පසුගිය මැයි 3 වැනිදා මහවැලි කේන්ද්‍ර ශ්‍රවණාගාරයේ පැවති සෝමවීර සේනානායකයන් රචිත සරසවි ප්රකාශනයක් ලෙස එළිදුටු 'පළිඟු මැණිකේ' තිර රචනය ජනගත කෙරුණු දා ජාතික රූපවාහිනියේ වත්මන් සභාපති නීතිඥ රවී ජයවර්ධන මහතා කළ කතාවයි මේ.
''ශ්‍රව්‍ය මාධ්‍ය මනාව දැන මාධ්‍ය හසුරවන ලද ජාතික රූපවාහිනියටත් සම්පතක් වූ ධම්ම ජාගොඩ කලාකරුවා සමරන මේ මොහොතේ මෙන්ම සෝමවීර සේනානායක කලාකරුවාද ඇගයෙන මේ මොහොතේ රූපවාහිනී සංස්ථාව වෙනුවෙන් මට කතා කිරීමට ලැබීම සතුටක්. එදා ලංකාවේ රූපවාහිනිය බිහිවූ යුගයේ අරමුණු කරගත් රූපවාහිනී කලාව අද කරනවාද යන්න රූපවාහිනී සංස්ථාවේ සභාපතිවරයා හැටියට වුණත්, මටත් මේ මොහොතේ ගැටලුවක් ලෙස හිතේ පවතිනවා.
ජාතික රූපවාහිනිය කියන්නේ එක ආයතනයක් විතරයි. තව ටෙලිවිෂන් මාධ්‍ය ආයතන විසි ගණනක් මේ රටේ තියෙනවා. හැත්තෑ හතේ මේ රටට පැමිණි විවෘත ආර්ථිකය රට පුරා ව්‍යාප්ත වෙලා ඉන් සමාජය වෙනස් වූ ආකාරය වසර කිහිපයක් තුළ ග්‍රහණය කරගන්නට සෝමවීර සේනානායකයන් සමත්වීම තමයි 'පළිඟු මැණිකේ' වැනි විශිෂ්ට ටෙලිනාට්‍යයක් රූපවාහිනියේ බිහිවීම.
එදා හැත්තෑ හතේ වූ සමාජ පරිවර්තනයට සමගාමීව අද වන විට රටේ සියලුම නාළිකා විශාල වෙනස්වීමකට භාජනය වෙලා. 'පළිඟු මැණිකේ' ප්රස්තුත කර ගත්තේ විවෘත ආර්ථිකය තුළින් මුදල මූලික වූ වාණිජවාදී සමාජය රට ගිලගත්ත අන්දමයි. 'පළිඟු මැණිකේ' ප්‍රදර්ශනය වෙලා අදට වසර තිස් ගණනකට වැඩියි.
එදා පළිඟු මැණිකේ එළිදරව් කළ එම සමාජ ව්‍යසනය වත්මන් රූපවාහිනී මාධ්‍ය මෙන්ම රූපවාහිනී කලාව ගිලගත්ත අන්දම අද නැවතත් විමසා බැලීම වටිනවා කියලා ආපහු හැරිලා බලද්දී මට හිතෙනවා. මේ පිළිබඳව අපි නැවතත් කතිකාවතක් ආරම්භ කළ යුතුයි.
රූපවාහිනී තිරයට වඩා ප්‍රබල මාධ්‍යයක් ඇති බවක් මම විශ්වාස කරන්නේ නැහැ. එය එතරම්ම ප්‍රබලයි. රූපවාහිනී තිරයට මිනිහෙක් හදන්නත්, මිනිහෙක් නැති කරන්නත්, සමාජයක් වෙනස් කරන්නත් පුළුවන්. සමාජය හොඳ තැනකට ගේන්න රටේ රූපවාහිනී නාළිකා කටයුතු කරනවාද කියන එක ගැන අපි සාකච්ඡා කළ යුතුයි. මෙවැනි තැනකට මේ මාධ්‍ය වැටෙන්න හේතු ගණනාවක් තියෙනවා.
මේකට මූලිකම හේතුව වෙලා තියෙන්නේ 'රේටින්ග්ස්' නැත්තම් LMRB වාර්තාව. රේටින්ග්ස් පිළිබඳ මට තරහක් නැහැ. හැබැයි 'රේටින්ග්ස්' නිසා තමයි මේ වාණිජත්වය බිහිවෙලා තියෙන්නේ. අද ජාතික රූපවාහිනියත් ඇතුළුව සියලුම නාළිකා 'රේටින්ග්ස්' කියන උගුලේ අහුවෙලා. සෑම නාළිකාවක්ම බලනවා 'රේටින්ග්ස්' වැඩි කර ගන්න. ඒකට හේතුව තමයි රේටින්ග්ස් වැඩි වෙනකොට තමයි අනුග්රාහකයෝ ආයතනයට මුදල් දෙන්නේ.
අද සමාජයට 'පළිඟු මැණිකේ' පෙන්නලා එම 'රේටින්ග්ස්' රූපවාහිනියට ලබාගැනීම සැක සහිතයි. වර්තමානයේ පවතින නාළිකා ඉන්දියාවෙන් හෝ වෙනත් තැනකින් ගන්නා අපේ සමාජයට ගැළපෙන්නේ නැති මොනවා හෝ දෙයක් පෙන්නලා රේටින්ග්ස් වැඩිකර ගැනීමට උත්සාහ ගැනීම කණගාටුදායක තත්ත්වයක්. අපි වෙනස් මගක යන නිසා ජාතික රූපවාහිනියට මේක කරන්න බැහැ.
රටේ බුද්ධිමත් සියලුම ජනතාව මේ 'රේටින්ග්ස්' හැදෙන අන්දම දැනගැනීම වැදගත් කියලා මම විශ්වාස කරනවා. ශ්‍රී ලංකාවේ මිලියන පහකට අධික ටෙලිවිෂන් සෙට්ස් තියෙනවා. හැබැයි 'රේටින්ග්ස්' ලෙස වැඩිම දෙනා නරඹන නාළිකාව තෝරා ගන්නේ ටෙලිවිෂන් සෙට්ස් හයසීයකට (600) ඇතුල් කරන යම්කිසි ගැජට් එකකින්. මේක කොයිතරම් දුරට හොඳ නිර්ණායකයක්ද යන්න ප්‍රශ්නයක්. මෙම විකෘති 'රේටින්ග්ස්' ක්‍රමය නිසා ජාතික රූපවාහිනියට උඩින් අද දෙමළ නාළිකා පවා ඉන්නවා.
මට කණගාටුයි කියන්න, මොනවා හරි ජරාවක් පෙන්නලා 'රේටින්ග්ස්' හදාගත්ත නාළිකාවලටම තමයි අපේ රාජ්‍ය ආයතනත් අද මුදල් දෙන්නේ. ඉතිං කොහොමද අපි මේ තුළ රැඳෙන්නේ. ජාතික රූපවාහිනියට ආණ්ඩුවෙන් සල්ලි දෙන්නේ නැහැ. හුඟක් දෙනෙක් ඒ බව දන්නෙත් නැහැ. සේවකයන් දහසක් ඉන්න ආයතනයක් බාර අරගෙන, අපිම සල්ලි හොයාගෙන ජාතික කර්තව්‍යයත් කරගෙන පළිඟු මැණිකේ වැනි නාට්‍ය පෙන්වමින් අපි වෙනම ගමනක් යනවා.
අනෙක් නාළිකාවල අපේ ආයතනයේ තරම් සෙනඟ නැති නිසා මෙච්චර ප්‍රශ්න නැහැ. 2016 වසරේ සුමති, රයිගම්, රාජ්‍ය සම්මාන සහ සිග්නීස් යන සම්මාන උලෙළ හතරෙන්ම එකතු කරලා බැලුවොත් වැඩිම සම්මාන ලැබිල තියෙන්නේ ජාතික රූපවාහිනියේ විකාශය වූ වැඩසටහන්වලට. ඒවා පිළිබඳ 'රේටින්ග්ස්' වලදී කොතැනකවත් සඳහන් වෙන්නේ නැහැ. මම කියන්නේ 'රේටින්ග්ස්' ගැන සඳහන් කරන වාර්තාවේ ගුණාත්මක බවින් ඉහළ වැඩසටහන් සහ ඒවා විකාශය කරන නාළිකා පිළිබඳවත් සඳහන් කරන්න.
ඒවා ලබපු සම්මාන, ඇගයීම් සඳහන් කරන්න. රියලිටි වැඩසටහන්වල හොඳම තරගකරුවා තෝරනකොට ඇගයීමේ මඬුල්ලකුත්, ඊට අමතරව SMS ලකුණුත් සමගයි අවසන් වාර්තාව දෙන්නේ. අර ටෙලිවිෂන් 600න් කරන 'රේටින්ග්ස්' වලත් ඇත්තේ SMS ලකුණු වලට සමාන දෙයක්. මේ 'රේටින්ග්ස්' අවසන් වාර්තාව විද්වත් මඬුල්ලක් අධීක්ෂණයෙන් ඉදිරිපත් කරන්න බැරි ඇයි?
අද රූපවාහිනී කර්මාන්තයක් බවට පත්වෙලා. අනෙක් නාළිකා සමග තරගයක් දෙන්න අපිට දැන් වෙනස් ගමනක් යන්න වෙලා තියෙන බව සඳහන් කරන්නත් මම මේ කතාව අවස්ථාවක් කර ගන්නවා.
මම විශ්වාස කරනවා රටේ පවතින ප්‍රශ්න සම්බන්ධයෙන් සාකච්ඡා කරන්න සෑම නාළිකාවකටම වගකීමක් තියෙන බව. මීතොටමුල්ලේ කුණු කන්ද පෙරළිලා තිස්දෙනෙක්ගේ මියයෑම වාර්තා කළ මාධ්‍යවලට, අප්‍රේල් මාස‘යේ සිදුවූ මාර්ග අනතුරු හේතුවෙන් මිනිස් ජීවිත දෙසිය පනහක් (250) නැතිවීම පිළිබඳ හඬක් නගන්න මතක් නොවීම කණගාටුවට කරුණක්. අවැසි ප්‍රජා සත්කාරය මාධ්‍යවලින් අද දුරස් වෙලා.
අපේ රූපවාහිනියට විකාශය කරන්න ලැබෙන ටෙලිනාට්‍ය අපි දසදෙනෙකුගෙන් පමණ සමන්විත මඬුල්ලක අධීක්ෂණයට ලක්කරනවා. ඉතාම නීරස ටෙලිනාට්‍ය ඒවා අතර තියෙනවා. මම පත්වුණාට පස්සෙ ලැබුණ ටෙලිනාට්‍ය වලින් අසූතුනක් (83) ජාතික රූපවාහිනියෙන් විකාශය කරන්න නුසුදුසු බවට එම මඬුල්ල ප්‍රකාශ කරල තියෙනවා.
මේ හේතුව නිසා තමයි අපේ රාත්‍රී 9.00 'ප්‍රයිම් ටයිම් බෙල්ට් එක' 'පළිඟු මැණිකේ' වැනි ප්රශස්ත නාට්‍ය ප්‍රදර්ශනයට වෙන් කළේ. එසේ කරලා අද ඉන්නා නිර්මාණකරුවන්ට එම පැරණි ටෙලිනාට්‍ය තුළින් ටෙලිනාට්‍ය නිර්මාණකරණයට යම් අධ්‍යයනයක් ලබාදීමටයි අපි උත්සාහ කළේ. එම කටයුත්ත අපි දිගටම පවත්වාගෙන යන්න බලාපොරොත්තු වෙනවා.
අද අපේ නාළිකා තුළ ප්‍රදර්ශනය කරන විදේශ නාට්‍ය තුළින් අපේ සමාජයට අත්වී ඇති බලපෑම යම් සමීක්ෂණ ආයතන මගින් විමසා බැලිය යුතුයි. අද ගල්කිස්ස උසාවියේ දික්කසාද නඩුවලට පමණක් වෙන් වූ උසාවියක් ඇති කරලා තියෙනවා. සමාජයේ මවලා තියෙන මේ ෆැන්ටසි එක ගැන සමීක්ෂණයක් කිරීමේදී මේ සමාජ ප්රවණතාත් විමසා බැලීම වටිනවා.
උද්ඝෝෂණයක්, කුණු ප්‍රශ්නයක්, අලි ප්‍රහාරයක් හෝ ජලය පිළිබඳ හෝ මොන ප්‍රශ්නයකදීත් අද නායකත්වය දෙන්නේ අපේ කාන්තා පක්ෂය. වත්මන් ටෙලිනාට්‍යයත් මෙම කාන්තා ඉදිරිපත් වීමත් අතර යම් සම්බන්ධයක් තියෙනවාද කියලා සමාජ සමීක්ෂණයක් කිරීම අද අත්‍යාවශ්‍ය තත්ත්වයක් ලෙසයි මම දකින්නේ. පවුල් අවුල් වලට මේ නාට්‍ය තුළින් ඇතිකර ඇති බලපෑමත් එම සමීක්ෂණයට ඇතුළත් විය යුතුයි. මෙවැනි සමාජ වටපිටාවකින් සමාජයේ සිටින දරුවා අනාගතයට කැඳවාගෙන යන දිශාව පිළිබඳවත් අපි අවධානය යොමු කළ යුතුයි.
වත්මන් තාක්ෂණයේ දියුණුවත් සමග අද කෙනෙකු සියදිවි නසා ගැනීම ටෙලිවිෂන් එකෙන් පෙන්වනවා. මේක නිවැරදි තත්ත්වයක්ද? කිඹුලාගේ ගොදුරක් වූ දියණියගේ මළසිරුර ඉදිරිපිට හඬන පියාගෙන් වොයිස් කට් ඉල්ලන පහත් තත්ත්වයකට අද සමාජයත්, මාධ්‍යයත් පරිවර්තනය වෙලා.
වහාම විද්‍යුත් මාධ්‍ය සඳහා නියාමනයක් මේ රටේ ඇතිකළ යුතුයි. මේ සඳහා රාජ්‍ය මැදිහත්වීම වගේම පෞද්ගලික අංශයේ මැදිහත්වීමත් අවශ්‍යයි. නැත්තම් අපි යන්නේ අගාධයකට. නාළිකාවල ඉන්න අපිට, මිනිස්සු විදියට, පුරවැසියො විදියට, යමක් කරන්න බැරිද? කුකුල් මස් නිෂ්පාදකයන්, කරවල අපනයනය කරන්නන් වැනි අයත් අද සංවිධානගත වෙලා.
ඒත් අවාසනාවකට අපේ රටේ රූපවාහිනී නාළිකා අයිතිකරුවන්ගේ සංවිධානයක් නැහැ. අපේ රටේ වගේ මාධ්‍ය තුළින් ජාතිවාදය අවුසන්න ලෝකයේ කිසිම රටක අවසරදීලා නැහැ. බොහෝ දෙනෙක් අවශේෂ නාළිකා පිළිබඳ ප්‍රසිද්ධියේ විවේචනය කරන්න බයයි. දේශපාලකයො බයයි මූණ පෙන්නන එකක් නැහැ කියලා. නිර්මාණකරුවෝ බයයි තමන්ට අවස්ථාව නැති වෙයි කියලා. තව සමහරු මඩ ගහයි කියලා බයයි. නමුත් මේ තත්ත්වය ගැන කතා කරන්න වෙනවාමයි.
සටහන - පද්මකුමා පී.මෙත්තසේන