Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ADA
2024 නොවැම්බර් මස 23 වන සෙනසුරාදා
2024 නොවැම්බර් මස 23 වන සෙනසුරාදා
අද වනවිට කෙටි චිත්‍රපට නිර්මාණකරුවන්ගේ නැගී ඒමත් සිදුවෙනවා. එය සැබැවින්ම සතුටුදායක තත්ත්වයක්. නමුත් ඒ බිහිවන නිර්මාණවල ගුණාත්මකභාවය සම්බන්ධව ගැටලුකාරී තත්ත්වයක් නැතුවාම නොවේ. එම නිසා වර්තමාන ලාංකීය කෙටි චිත්‍රපට කලාව සම්බන්ධව අදහස් දැක්වීම සඳහා අප 'අද' වෙත භූපති නලීන් මහතා සම්බන්ධකර ගත්තෙමු.
Q ලංකාවේ කෙටි චිත්‍රපට පිළිබඳව ඔබේ අදහස මොන වගේද?
ලංකාවේ කෙටි චිත්‍රපට ගැන කතා කළොත් 70 ගණන්වල සිටම කෙටි චිත්‍රපට විශාල ප්‍රමාණයක් හැදෙනවා. ලෙස්ටර් ජේම්ස් පීරිස්, සුගතපාල සෙනරත් යාපා පවා කෙටි චිත්‍රපට වලින් තමයි සිනමාව පටන් ගත්තේ. ඒ වගේම ධර්මසේන පතිරාජ, වසන්ත ඔබේසේකර, ධර්මසිරි බණ්ඩාරනායක ඔක්කෝම කෙටි චිත්‍රපට සිදුකළා. හැබැයි ඒ කාලෙ තියෙන ගැටලුව රීල් වලින් සිදුකළ නිසා බොහොම සීමිත පිරිසකට තමා මෙවැනි නිර්මාණ කරන්න පුළුවන් වුණේ.
නමුත් අද වනවිට DSLR කැමරාව පැමිණීමත් සමග මේ තත්ත්වය වෙනස් වෙලා තියෙනවා. අද වන විට බොහෝ පිරිසක් භාවිත කරන්නේ DSLR කැමරා. උදාහරණයක් ලෙස 'උසාවිය නිහඬයි', 'පැන්ජිපානි' වගේ චිත්‍රපටත් DSLR කැමරා හරහා සිදුකළ ඒවා. අද වනවිට ප්‍රමිතිය කියන කාරණය ඉහළ ගොසින් තාක්ෂණික ප්රශ්නය විසඳිලා කියා මම හිතනවා.
මේ සම්බන්ධව ජී.ඩබ්. ග්රිපික් නම් ඇමරිකාවේ සිනමා ශාස්ත්‍රඥයා නියම කතාවක් කියනවා. “සිනමාව හැමෝම කරන්න ගත්තාම සිනමා උපකරණ, ඩිමයි කොලයි, බෝල්පොයින්ට් පෑනයි වගේ මිල පල්ලෙහා බැස්සාම තමා සිනමාවේ ප්රජාතන්ත්රවාදය ඇති වෙන්නේ කියලා"
ඉස්සර සීමිත පිරිසකට තමා කෙටි චිත්‍රපට කරන්න පුළුවන්. යම් බල ව්‍යුහයක් තිබෙන, රැකියාවක් කරන පිරිසටයි. දැන් ඕන කෙනෙකුට කරන්න පුළුවන්. අද වෙද්දී මොබයිල් ෆෝන් එකෙනුත් කරන්න පුළුවන්. මේ ගැන මට විරුද්ධත්වයක් නෑ. ඒක හොඳයි. එහෙනම් හැමෝම කවි ලියන්නේ. ප්‍රශ්නයක් නෑනේ. සමහරු ලියලා පබ්ලිෂ් කරන්නෙ නෑ. ඒ වගේම කෙටි චිත්‍රපට ආසාවට කරල පෙන්නන්නේ නැති අය ඉන්නවා.
අද වනවිට සිනමාව හදාරන්න තැන් තිබෙනවා. ඊට අමතරව විශ්වවිද්‍යාල වල පවා සිනමාව උගන්නනවා. ඒ වගේම අද වනවිට කෙටි චිත්‍රපට උලෙළවල් තිබෙනවා. සිනමා සංගම් තිබෙනවා. අද සාමාන්‍යයෙන් අවුරුද්දට කෙටි චිත්‍රපට උලෙළවල් 3-4 ක් තියෙනවා. යාපනය, ගාල්ල, රත්නපුර, වගේ පිට පළාත් වලත් කෙටි චිත්‍රපට උලෙළවල් සංවිධානය කරනවා. ඒක හොඳ තත්ත්වයක්.
අද වනවිට කෙටි චිත්‍රපට ගැන ලොකු පරාසයක අමුද්‍රව්‍ය තියෙනවා. එක එක ජාතියේ කෙටි චිත්‍රපට තිබෙනවා. ඉතාමත් දුර්වල ඒවායේ සිට ඉතාමත් ඉහළ ගණයේ ඒවා දක්වා තියෙනවා. මේවායේ මූලික ලක්ෂණය තමා තාක්ෂණය එන්න එන්නම දියුණු මට්ටමකට එන බව.
අද වනවිට ජාත්‍යන්තර චිත්‍රපට උලෙළවල් වලට පවා ලංකාවේ කෙටි චිත්‍රපට යනවා. ඊට අමතරව කෙටි චිත්‍රපට කරන අය ලොකු සිනමාපට කරන්නත් පටන් අරගෙන තියෙනවා. මාලන දේවප්‍රිය එක්කෙනෙක්. මලිත් හෑගොඩ, ප්‍රියන්ත කළුආරච්චි, ශමීර රංගන ඒ හැමෝම කෙටි චිත්‍රපට වලින් පැමිණි අය. ඩිජිටල් කෙටි චිත්‍රපට කරන අය. ඒ ඩිජිටල් කෙටි චිත්‍රපට කළ අයගෙන් මහා සිනමාවකුත් හැදිලා තියෙනවා. ඒ අලුත් පරම්පරාවේ පළවැනි චිත්‍රපටය තමා ශමීර රංගනගේ 'මෝටර් බයිසිකල්'. එතැනදී පැහැදිලිව තේරෙනවා ලංකාවේ කෙටි චිත්‍රපටයට ගමනක් හැදිලා තියෙනවා කියන එක.
Q ලංකාවේ කෙටි චිත්‍රපටය තුළ තිබෙන ගැටලුව මොන වගේද?
ලංකාවේ කෙටි චිත්‍රපට තිබෙන්නේ ඌණසංවර්ධනය තුළ. සමහරු හිතනවා කෙටි චිත්‍රපට කියන්නේ මහා සිනමාවට යන එක පියවරක් කියා. ඒක ඕලෙවල් ඉවරවෙලා ඒලෙවල් කරනවා වගේ දෙයක් නෙමේ. ඒක වෙනම මාධ්‍යයක් බව තේරුම් ගන්න ඕන. ලෝකයේ හොඳම සිනමාකරුවන් පවා තාමත් කෙටි චිත්‍රපට කරනවා. ඩේවිඩ් ලින්, ඒපයික් ලී ගත්තත් ඇමරිකාව, රුසියාවේ, චීනයේ අවුරුදු 50-60 ක අත්දැකීම් ඇති මහා සිනමාකරුවන් පවා කෙටි චිත්‍රපට කරනවා. මන්ද මහා සිනමාවයි, කෙටි චිත්‍රපටයි තියෙන්නේ නවකතාවයි, කෙටිකතාවයි වගේ දෙයක්.
මම හිතන්නේ ලංකාවේ මේ දෙකෙහි වෙනස හඳුනාගෙන නෑ. උදාහරණයක් විදියට අපේ මහා සිනමාකරුවෝ කෙටි චිත්‍රපට කරන්නේ නෑ. අශෝක හඳගම, ප්‍රසන්න විතානගේ, වසන්ත ඔබේසේකර, පතිරාජලා එක වෙලාවක කෙටි චිත්‍රපට අතෑරියා. විමුක්ති ජයසුන්දරට ඒ අතින් මම ගරු කරනවා. ඔහු මහා සිනමාපට අතරේ කෙටි චිත්‍රපටත් කරනවා. මොකද කෙටි චිත්‍රපටයකින් කියන දේ කෙටි චිත්‍රපටයකින් විතරයි කියන්න පුළුවන්. ඒක ලොකු කළොත් කතාවක් නෑ. මම දකින දෙයක් තමා තරුණ සිනමාකරුවන් ලොකු කතාවක් කෙටි චිත්‍රපටයකින් කියනවා. එහෙම නැති වුණොත් ඒකෙන් කෑල්ලක් කරන්න හදනවා. මේකෙදී තියෙන්නේ මාධ්‍ය තේරුම් නොගැනීමේ ගැටලුවක්.
අද වෙද්දී තාක්ෂණික අතින් කෙටි චිත්‍රපට ඉහළ මට්ටමක තියෙනවා. කැමරාකරණය, හඬ නිෂ්පාදනය, සංස්කරණය ආදිය සිනමා ඇකඩමිවල උගන්නනවා. ඒ වගේම මේ අය ගොඩක් වැඩ කරනවා. කෙටි චිත්‍රපට, මියුසික් වීඩියෝ, ටී.වී. කමර්ෂල් කරනවා. මේ නිසා වෘත්තීය මට්ටමේ ප්‍රමිතිය මොකක්ද කියා ඔවුන් හඳුනනවා. ඒ නිසා ප්‍රමිතිය ඉහළ ගොස් තියෙනවා. නමුත් ගැටලුව තමා සමාජ දේශපාලනික කාරණා ගැන, ලෝකයේ ඉතිරි දේවල් ගැන ඉතාම ප්‍රාථමික දැනුමක් තියෙන්නේ. ඒක කණගාටුදායක තත්ත්වයක්.
Q වර්තමානයේ නිර්මාණකරණයට පිවිසෙන තරුණ පරම්පරාව ගැන ඔබේ අදහස මොන වගේද?
මම චිත්‍රපට ජූරිවල හිටියා. චිත්‍රපට පරීක්ෂණ මණ්ඩලවල හිටියා. චිත්‍රපට පාසල්වල හිටියා. ඒ වගේම අවුරුද්දකට ලංකාවේ කෙටි චිත්‍රපට 50ක් 60ක් බලනවා. මම දැකපු දේ තමා ගොඩක් අයගේ කෙටි චිත්‍රපට තුළ ඇසූ පිරූ තැන් ඇතිවෙන කියන දේ නෑ. ඒ කියන්නේ හරිම සීමිත ප්‍රමාණයක් දන්නෙ. තාක්ෂණය ගැන අවබෝධය තිබුණත්, අවුරුදු 20-30 අයත් පොඩි ළමයි වගේ ලෝකය ගැන කතා කරන්නේ. හරිම කළු සුදු ලෝකයක් දකින්නේ. ජීවිතය ගැන, සමාජය ගැන බොළඳ දැක්මක් තියෙන්නේ. මීට කලින් පරම්පරාවේ අයට විශාල සමාජ ජීවිතයක් තිබුණා. නමුත් දැන් බොහොමයකට එය නෑ.
වර්තමාන තරුණ පිරිස ගැන තදබල විවේචනයක් තියෙනවා. දැන් ඉන්න අය සාහිත්‍යයක් කියවලා නෑ. කැමරා තාක්ෂණයෙන් එහාට ගිය කාරණයක් ඒ අය දන්නෙවත් නෑ. ඒ අයගෙන් දැන් ඉන්න සාහිත්‍යකරුවෝ කවුද කියා ඇහුවොත් ඒ පිළිබඳ කිසිම අවබෝධයක් නෑ. ඒ අය සිනමාව නෙවේ ඉගෙන ගන්න ඕන. සිනමාවෙන් එපිට දේවල් ගැන ඔළුව යොමු කරන්න ඕන.
අද තරුණ පරම්පරාව රටේ ලෝකේ වෙන දේවල් දන්නෙ නැහැ. සමාජයේ වෙන්නෙ මොනවද කියා දන්නෙ නෑ. තමාගේ ජීවිතයේ තමාට සිද්ධ වෙන දේවල් ගැන ගැඹුරු අවබෝධයක් නෑ. එතකොට ඒ අයට චිත්‍රපට කරන්න තේමා කෝ? ඒ අයගේ ජීවිතය හා ලෝකය සමග තිබෙන සම්බන්ධය පටු නම් අනිවාර්යයෙන්ම ඔවුන්ගේ චිත්‍රපටත් පටුයි. ඉතිං මම හිතනවා ඒ පැත්තෙන් ලොකු පසුගාමී තත්ත්වයක් තිබෙනවා.
සමාජ, දේශපාලන කාරණා විතරක් නොවේ. ඊට වඩා කුඩා මාතෘකාවලට ගියත් ඒ අය ප්‍රධාන දෙයක් දන්නෙ නෑ. ඒ අය කියන දේවල් මීට කලින් අය කියල තියෙනවා කියාවත් දන්නෙ නෑ. ඒකට හේතුව තමා ගොඩදෙනෙක් චිත්‍රපට බලන්නෙ නෑ. ලෝක මට්ටමේ දේවල් youtube එකෙන් බලන්න පුළුවන්. ඒ වගේම වෙනම වෙබ් අඩවි තියෙනවා කෙටි චිත්‍රපට පමණක්ම තියෙන. ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන්. පරිශීලනය කියන හැකියාව අපේ කකුල් දෙක ළඟටම අද වෙද්දි ඇවිත් තියෙනවා. නමුත් අතීතයේදී මේ තත්ත්වය නැහැ.
අද බොහෝ දෙනෙක්ගෙන් මොනවද බලලා තියෙන කෙටි චිත්‍රපට ඇහුවාම කියන්නෙ දන්නෙ නැහැ, ලංකාවේ කෙටි චිත්‍රපට බලලා නෑ කියලා. ඒ අයගෙම මාධ්‍ය‘යේ පවතින සම්බන්ධතා සීමිතයි. ඒ වගේම ලෝකයේ මේ වෙලාවේ ඉන්න හොඳ අධ්‍යක්ෂකවරු කවුද කියා ඇහුවාම දන්නෙ නෑ. ජනප්‍රියම අධ්‍යක්ෂකවරු වන අකිර කුරසෝවා, බර්ග්මාන් අය ගැන තමා දන්නේ.
අද බොහෝ තරුණ පිරිස හරිම තාක්ෂණිකයි. ඒක හොඳයි. නමුත් මට හිතෙනවා අපේ කෙටි සිනමාකරුවෝ මානව විද්‍යාත්මක වශයෙන්, දාර්ශනික හා දේශපාලනික මතවාද පැත්තෙන් පෝෂණය වෙලා මදි කියලා.
Q අද බොහෝ කෙටි චිත්‍රපට වල අගක් මුලක් නැති ගතියක් තිබෙනවා. ඒ පිළිබඳ ඔබේ අදහස මොන වගේද?
එහි දුර්වලතාවයන් තිබෙන තැනුත් තිබෙනවා. චිත්‍රපටයක් කියන්නේ හැම වෙලේම කතන්දරයක් කියන එක නෙමේ. එහෙම වෙන්න අවශ්‍ය නෑ. මෙහි ව්‍යුක්ත ශෛලීය කියා දෙයක් තියෙනවා. එහිදී නිශ්චිත කතාවක් කියන්නෙ නෑ. ඇත්තටම ව්‍යුක්ත කලාව කියන්නේ සංකීර්ණ කලාවක්. දර්ශනයට, මනෝවිද්‍යාවට සම්බන්ධයි. මහන්සිවෙලා කරන්න ඕන දෙයක්.
හැබැයි සිනමාව ලේසියෙන් කරන්න හදන අයට, බාගෙට වැඩේ කරන්න හදන අයට මිනිස්සුන්ව රවට්වන්න පුළුවන් හොඳ ක්‍රමයක් ඒක. මොනා හරි තේරෙන්නෙ නැති ටිකක් දාලා මිනිසුන්ට කියනවා බලන්න කියලා. ඒ ජාතියේ කට්ටිය වැඩියි. අපේ රටේ ව්‍යුක්ත කලාව කියන්නේ බාල විදියට සෙල්ලම් කරන කලාවක් නොවේ.
Q ලංකාවේ සිනමාව හදාරන්න තියෙන තැන් සීමිතයි වගේම ඒ පාඨමාලා මිල අධිකයි. මේ සම්බන්ධව ඔබේ අදහස කුමක්ද?
සංකීර්ණ ප්‍රශ්නයක්. සිනමාව කියන දේ නෛසාර්ගිකව ගණන් අධික මාධ්‍යයක්. කාර්මික කලාවක්. කාර්මික විප්ලවයෙන් පසු පැමිණි පළවැනි කලාව තමා ඡායාරූප ශිල්පය. නමුත් සිනමාව තියෙන්නේ එක යන්ත්‍රයකින් පමණක් සිදුකරන කලාවක් නොවේ. ඒ නිසාම මෙහි ඒ තත්ත්වය නවත්වන්න බැහැ.
චිත්‍රපට කරන්න ප්‍රායෝගික අත්දැකීම් අවශ්‍යයයි. සිනමාකරුවෙක් වෙන්න කැමරා හැසිරවීම්, ආලෝකකරණය, නිෂ්පාදන අත්දැකීම් කියන දේ තියෙන්න ඕන. නමුත් මම හිතන්නෙ නෑ අද ලෝකයේ තිබෙන වියදම්වල හැටියට ඒ අය ඉල්ලන මුදල අසාධාරණයි කියා. වෙන රටක මීට වඩා මිල අධිකයි.
ඒ වගේම ලංකාවේ සිනමාව නොමිලේ රස්තියාදු ගහලා ඉගෙන ගන්න ගොඩක් තැන් තියෙනවා. එක සතියක් ගත්තාම ලංකාවේ තරම් නොමිලේ දේවල් ලබාදෙන තැන් වෙත කොහේවත් නැතිව ඇති. ඔළුව හදාගන්න අවශ්‍ය තැන් ගොඩක් තියෙනවා.
මෙතන අරගලයක් පවතිනවා. මම එය පිළිගන්නවා. තාමත් සිනමාව කියන්නේ බොහෝ වෙලාවට බල ව්‍යුහයත් එක්ක සම්බන්ධ දෙයක්. නමුත් පන්ති මූලික නැහැ. පහළ පන්තියේ අයත් ඇවිත් චිත්‍රපට කරනවා. නැවතිලා නෑ. හරිම කලවම් වෙලා තියෙන්නේ. මම කියන්නේ නෑ ඒක පූර්ණ ලෙස ප්රජාතන්ත්රවාදී වෙන්න ඕන කියා.
අපිට අනිත් හැමදේටම වියදම් කරන්න පුළුවන් නම් කලාව නිකන් ඉල්ලන්න එපා. එහෙනම් අපි සමාජවාදී රාජ්‍යයක් හදන්න ඕන. ඉතිං මම හිතන්නේ සිනමාව වියදම් අධික මාධ්‍යයක්. වියදම් කරලා ඉගෙන ගන්න ඕන. ඒ වගේම මේ මාධ්‍ය හොඳට හම්බ කරන්න පුළුවන් කලාවක්. ඒ නිසා ණය වෙලා හරි ඉගෙන ගත්තට පාඩුවෙන්නෙ නැහැ. මේ සම්බන්ධව මගේ ලොකු විවේචනයක් නැහැ.
Q වර්තමානයේ සංවිධානය කරන කෙටි චිත්‍රපට උලෙළවල් සම්බන්ධව ඔබේ අදහස මොන වගේද?
කෙටි චිත්‍රපට උලෙළවල් සංවිධානය කරන එක ගොඩක් හොඳයි. නමුත් මේ උලෙළවල් වල එකම චිත්‍රපටය හැමතැනම කැරකෙන ගතියක් තියෙනවා. ඒ තත්ත්වය ලෝකයේ කොහේ ගත්තත් දකින්න පුළුවන්. මම හිතනවා අද කෙටි චිත්‍රපටයට හොඳ තැනක් තිබෙනවා කියලා. නිරන්තරයෙන් සිදුකරන කෙටි චිත්‍රපට උලෙළවල් කීපයක් තියෙනවා. කොළඹ ජාත්‍යන්තර චිත්‍රපට උලෙළ ගත්තම එහි කෙටි චිත්‍රපට අංශයක් තිබුණා. ලෝකෙ වටේ හොඳම සිනමාකරුවන්ගේ චිත්‍රපට අතර අපේ අයගේ චිත්‍රපටත් පෙන්නුවා.
කෙටි චිත්‍රපට පෙන්නන්න තැනක් ලංකාවේ නැහැ. ඉස්සර අපිට මතකයි වෙන චිත්‍රපටයක් බලන්න ගියාම ඊට කලින් විනාඩි 15-20 කෙටි චිත්‍රපටයක් පෙන්නනවා. දැන් එහෙම තත්ත්වයක් නැහැ. ලෝකයේ දැන් මේක නැවතිලා තියෙනවා. එතකොට ඒ අවකාශය තමා චිත්‍රපට උලෙළවල් හරහා අලුත් උනේ.
වෙන රටවල කෙටි චිත්‍රපට පෙන්වන රූපවාහිනී නාළිකා තිබෙනවා. නමුත් අපේ රටේ එහෙම තත්ත්වයක් නැහැ. බොහොම කලාතුරකින් තමා කෙටි චිත්‍රපටයක් රූපවාහිනී නාළිකාවක පෙන්නන්නේ. මම හිතනවා තමන් කරපු කෙටි චිත්‍රපටයට ප්‍රතිචාර ලබාගන්න තිබෙන හොඳව අවස්ථාව කෙටි චිත්‍රපට උලෙළවල් කියා.
මම හිතන්නේ ඉස්සරහට මෙම උලෙළවල් තවත් වැඩි වේවි. දැන් ප්‍රා‘දේශීය මට්ටමින් පවා සංවිධානය වෙනවා. මම හිතන්නේ කෙටි චිත්‍රපට උලෙළවල් ප්‍රසාරණය වන තැනක තියෙන්නේ. හැකිලෙන්නේ නැහැ. ඒක හොඳ තත්ත්වයක්.
සටහන - සරසි නෙත්මිණී
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd