ගීතය තුළින් සහෘද හදවත් කම්පනය කළ කපුගේ අපි අතරින් සමුගෙන ගොස් දොළොස් වසරක් ගතවුවද, ඔහුගේ ඒ කම්පන නාදය අපට කිසිදාක අමතක නොවනු ඇත.
කපුගේ ගායන ශිල්පියාගේ හැත්තෑවන ජන්ම දිනය සැමරීමට සූදානම් වන මේ වර්ෂයේ සහෘද ජනතාව වෙත ඔහුගේ නිර්මාණ රසවිඳීමට අවස්ථාවක් නොමිලේ ලබාදීමට කපුගේ පදනම තීරණය කර තිබේ.
කපුගේ කම්පන නාදයන් සවනට යොමු කරවන ප්රකම්පනයක ආරම්භය අද (11දා) සවස 6.00 ට බණ්ඩාරනායක අනුස්මරණ අන්තර්ජාතික සම්මන්ත්රණ ශාලාවේදී පැවැත්වීමට සියලු කටයුතු සූදානම් මොහොතේ ඒ පිළිබඳව විමසීමට ගුණදාස කපුගේ ශිල්පියාගේ ආදරණීය බිරිඳ මෙන්ම කපුගේ කලා පදනමේ උපසභාපති ප්‍රේමා කපුගේ මහත්මියව සම්බන්ධ කර ගතිමු.
%කපුගේට හැත්තෑවයි^ පිළිබඳව මුලින්ම පැහැදිලි කළොත්?
ගුණදාස කපුගේ මහතා අපේ රටේ ජීවමානව සිටින පුද්ගලයෙක් කියල තමයි අපි හිතන්නේ. ඒ නිසා තමයි කපුගේට හැත්තෑවයි කියලා අපි කියන්නේ. ඉතින් කපුගේ මහත්තයාගේ හැත්තෑවනි උපන්දිය සමරන්න තමයි අපි මේ සූදානම් වෙන්නේ.
ශබ්ද පරිපාලකවරයෙක් ලෙස ගුවන් විදුලියට පැමිණ තම ගමන ආරම්භ කරන කපුගේ මහතා සරල ගී වැඩසටහනින් %දෑස නිලුපුල් තෙමා^ කියන ගීතයෙන්ම රසිකයෝ අතරට ගියා.
ඒ නිසාම ඒ ගීතයෙන්ම මේ ප්‍රසංගයත් ආරම්භ කරන්න අපි අදහස් කළා.
මේ තරම් ප්‍රමාද වෙලා මෙවැනි කටයුත්තක් ආරම්භ කරන්න අදහස් කළේ ඇයි?
හැත්තෑව වෙනකම් අපි හිටියෙ නැහැ. කපුගේ වියෝ වුණේ 2003 දී. ඒ වර්ෂයේ පටන්ම අපි සැමරුම් කළා. කපුගේට හැටපහයි කියලා ඉතාම උත්කර්ෂවත් ප්‍රසංගයක් ටවර් හෝල් පදනම සමග එකතුවෙලා පැවැත්වූවා.
එතුමාගේ ජීවිත කාලය තුළ කපුගේට පනහයි, හැටයි කියල මේ වගේ ප්‍රසංග අපි පැවැත්වූවා
.
ප්‍රසංගයේ ගීතවත් වන පුද්ගලයන් මතක් කළොත්?
අද සවස 6.00 ට බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්රණ ශාලාවේදී ප්‍රසංගය පවත්වනවා. ඔහුගේ පුතු මිත්‍ර කපුගේ ගීත ගයනවා. මේ ප්‍රසංගය සම්පූර්ණයෙන්ම නොමිලේ පවත්වන්න අපි තීරණය කර තිබෙනවා.
ඒ වගේම එදිනම කපුගේ ගායකයාගේ ගීත ඇතුළත් සංයුක්ත තැටියක් සහ පොතක් අපි ලබාදෙන්නටත් සූදානම් කර තිබෙනවා.
ප්‍රසංගයේ ගී ගයන මිත්‍ර කපුගේ කියන්නේ සංගීතය පිළිබඳව පුළුල්ව හදාරා තිබෙන පුද්ගලයෙක්. ඔහුට අපි කපුගේ මහතාගේ ගීත ගයන්න එතරම් අවස්ථාවක් මීට පෙර ලබාදුන්නේ නැහැ.
මොකද කපුගේ කියන්නේ සංගීතඥයෙක් වගේම පුද්ගලයෙක් විය යුතුයි. මිත්‍ර කපුගේත් ඒ තැනට පැමිණෙනතුරුයි අප බලා සිටියේ.
දැන් ඔහු පූර්ණ සංගීතඥයෙක් බවට පත්වෙලා ඉන්නේ. ඒ නිසාම දැන් කපුගේගෙ සින්දු ඔහුගේ පුතා ගායනා කරන්නට අවශ්‍යයයි. ඒ වගේම මගේ දුවත් මේ ප්රසංගයේදී ගීත ගායනා කරනවා.
කපුගේ මහත්තයා සමග බොහෝ වෙලාවට යුග ගී ගායනා කළේ මාලනී බුලත්සිංහ මහත්මිය. ඒ වෙනුවට ඇගේ නැගණිය සන්ධ්‍ය බුලත්සිංහල මහත්මිය ගීත ගායනා කරනවා.
මෙම ප්‍රසංගයත් පියාගේ ගීත පුතා ගායනා කිරීමේ රැල්ලේම තවත් අංගයක් වේවිද?
නැහැ. ඔහු පියාගේ ගීත පමණක්ම ගායන කරන්නේ නැහැ. මේ ප්‍රසංගයේ අවසානයට ගායන කරන ගීතය ඔහුගේම නිර්මාණයක්. ටෙලි නාට්‍යවලට සංගීතය සපයලා හොඳම සංගීත අධ්යක්ෂවරයා වුණා නම් ගීතයට සංගීතය සපයලා ගායනා කරනවා කියන කාරණය මිත්‍ර කපුගේට පොඩි දෙයක්.
ඒ වගේම මිත්‍ර කපුගේට තාත්තාගේ ගීත වලින් මිදෙන්න බැහැ. ගුණදාස කපුගේ මහත්තයා හොඳට පොතපත පරිශීලනය කරලා ගීත තෝරගත්තු කෙනෙක්. ඔහු ආවට ගියාට ගීත ගායන කළේ නැහැ. ඒ නිසා මේ වෙලාවේ ඒ ගීත මිත්‍ර කපුගේට ගයන්නට වෙනවා. ඒ මොකද සමාජමය වගකීමක් ඒ තුළින් ඉටුවෙනවා.
මොකද්ද මේ ප්‍රකම්පනය කියා ඔබ හැඳින්වූයේ?
කපුගේ මහත්තයා ඊළඟට ආරම්භ කරන්න සූදානමින් සිටියේ %ප්‍රකම්පන^ ගියන ප්‍රසංගය. මේ ගීත නැවත ජනයා අතරට ගෙනියන්න නම් ගීත ගායනා කරමින්, කොටස් කරමින්, ප්‍රකම්පනය කරමින් ජනයා අතරට ගෙන යා යුතුයි.
මේ සඳහා ලංකාවේ ඕනෑම ප්‍ර‘දේශයකින් කැමැත්තක් දක්වන පුද්ගලයෝ සිටියි නම් අපි සූදානම් ඔවුන් සමග එකතුව ප්‍රසංග පවත්වන්න. ඇත්තටම ප්‍රකම්පන තුළින් අපි සිදුකරන්නට බලාපොරොත්තු වෙන්නේ කපුගේ මහත්තයාගේ ගීත ගායනා කරමින් මිත්‍ර කපුගේ ගීත නිර්මාණ එයට සම්බන්ධ කිරීමටයි.
ඒ කියන්නේ කපුගේ නාමය හරහා ජනප්‍රිය වීම නේද?
නැහැ. ඇත්තටම කියනවා නම් ඔහුගේ ගීත ජනප්‍රිය වීමට මිත්‍ර කපුගේ ගීත ගයන්නට අවශ්‍යයි කියන තැන මම ඉන්නවා.
ඒ මොකද ඔහු ගායන කළ ගීත සියල්ලම මිනිසුන් අතරට ගෙනයාමට සිටින එකම පුතා තමයි මිත්‍ර කපුගේ කියන්නේ.
ඒ නිසා තාත්තාගේ ගීත නොගැයුවානම් තමයි මිත්‍ර කපුගේ නරක වෙන්නේ. මොකද එහෙම නැත්නම් කොහොමද මිනිස්සු ඒ ගීත ගැන දැනගන්නේ.
වර්තමානයේ ගීත කලාව තුළ උදේට ඇහෙන ගීත හවසට නැහැ. අපේ රටේ සාහිත්‍යය ගොඩක් දියුණු වෙලා තිබුණා. ඉතාම ප්‍රවීණ පිරිසක් තමයි එදා ගීත ලිව්වේ. ඒ නිසා ඒ ගීත ගයන්නට වෙනවා. ඒ දේ තමයි අද සමාජයට දෙන්නට අවශ්‍ය. සරල කතන්දරයක් කියන ගීතවල සාහිත්‍යයක් තියෙනවද?
පියාගේ ගීත පුතා විසින් ගායන කරන විට ඔවුන් එම ගීතවලට සාධාරණය ඉටුකර තිබෙනවාද?
ඇත්තටම මර්වින් අයියා කියන්නේ හොඳට ගීත ගායන කරපු කෙනෙක්. වික්ටර් අයියා කියන්නේ හොඳට ගීත ගයමින් ඉන්න කෙනෙක්. ටී.එම්.ජයරත්න කියන්නේ හොඳට ගීත තෝරාගෙන ගයන කෙනෙක්. ඔවුන්ගේ ගීත පුතාලා ගායනා කරනවා. ඒක ඇත්තටම අපිට හරිම සතුටක්. හැබැයි ඒ ගීත ගයන අතරේ ඔවුන් ඔවුන්ගේ නිර්මාණ කළ යුතුයි. ඒ පුතාලට මම ආදරෙන් ඒ බව මතක් කරනවා.
කපුගේට හැත්තෑවයි ප්‍රසංගයේ ගීත තෝරාගත්තේ කෙසේද?
මම මුලිනුත් මතක් කළා මේ ප්‍රසංගයෙන් සිදුකරන්නේ කපුගේ මහත්මයා පිළිබඳ පූණ්යාලෝකනයක්. කපුගේ මහතා සිදුකළ සේවය ඇගයීමක් තමයි මේ ප්රසංගයේදී සිදුකරන්නේ. එයට අදාළ වන ගීත තමයි ප්‍රසංගයට තෝරාගන්නේ. ඒ වගේම සංයුක්ත තැටියට ඇතුළත් වෙන්නෙත් ඒ ගීත.
කපුගේ කලා පදනමේ ඉදිරි කටයුතු කෙසේවේවිද?
පදනමේ සභාපති කපිල සූරියආරච්චි මහත්මයා ඇතුළු සාමාජිකයන් පිරිසක් එකතු වෙලා කපුගේ මහත්මයා පරිහරණය කළ සියලු දේ එකතු කරලා කුඩා කෞතුකාගාරයක් කරන්න අපි බලාපොරොත්තු වෙනවා. ඒ පිළිබඳව උපකාර කරන්න කවුරු හෝ කැමතිනම් අපි සමග එකතු වෙන්න කියලා ඉල්ලා සිටිනවා.