Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ADA
2025 ජනවාරි මස 20 වන සඳුදා
2025 ජනවාරි මස 20 වන සඳුදා
ප්‍රවීණ ගායන ශිල්පී කීර්ති පැස්කුවෙල්ගේ සංගීත දිවියට වසර 40ක් සපිරීම නිමිත්තෙන් මෙන්ම තවත් හේතූන් කිහිපයක් මුල් කරගනිමින් සංවිධානය කරනු ලබන 'කීර්ති ගී - EVOLUTION OF THE MUSIC BY KEERTHI PASQUEL' ප්‍රසංගය මේ මස 20 දින සවස 7.00ට බණ්ඩාරනායක අනුස්මරණ සම්මන්ත්රණ ශාලාවේදී පැවැත්වේ. මේ සටහන ඒ වෙනුවෙනි.
Q ඔබ මෙවර පැවැත්වීමට සූදානම් වන්නේ මොන වගේ ප්රසංගයක්ද?
මේ වසරේ මා පවත්වන ප්‍රසංගයේ නමත් යොදලා තියෙන්නේ කීර්ති ගී නමින්මයි. නමුත් මම මෙයට විශේෂණයක් යොදලා තියෙනවා. EVOLUTION OF MUSIC BY KEERTHI PASQUEL කියලා. මගේ සංගීත දිවියේ මුල් ආරම්භයේ සිට මේ දක්වා සංගීත ගමන තුළ සිදුවුණ සංගීත පරිණාමය තමයි මේ ප්‍රසංගය තුළින් මා පෙන්වීමට අදහස් කරන්නේ. පසුගිය කාලේ මම විවිධ තේමාවන් යටතේ සංගීත ප්‍රසංග පැවැත්වූවා.
Tribute to the Legends, Keerthi Acoustica, Unplugged live concert වැනි නම් වලින්. මේ හැම ප්රසංගයකින්ම මා උත්සාහ කළේ ප්‍රේක්ෂකයන්ට අලුත් අත්දැකීමක් ලබාදෙන්නයි. මේ වන විට මාගේ සංගීත ගමන් මගට වසර 40ක් පමණ වෙනවා. මා පැමිණි ගමන් මග පැහැදිලි කිරීම පිණිස ප්‍රසංගයක් පැවැත්විය යුතු යැයි මා විශ්වාස කළා.
Q මෙම ප්‍රංසගය තුළදී විශේෂ යමක් සිදුවෙනවාද?
මේ ප්‍රසංගය තුළදී සිදුවන විශේෂම දේ තමයි, ඒ ඒ කාලවකවානු වලට අදාළව මා විසින් පෙන්වන්නට යෙදෙන විශේෂ පුද්ගලයන්ට මම ආරාධනය කරනවා මාත් සමග ගීත ගායනා කරන්න. උදාහරණයක් විදිහට කියනවා නම් කැලිප්සෝ කණ්ඩායමේ සංගීතය ආරම්භ කළේ නෙවිල් ප්‍රනාන්දු කියන ප්‍රවීණ ශිල්පියා. ඔහු අද ජීවතුන් අතර නැහැ. එතුමාගේ සහෝදරයා ඉන්නවා එරල් ප්‍රනාන්දු. මේ එරල් ප්‍රනාන්දු කලකදී මා සමග කැලිප්සෝ සංගීතය වාදනය කළා.
ඒ සම්බන්ධතාව මත මා බලාපොරොත්තු වෙනවා එතුමාව කැඳවලා ඔහු සමග ගීත කිහිපයක් ගායනා කරන්න. කොටස් හතරකින් යුක්ත ප්‍රසංගයේ මුල් කොටස වෙන් වන්නේ කැලිප්සෝ කියන සංගීත ආරයටයි.
ඒ වගේම 70 දශකය නියෝජනය කරන්න මා ආරධනා කරනවා ඇනස්ලි මාලේවන කියන මගේ සහෝදර ගායන ශිල්පියාට. ඔහු සමගත් මම ගීත ගායනා කරනවා. ඔහුගේ ගීතත් මගේ ගීතත් එකතුව 70 දශකයේ සංගීත රසය උද්දීපනය කිරීමට අප මෙම දෙවන කොටසේදී උත්සාහ ගන්නවා.
ඒ වගේම 80 දශකයේ තමයි සංගීතය විවිධ වෙනස්කම් වලට භාජනය වුණේ. ඒ යුගය නියෝජනය කිරීම සඳහා මම ප්‍රවීණ ශිල්පිනියන් කිහිපදෙනෙකුට ආරාධනය කරනවා මා සමග ගීත ගැයීමට. ඒ අනුව නෙලූ අධිකාරි, සමිතා මුදුන්කොටුව හා නිරෝෂා විරාජිනී යන ශිල්පිනියන් මා සමග සම්බන්ධ වෙනවා. ඒ වගේම මගේ දියණිය චාරුණි පැස්කුවල් හා මගේ පුතු කසුන් පැස්කුවල් වගේම ලේලිය චේතනා රණසිංහත් මේ ප්රසංගයේදී යුග ගීත ගායනා කරනවා.
ඉන් අනතුරුව නව සංගීත ආරයට ගැයෙන අවසන් කොටසේදී ධම්මිකා බණ්ඩාර හා මරියසෙල් ගුණතිලක ගායනයෙන් සහාය වෙනවා. මෙම විවිධ යුග ගීතත්, සමග විවිධ සංගීත ක්‍රම ඔස්සේ ප්‍රේක්ෂකයන්ට අලුත් අත්දැකීමක් මෙම ප්‍රසංගය තුළින් ලබාගන්නට හැකිවේවි කියා මා විශ්වාස කරනවා.
Q මේ ප්‍රසංගයට සමගාමීව ඔබගේ නවතම ගීත එකතුවක් නිකුත් වෙනවා. ඒ පිළිබඳ යමක් පවසනවා නම්?
මේ ප්රසංගයේදී මගේ නවතම ගීත 18ක් අඩංගු සංයුක්ත තැටියක් නිකුත් වෙනවා 'තරු පොකුරු' නමින්. එහි අඩංගු ගීත පිළිබඳ යමක් පවසනවා නම්, මෙයට සම්බන්ධ බොහෝ පිරිස ආධුනිකයන්. නමුත් ඒ අය බොහෝම නිර්මාණශීලියි. මෙයට යුග ගීත 6ක් ඇතුළත් වෙනවා. එයින් වැඩි ගීත ප්‍රමාණයක් මා ආධුනික ශිල්පිනියන් සමග තමයි ගායනා කර තිබෙන්නේ. මෙහිදී මා අදහස් කළේ, නව පරපුරේ ශිල්පීන්ට නිර්මාණකරුවන්ට සහයෝගය දැක්වීම හා ඒ අය සමග එකට කටයුතු කිරීම හරහා ප්‍රවීණයෙකු ලෙස අනෙකුත් අයට ආදර්ශයක් ලබා දීමයි. ඒ වගේම නව පරපුර දිරිමත් කිරීමක් මේ තුළින් සිදුවෙනවා.
මමත් ආධුනිකයෙක්ව සිටියදී ආසාවෙන් හිටියා ප්‍රවීණයන් සමග වැඩ කරන්න. නමුත් සමහර ප්‍රවීණයන් මාව ප්‍රතික්ෂේප කළා. අද දවසේ මමත් ඒ දේ කළොත් ආධුනිකයන්ගේ මග ඇහිරීමක් ලෙසයි මා දකින්නේ. ඒ නිසා මා නිර්මාණකරණයේදී ගීත රචනය, සංගීත නිර්මාණය හා යුග ගායනය කරන ආධුනිකයන්ට අත දෙන්න පසුබට වන්නේ නෑ.
Q මෙම ප්‍රසංගය පැවැත්වීමේ විශේෂ අරමුණක් තිබෙනවාද?
ඇත්තෙන්ම මම හැම ප්‍රසංගයක්ම පවත්වන්නේ යම්කිසි සද්ක්‍රියාවක් පාදක කරගෙනයි. මෙවර මාගේ බලාපොරොත්තුව අනුරාධපුරයේ එහෙම නැත්තම් උතුරු ප්‍රදේශයේ වෙසෙන වකුගඩු රෝගයෙන් පෙළෙන අපේ සහෝදර ජනතාවට යම්කිසි සේවාවක් කරන්න. මට දැනගන්න ලැබුණා එම රෝගයට ප්‍රතිකාර ලැබීමට විවිධ ප්‍රදේශවලින් පැමිණෙන රෝගී ජනතාවට නවාතැන් පහසුකම් නගරය තුළ අවමව ඇති බව.
ඒ නිසා මා සැලසුම් කරනවා නවාතැන් ගැනීමට පහසුකම් ලබාදීමට. මේ කටයුත්ත සඳහා මට බොහෝ පිරිසකගේ සහයෝගය ලැබෙනවා. ඉතිං මම බලාපොරොත්තු වෙනවා මෙම ප්‍රසංගයෙන් යම් ලාභයක් ලැබුණොත් එයින් යම් කොටසක් මෙම සද්ක්‍රියාව සඳහා යොදවන්න.
Q ඔබ ශ්‍රී ලාංකේය ගායක ගායිකා සංගමයේ වත්මන් සභාපතිවරයා. පසුගියදා රාජ්‍ය අනුග්‍රහය යටතේ ඔබගේ සංගමයට ලක්ෂ 250ක මුදල් පරිත්‍යාගයක් ලැබුණා නේද?
ඔව්. ඇත්තටම පසුගිය අප්‍රේල් 03 වෙනිදා තමයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා අතින් අපට මේ මුදල ලැබුණේ. මේ සඳහා අපි වසරකුත් මාස 03ක පමණ කාලයක් උත්සාහ ගත්තා. ඒ උත්සාහයේ ප්‍රතිඵලයක් ලෙස තමයි අපට මේ මුදල ලබාගන්නට හැකිවුණේ. මුදල් ඇමති රවී කරුණානායක මැතිතුමා තමයි මෙම මුදල අපට මුලින්ම යෝජනා කළේ අයවැයෙන් අනුමත වෙලා තියෙන බව දැනුම් දීලා.
ඒ බව අපට දැනුම් දුන්නේ 2016 ජනවාරි 31 වන දින බණ්ඩාරනායක සම්මන්ත්රණ ශාලාවේදී පැවැත්වුණ 'යුග යුග හද රැඳි ගී' කියන අප ගායක ගායිකා සංගමයෙන් සංවිධානය කළ ප්‍රසංගයේදීයි. ජනාධිපතිතුමාත්, මුදල් ඇමතිතුමාත් මෙම ප්‍රසංගයට විශේෂ ආරාධිතයින් ලෙස සහභාගී වුණා. එදා දවසේදී තමයි එතුමන් ප්‍රකාශ කළේ මෙම මුදල ඔබ වෙනුවෙන් වෙන් කර තියෙනවා. ඒ සඳහා ඉතිරි කටයුතු ඉදිරියේදී කරගෙන යමු කියලා.
ඒ සඳහා අවශ්‍ය සියලුම ලියකියවිලි සකසා දී අප අවස්ථා ගණනාවක් සාකච්ඡා පවත්වලා, අවසාන ප්‍රතිඵලය පසුගිය අප්‍රේල් 03 වන දින ලබාගත්තා. මම හිතනවා මෙතෙක් කල් ඉතිහාසයේ කිසිම කලා සංවිධානයකටවත්, කලාකරුවෙකුටවත් රජයට සම්බන්ධව සිටින කලාකරුවන්ටත් කරගැනීමට නොහැකි වූ දෙයක් තමයි අපට මේ විදියට කරගැනීමට අවස්ථාව උදා වුණේ. මාගේ සභාපති ධූර කාලයේදී මෙය ලබාගැනීමට හැකිවීම අප හැමෝගෙම වාසනාවක් විදියට තමයි මා සලකන්නේ.
Q මෙම මුදල් කලාකරුවන්ගේ අභිවෘද්ධිය සඳහා යොදවන්නේ කොහොමද?
මෙම මුදල ලැබුණේ ගායක ගායිකා සංගමයට. මෙම සංගමයේ වයස අවුරුදු 65ට වැඩි ශිල්පීන්ට අපි විශ්‍රාම වැටුප් ක්‍රමයක් සූදානම් කරනවා. එය ගෙවන්නේ මෙම මුදල් තැන්පත් කර ලැබෙන පොලී මුදල් උපයෝගී කරගෙනයි. විශේෂයෙන්ම කියන්න ඕන ගායක සංගමයට මෙම මුදල ලැබුණට, මෙය තවත් සුරක්ෂිත වන ලෙස භාරකාර මණ්ඩලයක් අප විසින් ලියාපදිංචි කළා. භාරකරුවන් හත් දෙනෙකුගෙන් සමන්විතව අප සංගමයේම සාමාජිකයින් හත්දෙනෙක් මෙහි භාරකරුවන් ලෙස කටයුතු කරනවා.
ඒ වගේම භාරකාර අරමුදලක් අප ආරම්භ කළා. ඒ අනුව රජයේ බැංකුවක මේ මුදල තැන්පත් කරනවා. එයට ලැබෙන පොලී අනුපාතයෙන් තමයි මේ සියලුම දේවල් සංවිධානය වන්නේ සහ මෙහි සියලුම පරිපාලන කටයුතු සිදුවන්නේ. ගායක ගායිකා මණ්ඩලයේ සභාපති ලෙස මටත්, එම නිලධාරී මණ්ඩලයටත් මෙම මුදලටවත්, මෙම මුදලින් කෙරෙන කටයුතු වලටවත් කිසිදු විදියක ඇඟිලි ගැසීමක් කරන්න බැහැ.
මෙම මුදල් සියයට සියයක්ම කලාකරුවන්ගේ සුබසාධනය සඳහාම තමයි අප යොදවන්නේ. මම කිව්වා කලින් මෙම මුදල අපට ලැබුණේ ගායක ගායිකාවන්ගේ අභිවෘද්ධිය සඳහා බව. නමුත් එතැනින් එහාට ගිහිල්ලා ගායනයට සම්බන්ධ වූ අනෙක් ක්ෂේත්රයන්හී වාදකයන්, සංගීත අධ්යක්ෂවරුන්, ගීත රචකයන් හදිසි අවස්ථාවන්හී අකර්මණ්‍ය වුවහොත්, ඒ අයගේ ජීවනෝපාය කරගෙන යාමට අපහසුතාවකට පත්වුවහොත් ඒ අයට උදව් කරන්න අප කටයුතු සූදානම් කරල තියෙනවා.
ඒ වගේම යම් කලාකරුවෙකුගේ මරණයක් සිදුවුවහොත් ඒ වෙනුවෙන් යම් අනුග්‍රහයක් දක්වන්නටත් අපි කටයුතු කරනවා. ඒවා තමයි අපි කරන්නට බලාපොරොත්තු වන දේවල්. මේ අරමුදල අනුව ලක්ෂ දෙසිය පනහට ලැබෙන පොලිය ගත්තොත් එය ලොකු මුදලක් නොවේ. නමුත් අපට මෙම මුදල තව වැඩිකර ගැනීමට හැකියාව ලැබුණොත් ජනතාවගේ සහයෝගය ලබලා සහ වෙනත් වෙනත් ව්‍යාපෘතිවලින් මෙයට වඩා වැඩි මෙහෙයක් කලාකරුවන් වෙනුවෙන් කිරීමට හැකිවෙතැයි අප විශ්වාස කරනවා.
Q ඔබ ලද මේ අවස්ථාව ප්‍රයෝජනයට ගෙන දිගටම සභාපති ධුරයේ රැඳීසිටීමට අදහස් කරනවාද?
ගායක ගායිකා සංගමය කියන්නේ වසර 25ක් පැරණි විවිධ සභාපතිවරුන් ලේකම්වරුන් සහ විවිධ නිලධාරී මණ්ඩලවලින් පවත්වාගෙන ආපු සංවිධානයක්. මේ සංවිධානයට මම පත්වෙලා දැනට වසර එකහමාරක පමණ කාලයක් වෙනවා. මගේ මේ දෙවැනි ධුර කාලයයි ගත කරන්නේ. වසර 2ක් අවසන් වන විට මගේ කාලය අවසන් වෙනවා. ගායක ගායිකා සංගමයේ ඉන්න ඕනෑම කෙනෙක් සහ මහජනතාවත් දන්නවා මෙතෙක් කතාබහට ලක් නොවුණු මේ ගායක ගායිකා සංගමය මේ වන විට යම් ප්‍රගතියක් ලබා තිබෙන බව.
කවුරුන් හෝ කියනවා නම් කීර්ති පැස්කුවල් කියන කලාකරුවා මේකට මූලික වුණ බව, මට නිහතමානීව සතුටු විය හැකියි. මම හිතනවා මට කරන්න පුළුවන් උපරිම ශක්තියෙන් මා විසින් කළයුතු සේවාව කලාකරුවන් වෙනුවෙන් කලා කියලා. ඉතිං මම කළේ මෙම තනතුරේ රැඳී සිටීම නෙවෙයි, කළ හැකි දේ කරමින් කලාකරුවන්ට සේවයක් කිරීමයි.
ඒ අනුව මම මේ තනතුරේ තවදුරටත් ඉන්නවාද නැද්ද කියන ඒක තීරණය කරන්න පුළුවන් සාමාජිකයන්ට. සාමාජිකයන් කැමති නම් මාව මේ තනතුරේ තියා ගනීවි. හැබැයි ඒකත් ලේසි නෑ. එයටත් පවතින ව්‍යවස්ථාව වෙනස් කරන්න ඕනෑ. මොකද එක නිලධාරියෙකුට එක තනතුරක රැඳී සිටිය හැක්කේ වසර දෙකක කාලයක් පමණයි.
ඉතිං කැමැත්තෙන් හෝ අකමැත්තෙන් ලබන සැප්තැම්බර් මාසයේදී මට මේ තනතුරෙන් ඉවත් වෙන්න සිදුවෙනවා. මට හිතෙනවා මම හිටපු අවුරුදු 2ක කාලය ඇතුළත මගෙන් විය යුතු උපරිම සේවය කළා කියලා. ඒ නිසා බොහොම තෘප්තිමත්ව නිහතමානීව මෙතනින් යන්න මම බලාපොරොත්තු වෙනවා.
Q අවසාන වශයෙන් මෙම ප්‍රසංගය පිළිබඳ ඔබගේ රසිකයින්ට පවසන්නට ඇත්තේ කුමක්ද?
ඇත්තටම මෙම ප්‍රසංගය මගේ ජීවිත කාලයේදී එක්වරක් පමණක් පැවැත්විය හැකි ප්‍රසංගයක් කියලා මම කියන්නට කැමතියි. එයට හේතුව කෙනෙකුගේ අතීතය ආවර්ජනය කරමින් ජීවිත කාලය තුළම සංගීත ක්ෂේත්රයේ ලක්වුණ වෙනස්කම් වලට භාජනය වෙමින් මේ ආපු ගමන් මග මට හැමදාමත් නැවත නැවත පෙන්වන්නට බැහැ. ඒ නිසා මම හිතනවා යම්කිසි සංධිස්ථානයකට අද දවසේ පැමිණ ඉන්නවා කියලා.
මම මේ සංගීත ක්ෂේත්රය තුළ ගමන් ආරම්භ කරපු විදිය, කෙමෙන් කෙමෙන් මෙම ගමන දියුණු කරගත්ත විදිය සහ අද දවසටත් ජනතාව තුළ මගේ ජනප්‍රියත්වය රඳවා ගනිමින් කටයුතු කරන විදිය මට හොඳට මතකයි. ඕනෑවට වඩා ඉහළට යන්නෙත් නැතිව, ඕනෑවට වඩා පහළට යන්නෙත් නැතිව, දක්ෂතාවය රඳවා ගැනීමට හැකි වූ කලාකරුවෙක් විදියට තමයි මම මා ගැන දකින්නේ. ඉතිං මට ඉදිරියේදී මීට වඩා අලුතින් දෙයක් කරන්නට ලැබේවි කියලා විශ්වාස කරන්නේ නෑ.
ඒ නිසා මෙම සංගීත ප්‍රසංගය මට ඇත්තටම සුවිශේෂයි. ඒ වගේම මගේ රසිකයන් හෝ ගීත ප්‍රියකරන කවුරුන් හෝ ඉන්නවා නම් ඒ අයටත් මෙම ප්‍රසංගය වැදගත් වේවි කියා මා විශ්වාස කරනවා. මොකද තමා ප්‍රියකරන කලාකරුවන්ගේ ජීවිතයේ සන්ධිස්ථාන පිළිබඳව යම්කිසි විමර්ශනයක් හෝ දැක බලාගන්න අවස්ථාවක් මෙමගින් සැලසෙනවා.
ඒ නිසා මම හිතනවා මගේ දයාබර රසිකයන්, මට ආදරය කරන පිරිස මෙම ප්‍රසංගය නරඹලා එදා දවසේ මගේ ජීවිතයේ කොටස්කරුවන් බවට පත්වන්නට සාක්ෂිකරුවන් වේවි කියලා. ඉතිං මා ඉතාමත් ආදරයෙන් ආරාධනා කරනවා මේ මස 20 වැනිදා සවස 7.00 ට බණ්ඩාරනායක අනුස්මරණ සම්මන්ත්රණ ශාලාවට එන්න, මේ ප්‍රසංගය නරඹන්න මා හා සතුට බෙදාගන්න කියලා.
077 3 023 697
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd