වේදිකාව, සිනමාව හා ටෙලිනාට්‍ය යන මාධ්‍යවල සංගීත අධ්‍යක්ෂණය ඇතුළු සංගීත ක්ෂේත්රයේ සුවිශේෂී නිර්මාණ රැසක් බිහි කළ ප්‍රවීණ සංගීත අධ්යක්ෂ ආනන්ද ගමගේ සංගීත විෂය පිළිබඳ ගුරුවරයෙකු, ගුරු උපදේශකවරයෙකු, සහකාර අධ්‍යාපන අධ්‍යක්ෂවරයෙකු, විශ්වවිද්‍යාල බාහිර කථිකාචාර්යවරයෙකු ලෙසද සුවිශේෂී මෙහෙවරක් ඉටුකරමින් සිටියි.
ඔහුගේ කලා ජීවිතයට පනස් වසරක් සපිරීම නිමිත්තෙන් 'මියැසි මතක' ග්‍රන්ථය දොරට වැඩුම හා 'ආනන්ද හරසර ප්රණාම උලෙළ' හෙට (03දා) සවස 3.00ට මහවැලි කේන්ද්‍රයේදී පැවැත්වේ. මේ කතාබහ ඔහු සමගිනි.
Q පනස් වසරක කලා ජීවිතය දෙස නැවත හැරී බැලුවොත් ඒ ගමන්මග ඔබ දකින්නේ කොහොමද?
එහෙම ඇහුවාම අපේ කාලේ හොඳයි. දැන් හොඳ නෑ කියලානේ හැමදෙනෙක්ම කියන්නේ. එහෙම තමයි හිතෙන්නේ. ඒක කියන්නේ එක් හේතුවක් දෙකක් නිසා නෙමෙයි, හේතු ගොඩක් නිසා. එකක් 1977 දී බලයට පත්වූ ආණ්ඩුව කටයුතු කළ ආකාරය එක්ක තමයි මේ තත්ත්වය ඇතිවෙලා තියෙන්නෙ.
1977 සාහිත්‍ය විෂය පද්ධතිවලින් ඉවත් කළා. සංගීතය කප්පාදු කළා. බොහෝ දේවල් විෂය ධාරාව තුළින් ඉවත් කිරීමේ ප්‍රතිඵල තමයි අපි මේ භුක්ති විඳින්නෙ. කිසියම් රටක දේශපාලන ප්‍රතිපත්තිය කියන කඩදාසියේ අනෙක් පැත්තේ තියෙන්නෙ අධ්‍යාපන ප්‍රතිපත්තිය. එය ලෝක සම්මත ක්‍රමය. අද බොහෝ ක්ෂේත්රයන් පරිහානියට පත්වෙමින් තිබෙනවා.
ඒ නිසා මම පමණක් නොවෙයි පැරණි කලාකරුවන් බොහෝ දෙනෙකුට කරන්න සිදුව තිබෙන්නෙ පසුගිය දේවල් ලියා තැබීම පමණයි. වෙන කරන්න දෙයක් ඉතුරු වී නැහැ. මෙලෙස ලියා තැබුවත් ලියා තැබූ දෙය කියන්න පුළුවන් පරපුරක් අනාගතයේදී ඉඳියිද නැද්ද කියන කාරණාව මම දන්නේ නැහැ. එහෙත් මම එය සිදුකළා.
Q ඔබ සඳහන් කරන්නෙ 'මියැසි මතක' කියන ග්‍රන්ථය. ඒ ග්‍රන්ථයේ අන්තර්ගතය ගැන කතා කළොත්?
අපේ අධ්‍යාපන ක්ෂේත්රය තුළ සංගීතය පිළිබඳ නිවැරදි විෂය නිර්දේෂයක් ලැබුණේ නැහැ. ලයනල් එදිරිසිංහ කියන්නෙ ඉන්දියාවේ ගිහින් විශාරද විභාගය සමත් වූ පළමු වැනියා. ඔහු ලංකාවට පැමිණි පසු රජයේ සංගීත විද්‍යාලය නිර්මාණය කර විදුහල්පති බවට පත්වුණා.
මකුලොලුව මහත්තයා ඉන්දියාවේ ශාන්ති නිකේතනයේ සංගීතය කළා. ඔහුට අධ්‍යාපන අමාත්‍යාංශයේ තනතුරක් ලබාදුන්නා. මකුලොලුව මහත්තයා සිංහල ජන ගීවලට මූලිකත්වය දී කටයුතු කළා. ලයනල් එදිරිසිංහ ඉන්දියාවේ රාගවලින් එහාට කිසිදෙයක් නැහැ කියලා සඳහන් කළා.
මේ ඝට්ටනය නිසා තමයි අදත් පාසල් අධ්‍යාපන විෂය පද්ධතියේ ගැටලු නිර්මාණය වෙලා තියෙන්නෙ. සුනිල් ශාන්තලත් ශාන්ති නිකේතනයේ ඉගෙන ගත්තේ. ඔහු උපතින් කතෝලිකයෙක්. ඔහුට එහි අභාසයක් ලැබුණා. මම කියන්නෙ අපේ ජන ගී, වන්නම් ආශ්‍රය කරගෙන අපට ඉන්දියන් රාග සමීපයි. ඉන්දියාවේ හින්දු භාෂාවයි, අපේ සිංහල භාෂාවයි අතර ලොකු නොපෑහීමක් නැහැ.
ඒ ගීත අපි අතරත් තියෙනවා. ඒ නිසා හින්දුස්ථානී, රාගධාරී සංගීතය අපි ව්‍යාකරණ ලෙස ගමු කියන තැන මම ඉන්නෙ. අනෙක් කාරණය ඉන්දියානු රාග යනු ගී තනු නිර්මාණය කළ හැකි නොසිඳෙන උල්පතක්. ඒ ආශ්‍රය කරගෙන නිර්මාණය කර ගීත බොහෝ ප්‍රමාණයක් තිබෙනවා. ඒ නිසා ඉන්දියා රාග අපි අත්හැරිය යුතු නැහැ.
මේ දේවල් තේරුම් ගනිමින් විෂය නිර්දේශ නිර්මාණය විය යුතුයි. එවිට අනාගතයේ දක්ෂ සංගීතඥයන් බිහිවෙයි. පාසල් අධ්‍යාපනය පමණක් තිබෙන කෙනෙකු ව්‍යවහාරික සංගීතයේදී අසරණ වෙනවා. මගේ ග්‍රන්ථයේ මෙවැනි දේවල් ගැන සඳහන් වෙනවා. මතිමතාන්තර රැසක් මේ ග්‍රන්ථය තුළ අන්තර්ගතව තිබෙනවා.
Q සංගීත ගුරුවරයෙකු ලෙස තමයි ඔබ මුලින්ම මේ ක්ෂේත්රයට සම්බන්ධ වෙන්නෙ?
ඔව්. මම ගුරුවරයෙක් ලෙස පාසල් කිහිපයකම වැඩකළා. ගුරු වෘත්තියට සමගාමීව ගුවන්විදුලි වාදක මණ්ඩලයේ චෙලෝ වාදකයෙක් ලෙසත් වසර දොළහක් පමණ කටයුතු කළා. 1977 දී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් හලාවත ඡන්ද කොට්ඨාසයට වැඩ කළා කියලා මාව අනුරාධපුර තිස්ස මහා විද්‍යාලයට මාරු කරනු ලැබුවා.
පෙර ආණ්ඩුවෙන් සංගීතඥ සරත් දසනායක දේශපාලන පළිගැනීමකට ලක්ව සිටියා. ඔහු දඬුවමෙන් නිදහස්ව කොළඹ ආවා. මම එහෙට ගියා. ඒ කාලේ දේශපාලනයේ එහෙම දේවල් තිබුණෙ. ඒ කාලේ ගොඩක් හොඳයි. ඒ කාලයේදී තමයි මම සුනන්ද සිල්වා හඳුනා ගත්තෙ.
සුනන්ද සිල්වාගේ 'ජන නළු කැල' කියලා කණ්ඩායමක් තිබුණා. සුසිල් ගුණරත්නගේ 'නිර්මාණ සේනා' නමින් සංවිධානයක් තිබුණා. ඒ දෙපිරිසම නාට්‍යය එහෙම කළා. 1979 සිල්වලයින් රෙකෝඩ් බාර් එකෙන් සබිතා පෙරේරා, අනෝජා වීරසිංහ, විශාකා සිරිවර්ධන, මැණික් කුලසූරිය වගේ අය ගෙනැල්ලා රෙකෝඩින් කළා.
මැණික් කුලසූරිය ගීත හතරක් කළා. ඒ සීඩී තැටිය නම් කර තිබුණේ 'එන තුරා' යන නමින්. එය මම කළ මුල්ම රෙකෝඩින් එක. පසුව රෝහණ බැද්දගේ කැසට් පටයක් සිදුකළා. රූපවාහිනියේ ආරම්භක අවධියේ සිට ළමා අංශයේ වැඩසටහන්වලට සම්බන්ධ වෙන්න මට අවස්ථාව ලැබුණා. ශ්‍රීමතී ලියනගේ කියන නිෂ්පාදකවරිය නිසා තමයි ඒ කටයුතු සිදුවුණේ. 'හත්පණ' සංගීතය කරන්න ලැබුණා. සුදත් දේවප්‍රියගේ 'අඹ යාළුවෝ' නාට්‍යයට සංගීත දායකත්වය ලබාදෙන්න හැකියාව ලැබුණා.
පසුව ටෙලිනාට්‍යය 200කට ආසන්න සංඛ්‍යාවකට සංගීත දායකත්වය ලබාදෙන්න මට හැකියාව ලැබුණා. ප්‍රියන්ත කොළඹගේගේ 'දැහැන' චිත්‍රපටයට හා සුමිත් කුමාරගේ 'කුරුලු පිහාටු' යන චිත්‍රපට දෙකට සංගීතය සපයන්න මට හැකියාව ලැබුණා. මගේ සංගීත භාවිතය අඹ යාළුවන්ගෙන් පසු හරි ආකාරයෙන් තේරුම් ගත්තෙ තිස්ස අබේසේකර කියලා මට හිතෙන්නෙ. 'මල් පිපෙයි', 'දරුවන්නේ' ගීත යන ග්රන්ථ රචනා කළා. මෙවර ලියූ පොත 'මියැසි මතක' ලෙස නම්කර තිබෙන්නෙ. ගුරු වෘත්තියට සමගාමීව සංගීතඥයෙක් ලෙස ආ ගමන්මග තිබෙන්නෙ.
Q අද වනවිට එවැනි නිර්මාණ කළ හැකි වටපිටාවක් නැද්ද? ඇයි නිර්මාණ කරන්න ඒ තරම් යොමු නොවන්නේ?
නන්දා මාලනීගේ 'අරලිය ලන්දට', 'ගෙඩි සියයක් බිම හෙළුවත් අප්පච්චිට එක ගෙඩියයි', පුන්සිරි සොයිසාගේ 'එකම මගක පියවර මැන යන්නයි, ඒ ගීත කළා. දැන් සීඩීපට නිෂ්පාදනය වෙන්නෙ නැහැ. සීඩී කළත් පහුවෙනිදාට ඒ ගීත අන්තර්ජාලයේ තියෙනවා. අද සීඩී විකිණෙන්නෙ නැහැ. ඒ නිසා ගීත නිර්මාණය කරනවා අඩුයි. නව පරපුරේ බොහෝ දෙනෙක් 'රිගින්ටෝන්'වලට ගීත කරනවා. රූප රචනාවකුත් නිර්මාණය කරලා මුදල් ගෙවා නාළිකාවල ගීත ප්‍රචාරය කරනවා.
දැන් ගීත අහන්න මාධ්‍ය ගොඩක් තියෙනවා. මුදල් මතමයි රැඳී තිබෙන්නෙ. අපේ රටේ මේ යන සංගීත ගමන්මග වෙනස් කළ නොහැකියි. විකල්ප මාර්ග අපිම නිර්මාණය කරගෙන කටයුතු කිරීමට සිදුවෙනවා. 1948 සිට මේ දක්වා බලයට පත්වූ පාලකයන් බලයට සැලසුම් නිර්මාණය කළා මිසක් මේ වනතුරු නාට්‍යය, චිත්‍රපට සංස්කෘතියක් හැදෙන්න ඉඩදුන්නෙ නැහැ. කලා මණ්ඩල පැවතුණාට ඒ දේවල් සිදුවෙන්නෙ නැහැ.
Q එහෙම පවතින වාතාවරණයක ඔබ තවත් පරපුරකට මේ සංගීත දැනුම ලබා දෙනවා. ඒ පරපුර ගැන මොකද හිතෙන්නේ?
මම පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ව්‍යවහාරික සංගීතය පිළිබඳ බාහිර කථිකාචාර්යවරයෙකු ලෙස සේවය කරනවා. නාට්‍යය හා රංග කලා පාසලෙත් සේවය කරනවා. අද පරම්පරාව පෑන තියාගෙන සූදානම් පිට සිටින්නේ කියන දේ ලියාගන්න. කතාබහක්, සංවාදයක් නැහැ.
විශ්වවිද්‍යාලයට එනකම්ම කටපාඩම් කළ ශිෂ්‍යයන් ටිකක් ඉන්නේ. විෂය සමගාමී වෙනත් පොත්පත් කියවන පරපුරක් අද පාසල් පද්ධතිය තුළ නැහැ. ඒ අඩුව මම විශ්වවිද්‍යාල ශිෂ්‍යයන්ගෙන් දකිනවා. අන්තිමට බැලූ නවකතාව කුමක්ද, අන්තිමට බැලූ චිත්‍රපටය මොකක්ද? කියලා ඇහුවොත් උත්තර දෙන්න නැහැ. එහෙම සොයාබලා කියවන්න යොමුවෙන්නෙ නැහැ.
Q ඔබේ ඉදිරි සංගීත නිර්මාණ කටයුතු සිදුවෙන්නෙ කෙලෙසකද?
මම වචන නොමැති සංගීතාංග එක්කළ සංයුක්ත තැටියක් නිර්මාණය කරන්න බලාපොරොත්තු වෙනවා. එවැනි වාද්‍ය සංගීත ප්‍රකාර බිහිවුණේ නෑ. ඉන්දියාව වගේම ලංකාව කියන්නෙත් ගීතය මූලික වූ සංගීත සම්ප්‍රදායන් දෙකක් තියෙන රටවල්. ඒ තුළින් ඉවත් වෙන්න අපහසුයි. එහෙත් එක දෙයක් සඳහන් කළ යුතුයි.
පද මාලා කියන්නෙ දෘශ්‍ය නිර්මාණයක්. එය ශ්‍රව්‍ය බද්ධ කරන්නෙ සංගීතඥයා. අපේ ගීත රචකයන් පොත් මුද්‍රණය කරනවා. තාගොර් එයට කදිම උත්තරයක් දෙනවා. ''මම මගේ ගීත පොතක අච්චු ගැහුවේ නැත්තේ, ගීතය ඇහෙන්නේ නැති නිසා'' යනුවෙන්. ගීත රචකයෙක් හා ගායිකාවක් මට ඇති කළ ප්‍රශ්නයක් ගැන මම 'මියැසි මතක' ග්‍රන්ථයේ සඳහන් කර තිබෙනවා. ගීතය කියන්නෙ පද මාලාව නෙමෙයි. ඒ නිසා එය පද රචකයන් තේරුම්ගත යුතුයි. එය තමයි මට සඳහන් කළ යුතුව තිබෙන්නෙ.
071 7 245 131