තාරුණ්‍යයි සිනමාවයි කියන්නේ හරියට එකම කාසියක දෙපැත්ත වගේ. ඒ නිසාම තමන් දකින, ඇහෙන, විඳින, විඳවන දේ ඔස්සේ විවිධාකාර වු නිර්මාණ කරන්න මේ උණ තිබෙන කාටත් ඇති බලාපොරොත්තුවක්. නමුත් ඒ වගේ හොඳ සිනමා කෘති කරලා තවමත් නිහඬව ඉන්න චරිත ඕනතරම් ඉන්නවා.
අන්න එහෙම චරිතයක් තමා අරවින්ද වන්නිනායක කියන්නේ. ඔහු කෙටි චිත්‍රපට කිහිපයක්ම කරලා ජාතික වශයෙන් මෙන්ම අන්තර්ජාතික වශයෙන් සම්මනයට පාත්‍ර වුණ නිහඬ චරිතයක්. ඒ නිසාම අපි ඔහුව 'අද' වෙතට සම්බන්ධ කර ගත්තෙමු. මේ කතාබහ ඔහු සමගයි.
Q අරවින්ද ඔයා ගැන විස්තරයක් කළොත්?
මගේ ගම ගල්ගමුව. මූලික අධ්‍යාපනය ලැබුවේ මගේ ගමේ පාසලෙන්. ඒ ගිරිබාව මහා විද්‍යාලයෙන්. ඊට පස්සෙ මම උසස් පෙළ කරන්න කුරුණෑගල සර් ජෝන් කොතලාවල පාසලට ගියා. උසස් අධ්‍යාපනය කැලණිය විශ්වවිද්‍යාලයෙන් ලබාගත්තා.
Q කොහොමද සිනමාවට යොමු වුණේ?
මම විශ්වවිද්‍යාලයට යන්න කලින් වීඩියෝ සෙන්ටර් එකක ජොබ් එකක් කළා. එතැනින් තමා ඉස්සෙල්ලාම කැමරාවක් දැක්කේ. මම හිතන්නේ එතන තමා මගේ සිනමා ගමන ආරම්භ වුණ තැන. එදා කැමරාව දැකලා ඒකට තිබුණ ආසාව තමා මාව මේ ක්ෂේත්රයට යොමු කළේ. ඊට පස්සේ මේ සම්බන්ධව වැඩිදුර ඉගෙනගන්න යොමු වුණා.
එහිදී දෘශ්‍ය කලාව, ප්‍රතිබිම්භ කලාව ගැන හැදෑරුවා. නමුත් මම හිතන්නෙ නෑ ඒ විෂයන් වලින් ලොකුවට සිනමාව ඉගෙන ගත්තා කියලා. හැමවෙලාවෙම කළේ මම දකින දේවල් , ඉගෙන ගත්ත දේවල් සිනමාවට ගොඩනඟන්නේ කොහොමද කියන දේ හොයන්න උත්සාහ කරපු එක.
ඒ වගේම මේ දේත් කියන්න ඕන. ගිහාන් ප්‍රනාන්දු අයියා තමා ඉස්සෙල්ලාම කැමරාව මගේ අතට දීලා කැමරාව ඔන් කරන්නේ ඕෆ් කරන්නේ මෙහමයි කියලා උගන්නන්නේ. ඊට පස්සේ වීඩියෝ කියන සංකල්පය ගොඩනැගිලා මම දකින දේවල් වීඩියෝ කරන්න ගත්තා. ඊට පස්සෙ මට කැලුම් කුමාර මෙහොට්ටි අයියව මුණගැහෙනවා.
ඒ අයියගෙ තිබුණා 'ලොකු දේ පොඩි කරන්න' කියලා සංකල්පයක්. අන්න ඒ සංකල්පයේදි එයා මගේ මනසට දැම්මා සිනමාව කියන්නේ ලොකු දෙයක් නෙවෙයි, අපිට ඒක පොඩි කරලා වැඩේ කරගන්න පුළුවන් කියන එක. ඒ නිසා මම සම්පූර්ණයෙන්ම කියන්නෙ නැහැ මම තනියම මේ වැඩේ කළා කියලා. නමුත් එතැනින් එහාට මොකද්ද කරන්න ඕන කියල මට ආවේණික ලක්ෂණ ගොඩනඟා ගත්තෙ මම.
Q දැනට කරපු නිර්මාණ ගැන කතා කළොත්?
2011 දී මම 'Looking for a Job' කියලා ෆිල්ම් එකක් කළා. ඒ ෆිල්ම් එකට Stritch සම්මානය ලැබුණා. ඒ සම්මානය ලොකු සම්මානයක් නෙවෙයි ඇත්තටම. නමුත් ඒ සම්මානය ලොකු නැති වුණාට මට පොඩි ශක්තියක් ආවා.
රෙඩ් කාපට් එකක් උඩ ගිහින් සම්මානයක් ගත්තම මනුස්සයෙකුට දැනෙන හැඟීම මෙහෙමයි කියල කියන්න බැහැ. ඒ දේ අනිත් අයට වඩා ලොකුවට මට දැනුණා. මොකද මගේ පළවෙනි සම්මානය නිසා.
ඊට පස්සෙ ඉතාලියෙන් ආපු මගේ තව යාළුවෙක් Fresh TV කියලා වෙබ් චැනල් එකක් පටන් ගත්තා. ඒ හරහා මට නිර්මාණ කරන්න අවස්ථාව ලැබුණා. ඊට පස්සෙ මම එයා එක්ක 'කාටද අහිමි' කියලා කෙටි චිත්‍රපටයක් කළා. ඒ චිත්‍රපටය ලෝකයේ හුඟාක් සිනමා උලෙළවල් නියෝජනය කරමින් සම්මාන දිනා ගත්තා.
ඊට පස්සෙ 2015 වසරේ 'මං හන්දිය' සහ 2016 වසරේ 'ගමනක්' යන කෙටි චිත්‍රපට දෙක ශ්‍රී ලංකා තරුණ සේවා සභාවේ 2015, 2016 වසරේ පැවති කෙටි චිත්‍රපට උලෙළන් ප්‍රථම ස්ථානය දිනා ගන්නවා. ඊට පස්සෙ මට ඉතාලියෙන් ආපු අධ්යක්ෂවරයෙක් සමග සම්බන්ධ වෙලා චිත්‍රපටයක් කරන්න ලැබෙනවා.
ඒකෙ නම 'For a Son' කියලා. ඒ චිත්‍රපටය ඉතාලියේ හුඟාක් ප්‍රාන්තවල මේ වෙද්දි පෙන්නලා තිබෙනවා. ඒ චිත්‍රපටය තමා මම පිටපතක් ලියපු පළවෙනි වෘත්තාන්ත-චිත්‍රපටය. ඒ චිත්‍රපටයටත් ගොඩක් සම්මාන ලැබුණා.
Q සමහරු හිතනවා කෙටි චිත්‍රපට කියන්නේ මහා සිනමාවට යන එක පියවරක් කියලා. ලංකාවේ මේ දෙකේ වෙනස හඳුනාගෙන තියෙනවද?
ඔව්. හුඟාක් අය කියනවා කෙටි චිත්‍රපට කරල කරලා වෘත්තාන්ත චිත්‍රපට කරන්න පුළුවන් කියලා. නමුත් මම කවදාවත් පිළිගන්නෙ නැහැ කෙටි චිත්‍රපට කියන්නේ මහා සිනමාවට එන එක්ස්පෙරිමන්ට් එකක් කියලා. මොකද මගේ වෘත්තාන්ත චිත්‍රපටයට පස්සෙ කෙටි චිත්‍රපටයක් කරන්න හිතුණොත් මම ඒක කරනවා.
කෙටි චිත්‍රපට වල තිබෙන ශීඝ්‍රගාමී සන්නිවේදනයට මම කැමතියි. ගොඩක් අය හිතන් ඉන්නවා වෘත්තාන්ත චිත්‍රපටයක් කරලා කෙටි චිත්‍රපට වලින් අයින් වෙනවා කියලා. නමුත් මම දිගටම කෙටි චිත්‍රපටත් කරනවා.
Q අරවින්ද මේ දවස් වල කරන චිත්‍රපටය ගැන කතා කළොත්?
මම මේ දවස් වල වෘතාන්ත චිත්‍රපටයක් කරනවා. ඒක ප්‍රධාන ප්රවාහයෙන් බැහැරට ගිහින් කරන්නේ. මේ දවස්වල ඒකෙ වැඩකටයුතු කරගෙන යනවා. එහි අධ්‍යක්ෂණය සහ තිර රචනය කරන්නේ මමමයි.
Q අද තරුණයෝ බොහෝ පිරිසක් හොඳ නිර්මාණ කරනවා. නමුත් ප්රේක්ෂකයො අතරට යන්නෙ නැහැ. ඒ ගැන මොන වගේ අදහසක්ද ඔබට තිබෙන්නේ?
අද වෙද්දි යූටියුබ් සිනමාව කියල දෙයක් තියෙනවා. නමුත් යූටියුබ් එකේ බලන ඕඩියන්ස් එකයි, ෆිල්ම් හෝල් එකට එන ඕඩියන්ස් එකෙයි වෙනසක් තිබෙනවා. ඇත්තටම යූටියුබ් එක මාකට් එකක්. එතකොට ඕන කෙනෙක්ට ගිහින් බලලා විඳින්න පුළුවන් නිර්මාණයක් තමා යූටියුබ් එකට දාන්න වෙන්නේ.
එතැන කොමර්ෂල් සිනමාවක් බිහිවෙන්නේ. වැඩිපුර පිරිසක් බලන, මුදලක් ලැබෙන විදියට තමා හදන්නෙ. නමුත් කලාත්මක චිත්‍රපටයක් කට්ටිය ෂෙයා කරගන්නෙත් නෑ. ඒවා බලන්නෙ එක්තරා පිරිසක් විතරයි. ඒ නිසයි යූටියුබ් එක ඇතුළේ ඒවට ප්රද්ධියක් නැත්තෙ.
තාම හැමෝගෙම ඔළුවෙ තියෙන්නෙ කෙටි චිත්‍රපට කියන්නේ එක්ස්පෙරිමන්ට් එකක් කියන අදහස. මොකද ඒක හරි ගියොත් ෆිල්ම් හෝල් එකකට එකක් කරනවා කියන මානසිකත්වයෙන් ඉන්නෙ.
කෙටි චිත්‍රපට කියන්නෙත් චිත්‍රපටයක්. කාලය කෙටි වුණාට එහි අදහස පොඩි නැහැ. ඒ විශ්වාසයෙන් විනාඩි 10 කෙටි චිත්‍රපට 10ක් එකතු කරලා විනාඩි 100ක් ෆිල්ම් හෝල් එකක පෙන්වන්න බැරි ඇයි කියලා මම නවකයන්ගෙන් අහනවා.
ඒ හරහා සංගමයක් හදලා සම්මානලාභී චිත්‍රපට එකතු කරලා එක මාසයක් දුවන්න හදාගන්න පුළුවන් නම් ඒකෙන් අපිට පුළුවන් ආදායමක් උපයගන්න. එතකොට චිත්‍රපට කරලා හාඩ් ඩිස්ක් වල දාගෙන ඉන්න අය හිතයි ඉස්සරහට මොකද කරන්නේ කියලා.
Q කෙටි චිත්‍රපට නිරමාණය කරන පිරිසට මොනවද විශේෂයෙන් කියන්න තියෙන්නේ?
මම කියන්නේ කිසිම වෙලාවක කෙටි චිත්‍රපටයක් කරනකොට ඒක කෙටි චිත්‍රපටයක් කියල හිතල කරන්න එපා. ඒක චිත්‍රපටයක් කියල හිතාගෙන කරන්න.
එතකොට නිර්මාණය තවත් සාර්ථක වෙනවා. ගොඩක් අය කෙටි චිත්‍රපටයක් කියල හිතන් ඉන්නේ මනුස්සයා කුතුහලයට පත්කරලා පුපුරවා හරින එක කියලයි. අන්තිම මොහොතේ උච්චතම අවස්ථාවට ගෙනයනවා කියන දේ නෙවෙයි කෙටි චිත්‍රපටයක් කියන්නේ.
මම හිතන්නේ සිනමාව ඇතුළේ සමීකරණයක් තියෙන්න ඕන. ප්‍රේක්ෂකයා තමා ඒ සමීකරණයට උත්තරය හොයන්න ඕන. ඒ නිසා තමන්ගේ අදහස තමන්ගේ ශානරය යටතේ බයනැතුව කරන්න කියලා මම කියනවා.
Q මතක් කරන ඕන පිරිස කවුද?
විශේෂයෙන් ගිහාන් ප්‍රනාන්දු අයියා සහ කැලුම් කුමාර මොහොට්ටි අයියා මතක් කරන්න ඕන. ඒ වගේම චිත්‍රපටයක් කරන්න ගත්තම උදව් කරන්න කට්ටිය ගොඩක් ඉන්නවා. නම් වශයෙන් කියන්න බැහැ. විශේෂයෙන් අම්මටයි, තාත්තටයි ස්තුති කරනවා. ඒ අය මාව නිදහස් කරපු එකට.
දෙමාපියො දෙන්නා මාව නිදහස් නොකළා නම් මම කවදාවත් නිදහස් චින්තනයකින් චිත්‍රපට කරන ශිල්පියෙක් වෙන්නෙ නැහැ. එහෙමනම් මමත් සිනමාවෙන් සල්ලි හොයන, යූටියුබ් ක්ලිප් එකක් කරන කෙනෙක් වෙලා. මේ කාරණයේම මගේ බිරිඳත් ඉන්නවා. ඒ නිසා විශේෂයෙන් ඔවුන්ව මතක් කරන්න ඕන.