'සිරස ජූනියර් සුපර් ස්ටාර්' යනු ලංකාවේ ඉහළ ප්‍රේක්ෂක ප්‍රතිචාර ලබාගත් වැඩසටහනකි. මේ වන විට එහි අවසන් අදියරට සියල්ල සූදානම්ය. එහි අවසන් මහා තරගය රත්මලාන ස්ටයින් මැදිරියේදී අද (10දා) රාත්‍රි 7.00 සිට පැවැත්වීමට නියමිතය. අවසන් තරගය සඳහා තරගකරුවෝ සිවුදෙනෙක් සුදුසුකම් ලැබූහ. සුදුසුකම් ලැබූ තරගකරුවන් සිවුදෙනා සමග 'අද' මෙලෙස සම්මුඛ විය.
රොවෙන් අර්ල්
ශාස්ත්‍රීය ගීතම තමයි මම අවසන් තරගයට තෝර ගන්නෙ
මේ වන විට 'සිරස ජූනියර් සුපර් ස්ටාර්' තරගයේ අවසන් අදියරේ ඔබ ඉන්නෙ. මේ දක්වා පැමිණි ගමනගැන මතක් කළොත්?
මගේ ගම පිළියන්දල.මගේ අක්කා තමයි මේ තරගයට අයදුම් කරලා තිබුණේ. මම මෙවැනි තරගයකට සහභාගි වෙලා නැහැ. පාසල් මට්ටමින් සමස්ත ලංකා තරගවලට එහෙම මම සහභාගි වෙලා තියෙනවා. සමස්ත ලංකා ඒකල ශාස්ත්‍රීය ගායනා තරගවලින් වසර තුනක් පිටපිට මට ජයග්‍රහණ ලබා ගන්න හැකි වුණා. මම ජූනියර් සුපර් ස්ටාර් තරගයට සහභාගි වෙලා හොඳින් ගීත ගායනා කළා. අවසන් විසිහතර දෙනාට තේරෙන්න මට පුළුවන් වුණා. අන්තිම විසිහතර දෙනාගේ වටය ගොඩක් තරගකාරී වුණා. මම එයටත් හොඳින් මුහුණ දීලා අවසන් හතර දෙනා අතරට තේරී පත්වුණා. මේ තරගයේ ආපු ගමනේ ලොකු අත්දැකීම් ලැබුණා. අපි නොදැන හිටපු ඉතා හොඳ පැරණි ගීත ගායනා කරන්න අවස්ථාවක් ලැබුණා. එහෙම ඇවිත් අවසන් හතර දෙනා දක්වා එන්න ලැබුණ එක ගැන මට සතුටුයි.
අවසන් තරගයට තිබෙන සූදානම කෙබඳුද?
තරගයට හොඳ සූදානමක් තිබෙනවා. මේ වන විට ඒ තරගයට පුහුණු වීම් සිදු වෙනවා. මම මේ තරගයේ දිගටම වගේ ගායනා කළේ ශාස්ත්‍රීය ගීත. ඒ ශෛලියේම ගීත තමයි මම අවසන් තරගයට තෝර ගන්නේ. මම හිතනවා එය වෙනසක් වෙයි කියලා.
තරගය ජයග්‍රහණය කළොත් මොනවද කරන්න බලාපොරොත්තු වෙන්නේ?
මට තරගය ජයග්‍රහණය කරන්න ලැබුණොත් මේ වන විට ලංකාවේ පවතින සංගීත ආරට යම් වෙනසක් කරන්න බලාපොරොත්තු වෙනවා. මේ වෙද්දි අපට අහන්න දකින්න ලැබෙන්නේ ඒකාකාරී ගීත. ඒ ගීතම නිර්මාණය කරන්නේ නැතුව වෙනස් හොඳ නිර්මාණ කරන්න තමයි මම බලාපොරොත්තු වෙන්නේ.
අවසන් තරගයට තේරීපත්ව සිටින අනෙක් තරගකරුවන් තිදෙනා ගැන මොනවගේ අදහසක්ද තියෙන්නේ?
මේ තරගාවලියේදී හොඳ යාළුවෝ ටිකක් හම්බ වුණා. මේ තුන්දෙනා වගේම මේ විසිහතර දෙනාම එක වගේ. හොඳ සහෝදර සහෝදරියෝ ටිකක්.
පවුලේ විස්තර හා මතක් කළ යුතු අය ගැන කිව්වොත්?
අම්මයි, තාත්තයි, අක්කයි, මමයි. මගේ පවුල තුළම සංගීත පසුබිම තිබෙනවා. අම්මටයි, තාත්තටයි දෙන්නටම සංගීත භාණ්ඩ වාදනය කිරීමේ හැකියාව තිබෙනවා. මගේ අක්කත් මේ වන විට සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයේ තුන්වන අවුරුද්දේ ඉගෙනුම ලබන්නේ. මම සියලු දෙනාටම ස්තුතිවන්ත වෙන්න ඕන. මගේ අක්කා තමයි මට ගොඩක් උදවු කරන්නේ. වසන්ත අරුණ පත්මසිරි සර්ගෙන් සංගීතය ඉගෙන ගන්නේ. ඔහුවත් මතක් කළ යුතුයි. ඔහු මගේ පාසලේ සංගීත ගුරුවරයා.
ජූනියර් සුපර් ස්ටාර් තරගයෙන් පසුව තිබෙන අනාගත බලාපොරොත්තු මෙනවද?
මේ වන විට මම ඇරව්වල විද්‍යාලෝක මහ විද්‍යාලයේ ඉගෙන ගන්නවා. මම එහි කලා අංශයෙන් උසස් පෙළ හදාරනවා. මම සංගීතය, නාට්‍යය හා රංග කලාව, මාධ්‍යය අධ්‍යයනය යන විෂයයන් තමයි හදාරන්නේ. මට තියන බලාපොරොත්තුව සංගීත කථිකාචාර්යවරයෙක් වීම. ඒ වගේම හොඳ ගීත නිර්මාණ කරලා යම් වෙනසක් කරන එක තමයි බලාපොරොත්තුව.
පින්සර මධුභාෂණ
ජයග්‍රහණය කරයි කියලා පොඩි විශ්වාසයක් තියෙනවා
'සිරස ජූනියර් සුපර් ස්ටාර්' තරගයේ මේ දක්වා පැමිණි ගමන්මග ගැන මතක් කළොත්?
මගේ ගම අම්පාර. අම්පාර මගේ ගම වුණත් මම පාසල් යන්නේ කොළඔ ඉසිපතන විද්‍යාලයට. මේ වන විට මම ඉසිපතන විද්‍යාලයේ නව වැනි ශ්‍රේණියේ ඉගෙන ගන්නේ. ඒ නිසා මම කොළඔ නරත වෙලා ඉන්නේ. අපේ අම්ම තමයි මේ තරගයට අයදුම්පත් යොමුකළේ. මම මෙවැනි තරගයකට මීට පෙර ඉදිරිපත් වෙලා නැහැ. මෙය මගේ පළමු තරගය. මේ තරගය තුළ ඉතාම සුන්දර අත්දැකීම් ගොඩක් අපට විඳින්න ලැබුණා. මේ තරගය තුළ මට ගායනා කරන්න ලැබුණෙත් මේ වන විට මේ සමාජයේ එතරම් අහන ගීත නෙමෙයි. එය හොඳ දෙයක්. අපටත් එහෙම ගීත අහන්න ලැබුණේ නැහැ. විසිහතර දෙනාගේ වටයට අවිත් අවසන් තරගයට තේරුණ එක ගැන මම ගොඩක් සතුටු වෙනවා.
පින්සර අවසන් තරගයට තිබෙන සූදානම කෙබඳුද?
මේ වන විට පුහුණු වීම් සිදු වෙනවා. අවසන් තරගයේදී හින්දි ගීත දෙකක් ගායනා කරන්න තමයි මම බලාපොරොතු වෙන්නේ. ඒ වගේම හොඳින් ඒ ගීත ඉදිරිපත් කරන්නත් මම බලාපොරොත්තු වෙනවා.
පින්සරට තරගය ජයග්‍රහණය කරන්න ලැබුණොත් මොකද කරන්නේ?
ජයග්‍රහණය කරයි කියලා පොඩි විශ්වාසයක් තියෙනවා. හොඳ තරගයක් තියෙනවා. බලමු. මම අවසන් තරගයේ ඒ අත්දැකීම ලබන්න ගොඩක් ආසයි.
පවුලේ විස්තර සහ මතක් කළ යුතු අය ගැන කතා කළොත්?
මට අයිය කෙනෙක් ඉන්නවා. අම්මයි, අප්පච්චියි හතර දෙනාම සංගීතය සිදු කරනවා. මට ඒ තුන්දෙනා තමයි ගීත ඉගැන්නුවේ. ඒ අය වගේම මට උදවු කළ හැම දෙනාවම මතක් කරන්න ඕන.
ජූනියර් සුපර් ස්ටාර් තරගයෙන් පස්සේ පින්සර මොනවා කරන්නද බලාපොරොත්තු වෙන්නේ?
මං හරි කැමැති අන් අයට උදවු කරන්න. ගායනය පැත්තෙන් ඉදිරියට යන්න බලාපොරොත්තු වෙනවා. ඒ වගේම හොඳින් ඉගෙන ගෙන කැම්පස් ගිහින් උපාධියක් ගන්න තමයි මම හිතන්නේ.
ඉෂිනි තමෝද්‍යා ජයතිලක
උපරිමයෙන් හැකියාව දක්වලා තරගය ජයග්‍රහණය කරන්න මම බලාපොරොත්තු වෙනවා.
'සිරස ජූනියර් සුපර් ස්ටාර්' තරගයේ මේ දක්වා ඉෂිනි පැමිණි ගමන් මග ගැන මතක් කළොත්?
මගේ ගම හිඹුටාන. මගේ අම්මයි, තාත්තයි තමයි මාව මේ තරගයට යොමුකළේ. මේක මගේ පළමු තරගය. මේ වන විට මම කොළඔ ගෝතමී බාලිකා විද්‍යාලයේ 12 වසරේ ඉගෙන ගන්නවා. මම පොඩිකාලේ ඉඳලා සංගීතයට කැමැතියි. මම පාසලේදීත් සංගීතය තමයි හදාරන්නේ. මේක හරිම වෙනස් තරගයක්. මේ තරගයෙන් ගොඩක් දේවල් ඉගෙන ගත්තා. එය අපේ ජීවිතයට ගොඩක් වැදගත්. ඒ වගේම සංගීත දැනුම ගොඩක් වැඩි වුණා. සමාජ දැනුම වැඩි වුණා. ඒ ගැන හිතද්දි මට ගොඩක් සතුටුයි
අවසන් තරගයට ඉෂිනිගේ සූදානම කොහොමද?
මේ වෙද්දි අවසන් තරගයට සූදානම් වෙලා තියෙන්නේ. මගේ ජීවිතයේ කඩයිමක් වූ ගීතයක් තිබෙනවා. යූ-ටියුබ් වන් මිලියන් වීව්ස් ගත්ත %වක්කඩ ළඟ^ කියන ගීතය මම ගායනා කරනවා. මගේ අනිත් යාළුවෝ තුන්දෙනාත් ගොඩක් දක්ෂයි. පුළුවන් උපරිමයෙන් හැකියාව දක්වලා තරගය ජයග්‍රහණය කරන්න මම බලාපොරොත්තු වෙනවා.
තරගය ජයග්‍රහණය කරයි කියලා විශ්වාසයක් තියෙනවාද?
මං ගැන මට මුල ඉඳලම විශ්වාසයක් තිබුණා. ඒ විශ්වාසය තාමත් එහෙමම තමයි.
පවුලේ විස්තර හා මතක් කළ යුතු අය ගැන කිව්වොත්?
මගේ අම්මයි, තාත්තයි මට සංගීතය ඉගැන්වූ පාසලේ ගුරුවරුන්ටත් සංගීතය ගැන ඉගැන්වූ සියලු දෙනාටම ස්තූතියි. ඒ වගේම මුල ඉඳන් මේ තරගය එක්ක ඉඳලා අපට මනාප පළකළ හැමදෙනාටම ස්තුතියි. ඒ වගේම අවසන් මහා තරගයේදීත් අපිත් එක්ක ඉන්න කියලා මම කියනවා. ඒ අයට ස්තුතියි. ඒ ආදරය තරගයෙන් අනතුරුවත් දිගටම තියා ගන්න කියන්න කැමැතියි.
මේ තරගයෙන් පසුව අනාගතයේ මොන වගේ දෙයක් කරන්නද බලාපොරොත්තු වෙන්නේ?
මගේ අධ්‍යාපන කටයුතු සාර්ථකව කරගන්න තමයි මම මුලින්ම බලාපොරොත්තු වෙන්නේ. උසස් පෙළ විභාගය හොඳින් පාස් වෙලා කැම්පස් යන්න බලාපොරොත්තු වෙනවා. ඉතිහාසය කියන විෂයය ධාරාව හොඳින් ඉගෙන ගෙන එයින් උපාධියක් ගන්න බලාපෙරොත්තු වෙනවා. ඒ වගේම මට පුළුවන් විදියට ගොඩක් අයට උදවු කරන්නත් බලාපොරොත්තු වෙනවා.
සුමීරක අදීප
ප්‍රේක්ෂකයන්ගේ සිත් ගන්නා අයුරින් අවසන් තරගයේදී ගීත ගායනා කරනවා
'සිරස ජූනියර් සුපර් ස්ටාර්' තරගයේ මේ දක්වා අදීප පැමිණි ගමන්මග ගැන මතක් කළොත්?
මම රත්නපුරේ කුරුවිට. මම පාසල් යනවා. රත්නපුර ශාන්ත ලුසියා විද්‍යාලයට යන්නේ. මම ඒ පාසල තුළ සාමාන්‍ය විදියට ඉගෙන ගන්නවා. මගේ පොත්වල සටහන් ලියලා දෙන්නේ යාළුවෝ. මම හොඳින් ඉගෙන ගන්න හිතනවා. මම යොමුවූ පළමු තරගය මේක. මේ තරගයේ එස්.එම්.එස්. වටයට එන්න ගොඩක් මහන්සි වුණා. මම ගොඩක් මහන්සි වෙලා ගීත පුහුණු වීම් කළා. ඒ ගැන මට සතුටුයි. දැන් මම අවසන් තරගයට තේරිලා ඉන්නේ.
අවසන් තරගයට අදීපගේ සූදානම කෙබඳුද?
මම එදිනට ගායනා කරන ගීත හොඳින් පුහුණු වෙනවා. ඒ ගීත හොඳින් පුහුණු වෙලා ප්‍රේක්ෂකයන්ගේ සිත් ගන්නා අයුරින් අවසන් තරගයේදී ගීත ගායනා කරනවා.
අදීප අවසන් වටයේදී ගායනා කරන්න සූදානම් වෙන්නේ මේ තරගය තුළදී ඔබ ගායනා කර තිබෙන ගීතයක්මද?
මම මුලින්ම ගායනා කළ 'වීදි කොනේ' කියන ගීතය ගායනා කරන්න තමයි මම බලාපොරොත්තු වෙන්නේ. ඒ වගේම මිල්ටන් පෙරේරා සර්ගේ ගීත හතරක් එක් කළ ගී නිර්මාණයක් ගායනා කරන්න බලාපොරොත්තු වෙනවා.
අවසන් තරගයට තේරිලා ඉන්න අනිත් තරගකරුවන් තුන්දෙනා ගැන මොකද හිතෙන්නේ?
හොඳ යාළුවෝ තුන්දෙනෙක්. හොඳින් ගීත ගායනා කරනවා ඒ තුන්දෙනත්.
පවුලේ විස්තර හා මතක් කළ යුතු අය?
මට ගෙදර අය ගොඩක් සහයෝගය දුන්නා. අපේ බාප්පාත් ගොඩක් උදවු කරනවා. ඒ හැමදෙනාම මතක් කරනවා. මට කීබෝඩ් එකෙන් ගීත පුරුදු කළේ චාමික අයියයි, චන්දි මාමයි. ඒ දෙන්නව මතක් කරන්න ඕන. ඒ වගේම මගේ ඉස්කෝලේ සංගීත ටීචලා දෙන්නව මතක් කරන්න ඕන. රත්නපුරේ ඉඳන් බස් එකේ එන්න එහෙම ෂමිල සර් ගොඩක් උදව් කළා. එයාවත් මතක් කරන්න ඕන.
මේ තරගයෙන් පසුව අදීපගේ බලාපොරොත්තුව මොකක්ද?
හොඳ ගායකයෙක් වෙලා ජනතාවටගේ ආකර්ෂණය ගන්න පුළුවන් නිර්මාණ කරන එක තමයි බලාපොරොත්තුව.