළවෙනියටම සිංදු කියපු දවසත් මට විශේෂයි. ඒ වේදිකාවට සිංදු කියන්න නගින්නේ මේ ක්ෂේත්රයේ ගොඩක් ප්‍රවීණ අය නිසා එතැන හිටගත්තම ඒ අයගේ බලයත් එක්ක ලැබෙනවා වගේ දැනෙනවා. ඒක වෙනමම විදිහක්. ආයෙමත් වතාවක් පොදුරාජ්‍ය මණ්ඩලීය සමුළුව මෝල්ටාවල තියෙද්දි මහා බ්‍රිතාන්‍යයේ II එළිසබෙත් රැජිනට සිංදු කිවුවා. ඒකත් අමතක වෙන්නෙ නෑ. රැජින අපට හමුවෙනවා අඩුයි. අනික ලංකාවේ කෙල්ලක් විදිහට ඒ අවස්ථාව ඉතාම වටිනවා. එංගලන්තයේ යුරෝපයේ, ස්පාඤ්ඤයේ, ඉතාලියේ වගේ රටවල ගොඩක් ප්‍රසිද්ධ තරග රැසක් මම ජයග්‍රහණය කළා. ඒවායේ සිංදු කිව්ව එකත් විශේෂයි. Opera ඉතාලියෙන් ආව එකක්. ඉතාලියේ ඉතාලි භාෂාවෙන් කරන එක ලොකු අත්දැකීමක්. ඒවා කරද්දි මම ඉතාලි භාෂාව වෙනමම ඉගෙන ගනිමිනුයි ප්‍රසංග කරන්න යන්නේ.
විශාකා විද්‍යාලයේ තිබුණ ප්‍රසංගය තරම් සංවේදී අවස්ථාවක මම කවදාවත් සිංදු කියලා නෑ. ඒ මගේ පාසල කියන හැඟීම මගේ තුළම තව තවත් දැනුණා. ලංකාවේ අපේ ක්ෂේත්රය එතරම් ජනප්‍රිය නෑ. මම ලංකාවේ ප්‍රසංගයක් කරන්නෙත් අවුරුදු දෙකකට හෝ තුනකට වතාවකුයි. පසුගිය ජනවාරියේ ලංකාවේ සිංදු කියලා පස්සෙ, විශාකා ආදි ශිෂ්‍ය සංගමයෙන්ම ආරාධනා කළා පාසල වෙනුවෙන් ප්‍රසංගයක් කරන්න කියලා. ඒක ඉතාමත් සතුටක්. අවුරුදු 13ක් මම හිටිය තැන. වෙන රඟහලක නොකර මොන අපහසුතා මැද වුණත් පාසලේ ප්‍රධාන ශාලාවම තෝරාගත්තේ මගේ කැමැත්තෙන්මයි. OGA එකෙන් උපරිම සහයෝගයක් දුන්නා. හරිම වෙනස් විදිහට පාසලේ මේ ප්‍රසංගය කරන්න මට ඕන උනා. හැමදේම ලස්සනයි. 850 ක් ප්‍රසංගයට ආවා. ඒ කිසිම කෙනෙක් ඉවර වෙනකම්ම වචනයක්වත් කතා කළේ නෑ. මගේ හිතට මේ ප්‍රසංගය හුඟක්ම දැනුණා. ඒ මේ ලංකාව ඒ වගේම මගේ පාසල. නිදහස් අධ්‍යාපනයෙන් උසස්ම මට්ටමේ අධ්‍යාපනයක් ලබාදුන්නා මගේ පාසලට ඒ දේ කරද්දි ලොකු හැඟීමක් දැනුණා.
ඔව්. මේ ක්ෂේත්රය රැදිලා තියෙන්නේ යුරෝපයේ. මට එහෙ තමයි ගොඩක් ප්‍රසංග තියෙන්නේ. මගේ සැමියා ඉන්නෙ සිංගප්පුරුවේ. ඉතින් ඒ හැම තැනටම මට යන්න වෙනවා. මගේ දුවට වයස අවුරුද්දයි. පුතාට අවුරුදු තුනයි. ඒ දෙන්නගේ වැඩ කරන්නත් ඕනෙ. මගේ වැඩට හුඟක් රටින් රටට යන්න වෙනවා. සිංගප්පූරුවට ගිහින් එතැනින් එංගලන්තෙට යනවා. කොන්ත්‍රාත් වැඩ නිසා මට තැනින් තැනට යන්න වෙනවා. දරුවොත් පොඩි නිසා ඒ අයව මගේ ගාව හරි, සැමියා ගාව හරි නැතිව වුණොත් අපි දෙන්නගේ අම්මලා තාත්තලා ගාව හරි තියල තමයි යන්නේ. ඉදිරියේදී ලංකාව කේන්ද්‍ර කරගෙන තමයි වැඩ සැලසුම් කරන්න හිතුවෙ.
-
ඔබේ පාසල් ජීවිතේ ගැනත් කිවුවොත්?
පාසල් කාලේ හරිම සැහැල්ලුවෙන් ගත කළේ. 1996 මම කොළඹ විශාකා විද්‍යාලයේ ප්‍රධාන ශිෂ්‍ය නායිකාව වුණා. ඒ වගේම කණිෂ්ඨ අංශයේදී වගේම ජ්‍යෙෂ්ඨ අංශයේදීත් මම පාසලේ සෑම අතින්ම හොඳම විශාකාවට හිමි සම්මාන හිමි කරගත්තා. උසස් පෙළ හැදෑරුවේ ජීව විද්‍යා විෂයන් වලින්. ඒත් බාහිර වැඩත් හැමදේම කළා. විවාද කණ්ඩායම් නායිකාව විදිහට ජාතික මට්ටමේ සම්මාන ගත්තා. ටෙනිස් කණ්ඩායමේ නායිකාව හැටියට හිටියා. නර්තන අංශයෙන්, සංගීත අංශයෙන් ජාතික මට්ටම් රන් පදක්කම් හිමි කරගත්තා. ඔරු පැදීමේ තරගවලින් විශාකා විද්‍යාලයේ පළමු වර්ණලාභිණිය වෙන්නත්, අවුරුදු තුනක් ජාතික ඔරු පැදීමේ ශූරිය වෙන්නත් හැකි වුණා. විද්‍යා සංගමය, බෞද්ධ සංගමය, ඉංග්‍රීසි සාහිත්‍ය සංගමය වගේ සංගම් ගොඩක වැඩ කළා. උසස් පෙළට සති තුනකට විතර කලින් ඔරු පැදීම් වලින් පැරා ඔලිම්පික් යන්න මම තේරුණා. හුඟක් දෙනා ඒකට හිනා වුණත්, අම්මාත්, තාත්තාත්, ඒ වෙද්දි විදුහල්පතිනිය ලෙස හිටිය එදිස්සූරිය මැතිණියත් සහය දුන්නා. ඒ ගිහින් ඇවිත් උසස් පෙළත් කළා. විශ්වවිද්‍යාලයටත් තේරුණා. අම්මා, තාත්තා පුංචි කාලෙ ඉඳන්ම කිව්වේ විශාකා විද්‍යාලය වගේ තැනකින් අධ්‍යාපනය කොහොටමත් ලැබෙන නිසා පාසලේ කරන්න තියෙන බාහිර වැඩ ඕනම දෙයකට සහභාගී වෙන්න, හැම අතින්ම පරිපූර්ණ කෙනෙක වෙන්න කියලයි.