කලාත්මක ඇසින් දකින සෑම දෙයම කලාත්මක බැවින් යුක්ත වෙයි. යම්කිසි විලාසිතාවක් බිහිවන්නේද එය කලාත්මක ඇසකින් දකින නිසා බව බොහෝදෙනා පිළිගන්නා කාරණාවකි. ඇතැම් නිර්මාණ ඇසින් දැක රසවිඳීමට හැකියාව තිබෙන අතර, තවද එම නිර්මාණ රස බැලීමටද අවස්ථාව ඇත.
එවැනි කලාකාරිනියක් ලෙස ඩැරීනා කොස්සාර් හැඳින්විය හැකිය. ඇය කලාකාරිනියක් නොවේ. නමුත් ඇය කෙටි ආහාර (Short Eats) පිළිබඳව උපාධිධාරිනියකි. ඇය විසින් හඳුන්වාදුන් විවිධ කෙටි ආහාර බොහෝ ප්‍රමාණයක් ඇති බවද සඳහන් වෙයි. ඇය සිදුකරනු ලබන මෙම ආහාර ගුණයෙන් මෙන්ම රසයෙන්ද අනුයුක්ත අතර, ඒවා නිර්මාණාත්මක ලෙස ඉදිරිපත් කිරීමට ඇති හැකියාව බොහෝ ඉහළය.
යුක්ක්රේනු ජාතිකයෙකු වන ඇය සූපවේදියෙකු ලෙස කටයුතු කරන අතර, විනෝදාංශයක් ලෙස කෙටි ආහාර (Short Eats) සඳහා නව නිර්මාණ ඉදිරිපත් කරයි. ඇය විසින් සිදුකරන නිර්මාණයන් තමන් සේවය කරන හෝටල් පරිශ්‍රයේදී ප්‍රදර්ශනය කරනු ලබයි.
ඩැරීනාගේ මතයක් වන්නේ ආහාරයක රසවත් බව දැනීමට එය ලස්සන විය යුතු බවයි. එවැනි පසුබිමක් තුළ ඇය විසින් සකසන පේස්ට්‍රි, බිස්කට් සහ පුඩිං වැනි ආහාර නිර්මාණය සඳහා බොහෝ ඉල්ලුමක් පැවතුණි. ඇය විසින් සිදුකරන නිර්මාණයන් තම ඉන්ස්ටර්ග්‍රෑම් ගිණුමෙහි දැමීම හේතුවෙන් මේ වනවිට ඇයගේ ගිණුම සඳහා ඇති අනුගාමියකයන් සංඛ්‍යාව මිලියනය දක්වා වැඩි වී ඇතැයි සඳහන් වෙයි. ඩැරීනා කොස්සාර් නම් වූ මෙම අද්විතීය සූපවේදිනිය තමන් විසින් සොයා ගනු ලැබූ කෙටි ආහාර සහ නිර්මාණාත්මක ආහාරයන් එකතුවක් සකස්කොට ආහාර නිර්මාණ ප්රදර්ශනයක්ද පවත්වා ඇතැයි සඳහන් වෙයි. එම ප්‍රදර්ශනයෙන් පසු යුක්රේනයේ ඉහළ පැලැන්තියේ හෝටල්වලින් සහ බේකරිවලින් ඇයගේ නිර්මාණයන් සඳහා ඉහළ පිළිගැනීමක් ලැබුණු බවද සඳහන් වෙයි.
රැකියාවෙන් සූපවේදිනියක වුවත් ජීවිතයේ ඇති කලාත්මක පැතිකඩ විවර කිරීමට ඇයට හැකියාව ලැබුණේ තමන්ගේම රැකියාවෙන් වීම තවත් විශේෂත්වයකි. තමන්ගේ මෙම නිර්මාණයන් විනෝදාංශයක් ලෙස කිරීමට හැකියාව ලැබීම පිළිබඳව ඉතාමත් සතුටු වන බව ඩැරීනා පවසයි. මෙවැනි සූපවේදිනියකගේ නිර්මාණ ශක්තිය සහ හැකියාව යුක්රේනයේ ඇති හෝටල් කර්මාන්තයට ඉමහත් රුකුලක් බව සඳහන් වෙයි.
මෙම නිර්මාණ කලාව ඉදිරියේදී ව්‍යාප්ත කිරීමට සිහිනයක් ඇතැයි ඇය පවසයි. ඒ සඳහා නිර්මාණ පාසලක් ආරම්භ කිරීම ඩැරීනාගේ එකම බලාපොරොත්තුව බවද සඳහන් කර තිබේ.