මියුසික් වීඩියෝ සඳහා දායක වීමෙන් සහ වෙළෙඳ දැන්වීම් හරහා මේ වනවිට ඇයව බොහෝ දෙනා දැන හැඳිනගෙන ඇති අතර, ඇය 'ප්‍රවේගය' චිත්‍රපටය තුළින් රසික ආදරය දිනාගත් උදාරි පෙරේරාගේ නැඟණියද වේ. ශෙහානි පෙරේරා යනු ක්ෂේත්රයට නවකයෙකු වුවද, ඇය මේ වනවිට සිනමා නිළියක වී හමාරය. ඇයගේ සිනමා දිවිය පිළිබඳ කතාබහ කිරීමට 'අද' සමග මෙලෙස එක්විය.
Q මේ දිනවල වැඩකටයුතු මොනවාද?
මේ දිනවල අලුත් චිත්‍රපටයකට සම්බන්ධ වෙලා ඉන්නවා. 'ඊතලය' තමයි නම. මම එහි ප්‍රධාන චරිතයට රංගනයෙන් දායක වෙනවා.
Q මේ ඔබ දායක වන කීවැනි චිත්‍රපටයද?
දෙවැනි චිත්‍රපටය.
Q පළමු වැනි සිනමා පටය ගැනත් කතා කළොත්?
හර්ෂ උඩකන්දගේ 'ෆේස්ටු ෆේස්' සිනමා නිර්මාණයට තමයි මුලින්ම දායක වුණේ. අනුජ රණසිංහ තමයි මාව මේ සඳහා හඳුන්වා දුන්නෙ. එහි මාධ්‍යවේදිනියකගේ චරිතයකට තමයි මම දායක වුණේ.
Q ක්ෂේත්රයට එකතු වෙන්නෙ කොහොමද?
මම පොඩිකාලේ වෙළෙඳ දැන්වීම් සඳහා දායක වුණා. අම්ම තමයි ඒ සඳහා රැගෙන ගියේ. ඊට පස්සේ පාසලේ වැඩකටයුතුත් එක්ක ඒ කටයුතු කරගන්න බැරි වුණා. ආයෙ නැවත මම ක්ෂේත්රයට එන්නෙ මියුසික් වීඩියෝවකින්. ඒ ශාන් අයියාගේ සිංදුවකින්. නමුත් මාව ගොඩක් අය හඳුනන්නෙ මගේ අක්කා නිසා.
ඊට පස්සේ මම යෂාන් අයියාගේ තව මියුසික් වීඩියෝ සඳහා දායක වුණා. ගොඩක් ජනප්‍රිය වුණ වීඩියෝවක් තමයි 'මලකුත් තිබුණා' මියුසික් වීඩියෝව. එය ගායනා කරන්නෙ උමාරා සිංහවංස සහ චිත්‍රාල් සෝමපාල. ඊට අමතරව මම ප්‍රඩක්ට් ෂූට් සඳහාත් දායක වුණා, ඒ 'jezza fashion', 'ideals exclusive' සහ 'jinendra clothing' සඳහායි.
Q ඉගෙන ගත් දෙයින් රැකියාවක් කරන්න බලාපොරොත්තුවක් නැද්ද?
'Cabin Crew' ඩිප්ලෝමා එකක් කළා. ඒ කාලයේ ශ්‍රී ලංකා ගුවන් සමාගමේ රැකියා අවස්ථා තිබුණෙ නැහැ. ඒ අවස්ථාව උදාවෙනකම් තමයි මේ දේවල් කරන්නෙ. රංගන කටයුතු දිගටම කරනවා. නමුත් මම වෘත්තීය ලෙස ගුවන් සේවිකාවක වෙන්න තමයි තවමත් කැමති.
Q පළමු චිත්‍රපටයේ ලබපු අත්දැකීම මොන වගේද?
ඒක මට ලොකු අත්දැකීමක්. මොකද මම ඒ වෙනකොට ටෙලි නාට්‍යයකවත් රඟපාලා තිබුණෙ නැහැ. චරිතයට සාධාරණයක් ඉෂ්ට කරන්න මට ලොකු අභියෝගයක් තිබුණා. මෙහි ප්‍රධාන චරිතයට රඟපෑ දිනෙත් ද සිල්වා මට ලොකු සහයෝගයක් දුන්නා. හර්ෂ අයියා, මහේෂ් අයියා ඇතුළු හැමෝම මට ලොකු සහයෝගයක් දුන්නා. ඒ හැමෝගෙම සහාය නිසා මම මගේ චරිතය සාර්ථකව කළා කියලා හිතනවා.
Q රංගනය පිළිබඳව ඔබ හැදෑරීමක් කරලා තියෙනවාද?
මම පළමු වැනි චිත්‍රපටය කරද්දි රංගනය පිළිබඳ හැදෑරීමක් කරලා තිබුණෙ නෑ. ඊට පස්සෙ මට තේරුණා මම යම් යම් තැන් හදාගන්න ඕන කියලා. මම අනෝජා වීරසිංහ මහත්මිය යටතේ ඒ පාඨමාලාව සම්පූර්ණ කරලා ඉන්නෙ. මහේන්ද්‍ර පෙරේරා මහත්මයාගේ පාඨමාලාව කරන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා.
Q තෝරා බේරාගෙනද මියුසික් වීඩියෝ කරන්නෙ?
ඔව්, උමාරියාගේ 'මලකුත් තිබුණා' ගීතයට පස්සෙ ගොඩක් ඒවට ආරාධනා ලැබුණා. නමුත් ඒ චරිත ගැළපෙන්නේ නැති නිසා මම ගියේ නැහැ.
Q ක්ෂේත්රයට එන්න අක්කාගේ මග පෙන්වීමකුත් තිබුණා නේද? මොකද ඒ ගැන හිතෙන්නෙ?
ඇත්තටම සතුටුයි. මගේ අක්කා තමයි මට මූලිකවම මේ සඳහා සහාය වෙන්නෙ. එයා තමයි මුලින්ම රංගනයට සම්බන්ධ වුණේ. මම පොඩි කාලේ ඉඳන් දකින දේවල් සහ එයාගේ නිර්මාණ හරහා තමයි මට ලොකු ආසාවක් ඇතිවෙන්නෙ. තවමත් අක්කාගෙන් ලොකු සහයෝගයක් ලැබෙනවා. ඒ ගැන සතුටුයි.
Q රංගනයට හෝ නිරූපණයට ආවේ නැත්නම් ඔබ අද මොනවගේ තැනක ඉඳීවිද?
එහෙනම් මම ගුවන් සේවිකාවක් වෙලා.
Q ඉදිරි බලාපොරොත්තු හා වැඩකටයුතු මොනවාද?
රංගනයෙන් ඉදිරියට යන්න බලාපොරොත්තු වෙනවා. ඒ වගේම ඒ පිළිබඳව ඉගෙනීම් කටයුතු කරනවා. ඒ වගේම කවදා හෝ ගුවන් සේවිකාවක වීමේ බලාපොරොත්තුවෙන් ඉන්නවා.
Q නිරූපණ ක්ෂේත්රය පිළිබඳව ඔබ දකින්නෙ මොන විදියටද?
එක එක අය දකින විදිය වෙනස්. සමහරු හොඳ කියනවා, සමහරු නරක කියනවා. අපි කට්ටිය එක්ක ගනුදෙනු කරන ආකාරය අනුව තමයි අපේ ප්‍රතිරූපය ගොඩ නැගෙන්නෙ. හොඳ නිර්මාණවලට දායක වුණොත් නරක ප්‍රතිරූපයක් ගොඩනැගෙන එකක් නෑ කියලා මම හිතනවා.
Q ක්ෂේත්රයේ නිරත පිරිස් කියන කතා නිසා ක්ෂේත්රය පිළිබඳ කලකිරීමක් නැද්ද?
කලකිරීමක් ඇතිවෙනවා. සමහර අයට ගොඩක් කටකතා හැදෙනවා. මට හැදෙන්නත් පුළුවන්. ඒ පිළිබඳව දුකක් තිබෙනවා. ප්‍රසිද්ධ චරිතයක් වුණාම ගොඩක් දෙනා බලාගෙන ඉන්නවා. අපි දැනගන්න ඕනෙ ගොඩක් පරිස්සම් වෙන්න.
Q මොන දේ කළත් අද ලංකාවේ ගොසිප් නිර්මාණය වෙනවා. මේ ගැන මොකද හිතෙන්නෙ?
මට නම් තවම එහෙම වෙලා නැති නිසා මම ඒ ගැන වැඩිය දන්නේ නැහැ.
Q ඔබට ක්ෂේත්රයට එන්න උදව් කරපු පිරිසක් ඉන්නවනේ. ඔවුන් ගැනත් මතක් කළොත්?
මගේ පවුලේ අය, අක්කා, පෙම්වතා මට ලොකු සහයෝගයක් දෙනවා. දිනෙත් අයියාත් මට ලොකු සහයෝගයක් දුන්නා. ඒ වගේම නාලක අයියාටත් ස්තුතිවන්ත වෙනවා.
ඡායාරූප - කවීත් මිලින්ද