සිනමාව තුළ රංගන ශිල්පියෙකු ලෙස වැඩි ජනප්‍රියත්වයක් හිමි කරගෙන සිටින අර්ජුන් කමලනාත් පසුගිය කාලයේ තිරගත වූ ඉගිල්ලෙන්න ඇයි දඟලන්නේ සිනමා පටය හරහා අධ්යක්ෂණයට යොමු විය. මේ වනවිට ඔහුගේ දෙවැනි චිත්‍රපටයද නිර්මාණය වී ඇති අතර, එය කුසලෙ නමින් නම් කර තිබේ. මෙම වසරේදී තිරගත වීමට නියමිත එම චිත්‍රපටය සහ සිනමා කලාව පිළිබඳ සංවාදයකට ඔහු සම්බන්ධ කරගතිමු.
Q මුලින්ම කුසල් ගැන කතා කරමු?
ඉගිල්ලෙන්න ඇයි දඟලන්නේ චිත්‍රපටය තරුණ තරුණියන් වෙනුවෙන් සිදුකළ නිර්මාණයක්. නමුත් මෙවර මම කුසල් කියන චිත්‍රපටය නිර්මාණය කළේ ළමයින් වෙනුවෙන්. මෙහි ළමයෙක් උපයෝගී කරගෙන වැඩිහිටි මාතෘකාවක් කතා කරලා නැහැ. කුසල් කියන ප්‍රධාන චරිතය නිරූපණය කරන්නේ තිවිරු දිසානායක. ඔහු මෙවර ශිෂ්‍යත්වය කළ දරුවෙක්.
මෙම ශිෂ්‍යයාට මුහුණදීමට සිදු වූ සිදුවීම් සමුදායක් චිත්‍රපටය හරහා සාකච්ඡා කරනවා. මෙහි දෙබස් භාවිතාවේදීත් ළමයින්ට උචිත දෙබස් භාවිත කරන්න මම උනන්දු වුණා. මෙවැනි චිත්‍රපටයක් නිර්මාණය කිරීම මගේ හිතේ කාලයක් තිස්සේ තිබුණු අදහසක්. මම මේ චිත්‍රපටය සඳහා සුරතල් සුනඛයෙක් හා නාගයෙක් යොදාගනිමින් නිර්මාණාත්මක ඉදිරිපත් කිරීමක් කළා. ඉගිල්ලෙන්න ඇයි දඟලන්නේ චිත්‍රපටය මෙන්ම මෙයත් අලුත්ම අත්දැකීමක් වෙයි.
Q ඔබේ ප්‍රථම සිනමා නිර්මාණය සම්බන්ධයෙන් ගැටලුකාරී තත්ත්වයක් ඇති වුණා. එසේ සිදුවුවත් එය වාණිජමය වශයෙන් සාර්ථක කරගත හැකි වුණාද? මෙම නිර්මාණයට එය කෙලෙස බලපාවිද?
ඉගිල්ලෙන්න ඇයි දඟලන්නේ කියන්නෙ ඉතාම අඩු මුදලකින් කළ චිත්‍රපටයක්. එය වාණිජමය ලෙස සාර්ථකයි කියන්න අමාරුයි. ඔබ කියූ ලෙස එයට දැඩි ප්‍රහාරයක් එල්ල වුණා. චිත්‍රපට සංස්ථාවේ කිසිම කෙනෙක් ඒ වෙනුවෙන් පෙනී හිටියෙ නැහැ. ඒ මොහොතේ ප්‍රධානියා හරියට වැඩ කළා නම් නිලධාරීන් හරි දේ කරනවා. එහෙත් එහෙම නොවුණ නිසා මගේ චිත්‍රපටයට ප්‍රශ්න ආවා. එය රැකගැනීමට පාලනාධිකාරිය ක්‍රියාත්මක වුණේ නැහැ.
චිත්‍රපටය සාර්ථකව ප්‍රදර්ශනය වනවිටයි සිනමාහල්වලින් ඉවත් කළේ. සංඛ්‍යාලේඛන මට ඉදිරිපත් කළ හැකියි. මෙවර පිටින් ප්‍රහාර එල්ල වුණත් සංස්ථාව අපිව රැකගනියි කියන විශ්වාසය තියනවා. මාෆියාව තාම ක්‍රියාත්මකයි. එහෙත් සුබවාදීව හිතනවා, මෙය ළමා චිත්‍රපටයක්, අහිංසක චිත්‍රපටයක්, සුරතල් වැඩක් නිසා ඒක සුරතල් විදිහටම පෙන්න ගන්න පුළුවන් වෙයි කියලා.
Q කුඩා ළමයෙකු යොදාගෙන චිත්‍රපටයක් නිර්මාණය කළ පමණින් එය වාණිජමය වශයෙන් සාර්ථක කරගත හැකි යැයි ඔබ විශ්වාස කරනවාද?
කාලෙන් කාලෙට සිනමාවටත් රැලි එනවා. කොමඩි චිත්‍රපට, ජාතක කතා, වැඩිහිටියන්ට පමණයි වගේ රැලි එනවා. මගේ කුසල් චිත්‍රපටය හරහා දරු සෙනෙහස, අම්මා කෙනෙකුගේ ආදරය, ආදරය අහිමි දරුවන්ට වෙන ප්‍රශ්න, ලෝකෙටම දන් පිංකම් කරන මිනිස්සු නැතිබැරි ළමයෙක් මුණගැසුණු විට කෙලෙසද සලකන්නෙ ආදී දේ සාකච්ඡා කරනවා. විකට ජවනිකාත් මෙහි රැසක් තිබෙනවා. සමාජයම ආදරය කරන රංගන ශිල්පීන් රංගනයෙන් දායක වෙනවා. වාණිජමය ලෙස සාර්ථක කරගත හැකි සියලුම දේ මෙහි තිබෙනවා. මේ චිත්‍රපටය තුළ බෞද්ධ ආගම ගැන කතා කර තිබෙනවා. මම හිතන්නෙ මෙය නිදහසේ ප්‍රදර්ශනය කිරීමට හැකි වුණොත් වාණිජ වශයෙන් සාර්ථක කරගැනීම අපහසු වෙන එකක් නැහැ.
Q සිනමා නිර්මාණවලට සාපේක්ෂව ටෙලි නාට්‍යවල ඔබේ රංගන දායකත්වය දැකගන්න ලැබෙන්නෙ නැහැ ?
ටෙලි නාට්‍යවලට දායක වෙනවා අඩුයි. මේ වැඩකරන ක්‍රමවේදය එක්ක හරිම අමාරුයි. මේ වනවිට එහි පෙර තිබූ වැරදි හැදීගෙන එනවා. එය කිසියම් තැනකට ආවම ටෙලිනාට්‍ය රංගනය ගැන හිතනවා. පහුගිය වකවානුවේ ටෙලිනාට්‍ය නිර්මාණය වුණේ උණු ආප්ප දානවා වගේ. එහි වැරදිකරුවන් අධ්‍යක්ෂවරුන්වත්, රංගන ශිල්පීන්වත් නෙමෙයි, මේ ක්රමවේදයයි. රාජ්‍ය මාධ්‍යවල ටෙලි නාට්‍ය පෙන්නන විට මීට පෙර දොළපිදේනි දෙන්න සිද්ධ වුණා. එහෙත් ඉන් මිදිලා මේ ක්‍රම‘වේදය හැදුණම රංගනයෙන් දායකවෙන්න අදහසක් තිබෙනවා.
Q පසුගිය කාලවකවානුවේ චිත්‍රපට ප්‍රදර්ශනය කිරීමට පෝලිමේ තබාගෙන සිටීමට සිදුවන බව අහන්න ලැබුණා. මොකක්ද මේ තත්ත්වය?
ඔව්. අපට සිනමාකරුවන් ලෙස තිබුණු ලොකුම ප්රශ්නය තමයි විත්රපටයක් නිර්මාණය කළ පසු එය ප්‍රදර්ශනය කිරීම සඳහා තිබුණ ගැටලුව. විවිධ ධාරාවල චිත්‍රපට ප්‍රදර්ශනය වෙනවා. මේ වෙනකොට අජාසත්ත, ආත්ම වර්ෂා, ඔබ නැතුව ඔබ එක්ක යන චිත්‍රපට ප්‍රදර්ශනය වෙනවා. හොඳ චිත්‍රපටයක් සිදුකළොත් එය ප්‍රදර්ශනය කිරීමට හැකියාව තිබෙනවා.
මම හිතන විදිහට සිංහල සිනමාවේ තිබුණ අසුබම කාලයක් තමයි පසුගිය වසර දෙක තුන. චිත්‍රපට සංස්ථාවේ හිටපු සභාපති කළ සමහර ක්‍රියාදාම එක්ක තමයි එහෙම වුණේ. මේ වනවිට වර්තමාන සභාපතිවරයා පිළිබඳ හොඳ ආකල්පයක් තිබෙනවා. මම මේ චිත්‍රපටය සමග ඔහු පළමුවරට හමුවෙනවා. පසුගිය වසර තුනක කාලයේ චිත්‍රපට සංස්ථාව ගැන අපිට තිබෙන්නෙ වේදනාවක්. චිත්‍රපට සංස්ථාවේ සභාපති ක්‍රියාත්මක වුණේ පෞද්ගලික න්‍යාය පත්‍ර අනුව. අතීත වැරදි හදාගෙන වර්තමාන සිනමාව හොඳ තත්ත්වයකට පැමිණෙයි කියන විශ්වාසය තිබෙනවා.
Q කුසල් කොයි කාලයේ තිරගත වෙයිද?
මම චිත්‍රපටයක් නිර්මාණය කර තිබෙනවා. එහි රූගත කිරීම් අවසන්, නමුත් නිෂ්පාදකවරයාගේ ප්‍රශ්නයක් තිබෙනවා. එය යථා තත්ත්වයට පත්වූ පසු එය ප්‍රදර්ශනය කළ හැකියි. චිත්‍රපට මගේ ජීවිතය. මේ කුසල් චිත්‍රපටය ප්‍රදර්ශනය කිරීමෙන් අනතුරුව ජනතා අදහස් දැනගැනීමටත්, නව නිර්මාණ තුළින් ප්‍රේක්ෂකයා අතරට පැමිණීමත් තමයි බලාපොරොත්තුව.
නිදුක් මදුෂික