කණ්ඩායම් සංගීතය ආරම්භ වූ දා පටන් සජීවී සංගීත අත්දැකීමක රසය විඳගැනීමට ශ්රාවකයාට ඉඩ ප්‍රස්ථාව සැලසූ කැලිප්සෝ සංගීතය මේ වනවිට විවිධ හැලහැප්පීම්වලට ලක්වෙමින් දිගු ගමනක් පැමිණ තිබේ.
කැලිප්සෝ සංගීතයේ රසය සොයා යන සංගීතලෝලීන් වෙනුවෙන් වෙනස්ම මගක් ගනිමින් කැලිප්සෝ සංගීත රසයේ නව මානයක් කරා පිවිසෙන 'ලා පැලෝමා' කැලිප්සෝ කණ්ඩායම සිය පසළොස් වසරක් ඉක්මවා යන මේ ගමන්මග වෙනුවෙන් මෙතෙක් කැලිප්සෝ කණ්ඩායමක් විසින් සිදුනොකරන ලද නවතම සංගීත අත්දැකීමකට සිය රසිකයා කැඳවා යන්නට සැරසේ. 'ලා පැලෝමා' නායක තුෂාර ප්‍රනාන්දු අප හා සාකච්ඡාවට එක්වනුයේ එම කාරණය පිළිබඳ අදහස් දැක්වීමටය.
“කැලිප්සෝ සංගීත කණ්ඩායම් කියන්නෙ කලක් අප රටේ ඉහළම තැනක වැජඹුණු සංගීත ශිල්පීන් එක් කණ්ඩායමකට ගොනුකළ සංගීත රසයක්. ඒ අවදියේ බිහිවූ ගීත අදටත් ඉතා ජනප්‍රියයි. හැටේ දශකය සහ හැත්තෑව දශකය කැලිප්සෝ සංගීතයේ ස්වර්ණමය අවධිය කිව්වොත් වරදක් නැහැ.
ලා සිලනියන්ස්, සමනලයෝ, ලා බම්බාස්, ධර්මරත්න සහෝදරයෝ ආදී සංගීත ක්ෂේත්රයේ කැලිප්සෝ සලකුණ තැබූ වෘත්තීමය කණ්ඩායම්.
සජීවීව කොංගෝවක්, ගිටාර, වයලීන සහ බැංජෝ මැන්ඩලින්, එකෝර්ඩියන් වැනි සංගීත භාණ්ඩ වයමින්, ගයමින් සංගීත රසිකයන්ගේ හදවතට සමීප සංගීත කලාවක් වෙනුවෙන් වෙහෙසුණු කැලිප්සෝ සංගීතය ගැන කතාකරන එක පසුකාලීනව නැවතිලා ගියත්, අදටත් සංගීතය හා මුසුවෙන සාද බොහොමයකදී කැලිප්සෝ කණ්ඩායම්වලට තියෙන ඉල්ලුම ඉතා ඉහළයි.
අපි ගීත ගයන්නෙ, වයන්නේ අපේ සංගීතය රස විඳින්නන් අතර ඇවිද යමින්. ඒ පහසුකම අපට ලැබෙන්නේ අපි වයන්නේ එකෝස්ටික් සංගීත භාණ්ඩ වීම නිසා. කණ්ඩායම් සංගීතයේදී අපි එක තැනක ඉඳලා අපේ සංගීත භාණ්ඩ ශබ්ද පරිපාලන යන්ත්‍ර හා මුසු කරමින් වයන නිසා එකම තැනක සිට වයන්න සිදුවෙනවා.
නමුත් රසිකයන් කැමතියි අපි ඔවුන් අසලට ගිහින් ඔවුන්ට දැනෙන මානයක සිට ගයනවට, වයනවට. එවිට ශිල්පියා සහ රසවිඳින්නා අතර පරතරය අඩුවෙනවා. ඒකයි කැලිප්සෝ සංගීතය සාමාන්‍ය ජනතාව අතර බොහෝ ජනප්‍රිය.
Q ඔබ 'ලා පැලෝමා' කැලිප්සෝ කණ්ඩායම හරහා වෙනසක් කරන්නට උත්සාහ දරන බව කිව්වා?
ඔව්. අපි කණ්ඩායමක් විදිහට දවසින් දවස අපේ ශිල්පීන් මාරු කරන අය නෙවෙයි. ගොඩාක් කැලිප්සෝ කණ්ඩායම්වලට ඇනවුම් නොඑන්න හේතුව ඔවුන්ගේ වාදන සහ ගායනවල සාමූහිකත්වය මතින් එන සාර්ථක බව ගිලිහෙන නිසා කියලා මම හිතනවා.
ඒ කියන්නෙ අද වාදකයා වෙනුවට හෙට වෙනත් වාදකයෙක් යොදාගෙන ඒ කාර්යය එහෙන් මෙහෙන් කරලා ඊළඟ ආරාධනයට කැඳවා ගන්නෙ තවත් එක්කෙනෙක්. මෙයින් සිදුවෙන්නෙ අපි ගායන, වාදන අතර ඇති කරගන්නා අලංකාරයන් ඒ ආකාරයෙන්ම මතුනොවෙන එක. මේ වැඩෙන් 'ලා පැලෝමා' සම්පූර්ණයෙන්ම ඈත්වෙලයි ඉන්නෙ.
ඒ කියන්නෙ කණ්ඩායමට නිත්‍ය ශිල්පීන් පිරිසක් ඉන්නවා. ඒ හැමෝම තම තමන් වාදනය කරන වාද්‍ය භාණ්ඩය වෙනුවෙන් විශිෂ්ටත්වයක් දක්වන ශිල්පීන්. අපි නිරන්තරයෙන් අපේ පුහුණුවීම් එක්ව සිදුකරන නිසා ඒ ඒ ගීතවලදී අපි අලුතින් යොදා ඇති නිර්මාණ කරන්නෙ සාමූහිකවයි.
මෙයින් අපට ලැබෙන හැම ඇරයුමක්ම එකම ආකාරයෙන් ඉතාම ප්‍රශස්ථ මට්ටමින් කරන්න හැකියාව ලැබෙනවා. මෑත කාලයේ කිසිම කැලිප්සෝ කණ්ඩායමක් අලුතින් ගීත ක්ෂේත්රයට කැලිප්සෝ ගීත එළි දක්වා නැහැ. තාම අපි වයන්නේ, ගයන්නේ අර පරණ ගීත ටිකමයි. 'ලා පැලෝමා' ඉදිරියේදී සුවිශේෂ කැලිප්සෝ ගීත කිහිපයක් එළිදක්වනවා. මේ දිනවල ඒවායේ නිර්මාණ කටයුතු සිදුවෙනවා.
Q ඔබේ කණ්ඩායම කිසියම් සාදයකට ඇරයුම් ලබද්දි මූලිකවම සැලකිලිමත් වෙන්නේ මොනවගේ කරුණු ගැනද?
අපි මුලින්ම සැලකිලිමත් වෙන්නේ අපි සංගීතය සැපයිය යුතු සාදයේ කොපමණ පිරිසක් සහභාගි වෙනවද කියන එක. එය අහන්න හේතුව වැඩි පිරිසක් නම් සමහර විට ඒ සඳහා සුළු ශබ්ද උපකරණ ක්‍රමයක් අපි භාවිත කරන නිසා. සජීවී ගැයුමකදී බොහෝ පිරිසක් ඉන්නවා නම් ඇතැම් විට අපි රැඳී සිටින ස්ථානයෙන් ඈත රැඳී ඉන්න පිරිසගේ රස වින්දනයට එය බාධාවක් වෙන්න පුළුවන්.
එය අවම කරන්නයි අපි ඒ උපාය යොදාගෙන තියෙන්නෙ. මේ ක්‍රමය නිසා අපට ලැබෙන ඇරයුම් ප්‍රමාණය බොහෝයි. ඒ වගේම අපි සහභාගි වෙන්නෙ මංගල උත්සවයකට නම්, එය කිසියම් තේමාවක් රැගත් එකක් නම්, අපි ඒ තේමාව හා ගැලපෙන ගීතවලට ප්‍රමුඛතාව දෙනවා. ඒ මනාල යුවලගේ දිනය ලස්සන කරන්න අපෙන් ඉටුවිය යුතු සහාය උපරිමයෙන් ලබාදෙන නිසා 'ලා පැලෝමා' කණ්ඩායමට මංගල සාද සඳහා ලැබෙන ඇරයුම් ප්‍රමාණය බහුලයි.
Q ඒ කියන්නෙ ඔබේ කණ්ඩායම මංගල සාදවලට පමණක් ප්‍රමුඛතාව දෙනවා කියන එකද?
නැහැ. අපි සංගීතය අවශ්‍ය වන ඕනෑම සාදයක් සඳහා ලැබෙන අවස්ථාවන්ට උපරිම සාධාරණයක් කරනවා. විවිධ ගණයේ ඕනෑම සාදයකට අපි පුළුවන් උපරිම සාධාරණය, අපව ඇනවුම් කරන අයට ලැබෙන පරිදි කටයුතු කරනවා. කතෝලික, බෞද්ධ, හින්දු, මුස්ලිම් මේ මොන ජන වර්ගයක සාදයක් වුණත්, ඒ ඒ අවස්ථාවන් හා රැස්ව සිටින පිරිසගේ සංස්කෘතියට ගැළපෙන පරිදි අපි අපේ කාර්යය ඉටු කරනවා.
අනෙක අපි කිසිම විටෙක දෙපිට කැපෙන වචන හෝ සාදයකදී වැඩිහිටියන් දෙමවුපියන් අසල භාවිත කරන්න බැරි වචන යොදමින් ගී ගයන රැල්ලෙන් සම්පූර්ණයෙන්ම මිදුණු කණ්ඩායමක්. සංගීතය රසවිඳින්න ඔය කියන ජාතියේ උපක්‍රම අවශ්‍ය වෙන්නේ සංගීතය හරි හැටි නොදන්නා අයටයි. අපි ඉතාම හොඳින් ඝෝෂාවකින් තොරව තමන්ගේ අසල සිටින අය හා කතාකරමින් රසවිඳිය හැකි මට්ටමේ උසස් රසවින්දනයක් ලබාදීමටයි හැමවිටම කටයුතු කරන්නෙ.
Q බොහෝ දෙනා සංගීතය කිව්වාම අහන්න වඩා නටන්න සූදානම් බවක් දක්වනවා. කැලිප්සෝ සංගීතයේදී මේ අත්දැකීම ගැන මොනවද කියන්න තියෙන්නෙ?
සංගීතය කියන්නෙ කිසියම් රිද්මයක් මත පදනම් වූ වින්දනයක් නිසා රසවින්දනය වෙනුවෙන් ඇතැමුන් නටන අවස්ථා තිබෙනවා. එවිට ඊට ගැළපෙන වේග රිද්ම ගීත භාවිත කරන්න අපි වගබලා ගෙන සිටිනවා. අපට ඇරයුම් කරන අය බලාපොරොත්තු වෙන්නෙ අහන්න ගීත වගේම නටන්න ගීත යන දෙකොටසමයි.
කොහොමත් අපි සාදයේ ස්වභාවය අනුව ගීත ගයන පිළිවෙළක් තියෙනවා. හිතෙන හිතෙන මතක් වන ගීත ඒ ඒ වෙලාවට වාදනය කරන්නෙ නැහැ. එහෙම කරන අය තමයි වේග රිද්ම ගීතයක් වාදනය කළාට පසුව නැවත සාමාන්‍ය සරල සංගීතයක් වාදනය කරන්නේ.
එයින් සිදුවෙන්නේ සාදයේ සිටින්නන්ගේ වින්දනයට හිතාමතා බාධා කිරීම. අපි සාදයක් ආරම්භයේ සිට ක්‍රමක්‍රමයෙන් ඒ ඒ අවස්ථාවන්ට උචිත ලෙස රිද්මය භාවිත කරමින් ඒ සාදයේ අමුත්තන්ට විඳිය හැකි සංගීත අත්දැකීමක් ලබාදෙනවා. සාදය කුමක් වුවත් අපි එයට ගැළපෙන සහ ඊට අවශ්‍ය සංගීතය වෙනුවෙන් කැපවෙනවා.
Q කිසියම් අයෙකුට ඔබේ 'ලා පැලෝමා' කණ්ඩායමේ සේවය ලබාගන්න අවශ්‍ය නම්?
ඔව්, අපට ඕනෑම අවස්ථාවක අමතන්න හැකියි. 077 6 727 048, 075 9 522 588 යන දුරකථන අංක ඒ සඳහා විවෘතයි.
සටහන - අනස්කා ඉරුගල්බණ්ඩාර