සිය දශක දෙකහමාරක වේදිකා නාට්‍ය ගමන්මගෙහි සැළකිය යුතු සංදිස්ථානයක් පසුකරමින් ජනප්‍රිය, සම්මානනීය නළු ගිහාන් ප්‍රනාන්දු සිය රසිකයනට නාට්‍ය සැඳෑවක් සිදුකරන්නට සූදානම්. ටෙලි නාට්‍යෙයන් සහ සිනමාවෙන් ඉහළ තළයකට පැමිණියත් වේදිකාව හැර නොගිය ඔහුගේ මෙම වෑයමට ඉහල රසිකත්වයක් හිමිව තිබෙන බවට දැනටත් ඇති කතාබහම ප්‍රමාණවත්. ෙහට (30දා) සිට අප්‍රියෙල් තුන දක්වා සවස 7.00ට කොළඹ ලයනල් වෙන්ට්ඩ් හිදී රංගගත වන එම නාට්‍ය එකතුව රසවිඳින්නට ආරාධනා කරමින් ගිහාන් ප්‍රනාන්දු 'අද' හා කතාබහකට එක්වුනා.
Q ඔබගේ නාට්‍ය සැඳෑව පිළිබද විස්තර කළොත්?
ඇත්තටම අවුරුදු විසිපහක් මේ ක්ෂේත්රයේ පැවතීම සමරමින් තමයි මෙම උළෙල සංවිධානය වෙන්නේ. මේ සඳහා මම විවිධ වර්ගයේ නාට්‍ය තෝරාගත්තා. ඒවායෙහි හාස්‍ය, ග්‍රීක ඉතිහාසාත්මක සහ ඕනෑම ප්‍රේක්ෂක පරාසයක විහිදෙන නාට්‍යයත් ඇතුළත්. ෙව්දිකා නාට්‍ය හා බැඳුනු පිරිසක් සිටිනවා වගේම ටෙලිනාට්‍ය හරහා මා හා බැඳුනු පිරිසක් සිටිනවා. ඒ පිරිස රංග ශාලාවට කැඳවා ගෙන ඒමත් මෙහි අරමුණක්.
මෙය කොළඹ ලයනල් වෙන්ට්ඩ් රඟහලේ මාර්තු 30 වැනිදා සිට අප්‍රියෙල් 03වැනිදා තෙක් දිනපතා සවස 7ට රංගගත වෙනවා. පළමු දිනයේ සිට පිළිවෙලින් රවීන්ද්‍ර ආරියරත්නගේ චරිතෙ හොරු අරං, රාජිත දිසානායකගේ සිහින හොරු අරං, රවීන්ද්‍ර අාරියරත්නගේ බල්ලොත් එක්ක බෑ, ප්‍රියංකර රත්නායකගේ ඇන්ටිගනී සහ අවසන් දිනයේදී පසුගිය වසරේ මට රාජ්‍ය නාට්‍යය උළෙලේ හොඳම නළුවාට සම්මාන ලැබුනු සාදය මාරයි සල්ලි හමාරයි නාට්‍යය වේදිකාගත වෙනවා.
විශේෂයෙන් සඳහන් කළ යුතු වන්නේ ප්‍රියංකර රත්නායකයන්ගේ ඇන්ටිගනී නාට්‍යයේ පිටපත උසස් පෙළ විෂය නිර්දේශයන්ට නිර්දේශිතයි. සිසුන්ට එය පොතකින් කියවනවා පමණක් වෙනුවට රංගගත වනු දැකගැනීමටත් හැකි අවස්ථාවක් ලෙස මෙය හැඳින්විය හැකියි. එනිසා උසස් පෙළ හදාරණ සහ නාට්‍යකරණය හදාරණ පිරිසට මෙම නාට්‍යය යම් සහන මිලකට පෙන්වන්නටත් තීරණය කර තිබෙනවා.
මෙහිදී ෆෙස්ටිවල් ඩිනර් කියලා වැඩසටහනක් සංවිධානය වෙනවා. ඒක නාට්‍ය උළෙල නරඹන්න එන අයෙකුට නාට්‍ය උළෙලේ රංගන ශිල්පීන් සමඟ සැඳෑවක් ගත කරන්නට ලැබෙන අවස්ථාවක්. වෙනමම ප්‍රවේශ පත්‍රයක් සමග එන අවස්ථාව සීිමිත පිරිසකට පමණයි විවර වෙන්නේ. එය පැවැත්වෙන්නේ අප්‍රියෙල් තුන් වැනිදා ලයනල් වෙන්ට්ඩ් රඟහලට යාබද කාන්තා සංගම් ශාලාවේ රාත්‍රී නමයේ සිටයි.ප්‍රවේශපත් උදේ නවයේ සිට සැන්දෑවේ හත තෙක් ලයනල් වෙන්ට්ඩ් රඟහලෙන් මිලදී ගත හැකියි. ඊට අමතරව tickets.lk වෙබ් අඩවියෙන්ද, Dialog පාරිභෝගිකයන්ට 444 අංකයෙන්ද, Etisalat පාරිභෝගිකයන්ට 365 අංකයෙන්ද ප්‍රවේශපත්‍ර ලබාගත හැකියි.
Q ඇයි මෙහෙම නාට්‍ය උළෙලක් කරන්නට හිතුවේ?
වසර විසිපහක් කියන්නෙ පොඩි කාලයක් නෙමෙයි. ප්‍රේක්ෂකයන්ගේ ආදරය නොඅඩුවම තියෙන, සෞඛ්‍ය සම්පන්න අතින්ද හොඳ මට්ටමක සිටින මොහොතක තමයි මේ මම දකින මම නාට්‍ය උළෙල කරන්න හිතුවෙ.
Q නාට්‍යකරණයේ අතීතය ගැන සිහිපත් කළොත්?
මම මුලින්ම වේදිකා නාට්‍යයක් රඟපෑවෙ 1990දි. ඒ රඟහල වේදිකා නාට්‍යයයි. එදා සිට මේ දක්වා වේදිකා නාට්‍ය 40ක පමණ රඟපාලා තියෙනවා. එම පළමු නාට්‍යයේ රඟපෑම වෙනුවෙන් යෞවන සම්මාන උළෙලේ හොඳම නළුවා ලෙසින් සම්මාන දිනාගන්නට මට හැකිවුනා. පළමු නාට්‍යයේම ඒ සාර්ථකත්වය ලැබීම භාග්‍යයක්. එහි රගපෑ බැලයා කියන චරිතයෙන් අනතුරුව මට වෙනස් අත්දැකීම් සහිත නාට්‍ය රඟපාන්නට ලැබුනා.ඒවගේම මෙතෙක් ඉහළම ප්‍රතිචාර ලැබුනු නාට්‍ය විදියට ජනාධිපති තාත්තා, ඇන්ටිගනී සහ සිහින හොරු අරං කියන නාට්‍ය තුන දක්වන්න පුළුවන්. ඒ අතින් මම වාසනාවන්තයි. මට දක්ෂ නිර්මාණකරුවන් එක්ක වැඩ කරන්නට ලැබීම භාග්‍යයක්.
Q මේවායින් ඔබට ලැබුනු දේ?
නාට්‍යකරණයෙන් මට ලෝකය වටා යන්නට ලැබුනා. මා පොත්වලින් කියැවූ ලෝකය අත්දකින්නට ලැබුනා. මට ඊජිප්තු පිරමීඩ දකින්නට ලැබුනා. කයිරෝ නාට්‍ය උළෙලට සම්බන්ධ වන්නට ලැබුනා.
Q නාට්‍යකරණයේ එදා සහ අද?
මම හිතන විදියට එදා සම්මානයක් පුදපු වපසරිය අදට වඩා ඉහල මට්ටමක තියෙනවා. ඒ වගේම මම මැක්බත් නාට්‍යයේ කළ රඟපෑමට සුගතපාල ද සිල්වා ශූරීන් කළ ඇගයීම සහ ලබාදුන් ආශිර්වාදය මට වටිනවා.එවැනි වටපිටාවක් අතින් අදට වඩා එදා ස්වයංපෝෂිතයි.
Q මේ දිනවල වේදිකාව තුළ කාර්යබහුලත්වය කෙසේද?
බල්ලොත් එක්ක බෑ, චරිතෙ හොරු අරං, සිහින හොරු අරං, අපහු හැරෙන්න බෑ සහ සාදය මාරයි සල්ලි හමාරයි කියන නාට්‍යය ටික මේ දිනවල වේදිකාගත කෙරෙනවා.
Q ටෙලි නිර්මාණ තුළින් මේ වන විට දැකින්නට ලැබෙන අවස්ථා මොනවාද?
ටෙලිවිෂනය තුළ මේ දිනවල කිහිප ස්ථානයක මා දැකිය හැකියි. ස්වර්ණවාහිනියේ යකඩ කහවනු කියන ටෙලිනාට්‍යයත්, සිරස නාලිකාවේ උතුම් පැතුම් ටෙලිනාට්‍යයත් මූලිකව දැක්විය හැකියි. ආදර වැස්ස නාට්‍යය මෑතකදී අවසන් වුනා. සහ අලුතින් විකාශනය වන්නට ගත් උරුමක්කාරයෝ නාට්‍යය හිරු ටීවී තුළින් දැකිය හැකියි.
Q සාමාන්‍යයෙන් තරබාරු නිසා ඔබේ සිරුරේ හැඩය ඒකාකාරී චරිතවලට ආරාධනා ලැබෙන්නට හේතු වෙනවාද?
එය ඇතැම්විට ඒකාකාරී විය හැකියි. එය ඇතැම් අධ්‍යක්ෂකවරුන් මත තීරණය වන්නක්. දුෂ්ඨ චරිත වගේම ඊට හාත්පසින්ම වෙනස් පියතුමෙකුගේ චරිතත් මට ලැබෙනවා. මට චරිතයක් හම්බවුනාම එය දුෂ්ඨ චරිතයක් වුනත් ඒ ඒ චරිත අතර වෙනස්කම් හොයන්න මම උත්සාහ කරනවා. ශරීර ප්‍රමාණය හින්දම හම්බෙච්ච චරිතත් ගොඩක් තියෙනවා.
Q ලංකාවේ ඉංග්‍රීසි ස්ටෑන්ඩ් අප් කොමඩි මට්ටම සිංහල මාධ්‍යයට වඩා ඉහලින් තිබෙනවා. ගිහාන් ප්‍රනාන්දු එයට කරන දායකත්වය කොහොමද?
මමත් කුමාර තිරිමාදුරත් සිංහල ස්ටෑන්ඩ්අප් කොමඩි වැඩක් ලොව වටා සිදු කරමින් යනවා. ඇත්තටම ලංකාවේ ස්ටෑන්ඩ් අප් කොමඩි කියා යමක් සිදුවන්නේ නැහැ. ඉවෙන්ට්වලට අයිටම් කරන එක ස්ටෑන්ඩ් අප් කොමඩි නෙමෙයි. එය ලෝකයේ පවතින දේවල්වලට කෙරෙන විවේචනාත්මක ප්රකාශනයක් විය යුතුයි. අපිත් තාම හරිම දේ මොකද්ද කියලා හොයනවා. අපේ ප්‍රේක්ෂකයින් තාම එයට හුරු නැහැ. පිටරටක ස්ටෑන්ඩ් අප් කොමීඩියන් කෙනෙක් තමන්ගේ ප්‍රේක්ෂකාගාරය අපහසුතාවයට පත් කරනවා. තාම මෙය ලංකාවට අනුගත කරගෙන ඉදිරිපත් කරන මට්ටමකයි පසුවෙන්නේ.
මම හිතන විදියට අපි ඉදිරියට හිතන්න ඕන අපගේ දේශපාලනික සහ සමාජයීය ප්රකාශනයන් සහ මතවාදයන් කොහොමද මේ හරහා ගෙනෙන්නේ කියන එක. එය අපට යාබද ඉන්දියාවේ ඉතා ප්‍රසිද්ධයි.ලංකාවේ මම දන්න පළමු ස්ටෑන්ඩ්අප් කමීඩියන් තමයි එඩී ජයමාන්න. ඔහු එය නිවැරදිව සිදු කළා. ස්ටෑන්ඩ් අප් කොමඩි කියන්නේ රංගයක් නෙමෙයි. එය ප්රකාශනයක්.
Q දශක දෙකහමාරක ගමනේ සිහිපත් කිරීමට ඇති කාරණය කුමක්ද?
මුලින්ම ලාල් ප්‍රේමරත්න සහ ජයලාල් රෝහණ දෙපළ සිහිපත් කළ යුතුයි. ඉන්පසු මෙතෙක් සිටි සෑම ජ්‍යෙෂ්ඨයෙක්ම සෑම අධ්‍යක්ෂකවරයෙක්ම නම් නොකියා සිහිපත් කළ යුතුයි. ඒ වගේම හෙට දවසේ මම වැඩකරන අධ්යක්ෂවරයෙකුගෙන් මට ඉගෙනගන්න දෙයක් තියෙනවනං ඔහුත් මට ගුරුවරයෙක් වෙනවා.
කලාවේ තියෙන ප්‍රසිද්ධම කතාවක් තමයි එහි කැපිලි තියෙනවා කියන එක. මම කියන්නෙ කලාවේ එහෙම කැපිලි කියලා දෙයක් නැහැ කියලයි. තමන් දක්ෂ නම්, තමන්ට විනයානුකූලව කටයුතු කල හැකියි නම් තමන්ට කවදාවත් කැපිල්ලක් එන්නේ නැහැ. තමන් ඒ සුදුසුකම්වලින් තොරයිනම් තමයි ඔය කියන ප්‍රශ්න ටික තියෙන්නේ.