චන්දන ගුණවර්ධන යනු ජීවිත සාර්ථකත්ව පුහුණු වැඩමුළු පවත්වමින් සාර්ථකත්වයේ මාවත පෙන්වාදීමට මනෝවිද්‍යා පුහුණු උපදේශකවරයකු ලෙස කටයතු කරන්නෙකි. ඔහුගේ පුහුණු වැඩසටහන් අතර කොළඹ මහජන පුස්තකාලයේ නොමිලේ පවත්වනු ලබන වැඩසටහන් මාලාවක්ද වන අතර, එහි 120 වැනි වැඩමුළුව වෙනුවෙන් උපහාර උලෙළක් පැවැත්වීමට ඒ මහතා සූදානම් වෙයි.
මේ මස 09 වැනිදා පෙරවරු 9.00ට කොළඹ මහජන පුස්තකාලයේදී පැවැත්වෙන මෙම වැඩසටහන පිළිබඳ චන්දන ගුණවර්ධන මහතා අප සමග අදහස් දැක්වූයේ මෙලෙසිනි.
නොමිලයේ වැඩසටහනක්
කොළඹ මහජන පුස්තකාලයේ නොමිලේ ජීවිත සාර්ථක වැඩසටහන් පවත්වනවා. සාමාන්‍යයෙන් ජීවිත සාර්ථකත්වය සඳහා කරන වැඩසටහන් මිල අධිකයි. නමුත් මම මෙය සිදුකරන්නේ නොමිලේ. ඕනෑම කෙනෙකුට එයට සහභාගි විය හැකි පරිදියි සිදුකරන්නේ. වැඩසටහන් මාලාවේ 120 වැනි වැඩසටහන තමයි අනිද්දා (09දා) කොළඹ මහජන පුස්තකාලයේදී පැවැත්වෙන්නේ.
සාමාන්‍යයෙන් මම වසරකට වැඩසටහන් 10ක් පමණ නොමිලේ සිදුකරනවා. ඕනෑම කෙනෙකුට එයට සහභාගි වෙන්න පුළුවන්.
ගුරු උපහාරය
මෙදින පැවැත්වෙන්නේ 120 වැනි වැඩසටහන නිසා සුවිශේෂීව මෙය පවත්වන්න මම අදහස් කළා. මගේ ජීවිතය සාර්ථක කරගැනීමට උදවු උපකාර කළ ගුරුවරුන්ට උපහාරයක් හැටියට මම මෙවර වැඩසටහන නම් කරන්න හිතුවා. ඒ අනුව මම කුඩා කාලයේදී මට උගන්වපු පද්මසේන වරකාගොඩ ගුරුතුමාටත්, විශ්වවිද්‍යාලයේදී මට උගන්වපු මහාචාර්ය සුනිල් ආරියරත්න ගුරුතුමන්ටත්, ඒ වගේම මගේ පළමු රැකියාව වුණේ පුවත්පත් රැකියාව. වෘත්තීය ජීවිතයේදී මට උගන්වපු ලංකාදීප පුවත්පතේ ප්‍රධාන කර්තෘ සිරි රණසිංහ මහත්මාටත් මෙහිදී උපහාර පුදනවා.
නිර්මාණ එළිදැක්වීම
ජීවිතය සාර්ථක කරගැනීම වෙනුවෙන් සකස් කළ සීඩී 10ක් මෙදින නිකුත් වෙනවා. ඒ වගේම විභාගයට මුහුණදෙන ආකාරය සඳහන් මනෝ විද්‍යාත්මක ක්‍රම ඇතුළත් ඩීවීඩී එකක් නිකුත් වෙනවා. මතක ශක්තිය වැඩි කරන ක්‍රියාකාරකම් සහිත පොතක් මේ සමග එදිනට නිකුත් වෙනවා. මේ සියල්ලම මම මගේ ගුරුවරුන්ට පිළිගන්වනවා. උපහාර වැඩසටහනින් පසුව පුරුදු ජීවිත සාර්ථක වැඩසටහන පවත්වනවා. ඒ වගේම අහිංසක ජනතාව වෙනුනෙන් අක්ෂි කාච ලබාදීමට මෙම පොත් සීඩී, ඩීවීඩී අලෙවි වීමෙන් ලැබෙන ආදායමෙන් 10%ක් වෙන් කරනවා.
මනෝ විද්‍යාත්මක ක්‍රම 10ක්
ජීවිතය සාර්ථක කරගන්නට භාවිතයට ගන්නට පුළුවන් මනෝ විද්‍යාත්මක ක්‍රම 10ක් ඇතුළත් ඕඩියෝ සීඩී 10 තුළ ඇතුළත් වෙනවා.
ආකර්ෂණ නීතිය කියන දේ ලෝකයේ කතාබහට ලක්වෙන ක්‍රමයක්. මිනිස්සු හිතන හැටි වෙනස් කළ පසු හිතින් දකින දේට ආකර්ෂණය වෙනවා කියන සංකල්පය පිළිබඳ බටහිර රටවල බොහොම ඉහළින් සාකච්ඡාවට ලක්වෙනවා.
පෙරදිග වේද පාඨවලත් මේ කාරණය ඇතුළත් වෙනවා. බුදු හාමුදුරුවන් පවා මේ ගැන වෙනත් ආකාරයකට පවසා තිබෙනවා. ජේසුස් වහන්සේත් කියා තිබෙනවා. මේ සියලු කාරණ පිළිබඳ තේමා 10ක් යටතේ මම කතා කරනවා. හිත වෙනස් කරන්නේ කොහොමද? යටිහිත කියන්නේ මොකක්ද? ඒක සැලසුම් කරන්නේ කොහොමද? මොළය වෙනස් කරලා වැඩ ගන්නේ කොහොමද? තමන්ගේ ජීවිතයේ කාලය පාවිච්චි කරන්නේ කොහොමද? පරිසර නීතිය කියන්නේ මොකක්ද? මේ සියල්ල අතර කායික, මානසික සෞඛ්‍යය රැකගන්නේ කොහොමද? ආතතිය කළමනාකරණය කරන්නේ කොහොමද? මේ වගේ මාතෘකා 10ක් යටතේ අභ්‍යාසත් සමග මෙම සීඩී 10 සකස් කර තිබෙනවා.
කාර්යබහුල පුද්ගලයන්ට
කාර්යබහුල පුද්ගලයන් ඉලක්ක කරගෙනයි මෙය සකස්කර තිබෙන්නේ. මොකද මෙය වාහනයේ යද්දි අහන්න පුළුවන්. ඒ වගේම නිවසේ හිටියත් අහන්න, ප්‍රායෝගිකව අත්විඳින්න පුළුවන්. මම මෙය නම් කර තිබෙන්නේ %ට්‍රැෆික් ලර්නින්^ කියලයි. විශේෂයෙන්ම අද මාර්ග තදබදය විශාල ප්‍රශ්නයක් වී තිබෙනවා. ඇතැම් වෙලාවට හෝමාගම ඉඳලා කොළඹට එන්න පැය දෙකක් විතර ගතවෙනවා. දුර කිලෝමීටර් 29යි තියෙන්නේ. මේ වගේ වෙලාවට වාහනේ ඉන්න අතරතුර අපට පුළුවන් මේ සීඩී අහන්න. ඊට පසුව එය අත්විඳින්න. ඒ අනුව හැඩගැසෙන්න අපට පුළුවන්.
ලංකාවේ කියවන ප්‍රමාණය අඩුයි. මිනිස්සුන්ට පොත් කියවන්න වෙලාව නැහැ. හැමෝම ලොකු තරගයක ඉන්නේ. මේ නිසා මගතොටට වැය වන කාලය ප්‍රයෝජනයට ගනිමින් මෙම සීඩී අහන්න ඒ අයට පුළුවන්. අහලා ඒකට අනුව ජීවිතය වෙනස් කරගන්න පුළුවන්.
විභාග ජයගැනීමට
ලෝකයේ අනිත් රටවල ළමයින්ගේ ජීවිතය ගොඩනගන්නේ බහුවිධ බුද්ධි න්‍යාය කියන දාර්ශනික ක්‍රමය ඔස්සේ කටයුතු කරමින්. එහිදී ළමයෙකුට ඉගෙනගන්න වගේම ජීවිතය ගොඩනගන්න උදවු කරනවා. උපතින් රැගෙන එන බුද්ධි වර්ධක තිබෙනවා. ඇතැම් විට එකම පුද්ගලයාට බුද්ධි වර්ධක පහක් හයක් අටක් නවයක් පමණ තිබෙන්නත් පුළුවන්. ලෝකයේ අධ්‍යාපන ක්‍රමය හදලා තියෙන්නේ බහුවිධ බුද්ධි න්‍යායට අනුවයි. නමුත් ලංකාවේ අධ්‍යාපන ක්‍රමය හදලා තියෙන්නේ එහෙම නෙවෙයි. ලංකාවේ අධ්‍යාපන ක්‍රමය තිබෙන්නේ ඉංග්‍රීසි ආණ්ඩුවෙන් ගෙනාව අධ්‍යාපන ක්‍රමය එහෙම්ම අරගෙන යෑමක්.
විභාග ක්‍රමයක් මූලික කරගෙනයි අධ්‍යාපන ක්‍රමය බිහිකර තිබෙන්නේ. ඒ නිසා දරුවන්ගේ සහජ බුද්ධිය නැති වී යනවා. සහජ බුද්ධිය නැති වනවිට මතක ශක්තිය අඩු වෙනවා. මේ නිසා මේ ඩීවීඩී එකෙන් කියා දෙන්නේ ළමයෙක් කොහොමද තමන්ගේ බුද්ධිය වර්ධනය කරගෙන ජීවිතය ගොඩනගාගන්නේ කියලා. ඒ දේවල් පාවිච්චියට අරගෙන මතක ශක්තිය වැඩිදියුණු කරගෙන ලංකාවේ ක්‍රමයට විභාග පාස්වෙන්නේ කොහොමද කියලා මේ තුළින් කරුණු කියා දෙනවා. ඒ සඳහා අවශ්‍ය අභ්‍යාස පවා මේ තුළ ඇතුළත් වෙනවා.
ඒ වගේම මේ ඩීවීඩී පටයේ ඇතුළත් අභ්‍යාස සහ තවත් අභ්‍යාස 30ක් පමණ ඇතුළත් කරමින් මම පොතක් ලෙස එළිදක්වනවා. තමනගේ ජීවිතයේ මතක ශක්තිය වැඩි කරගැනීමට මේ හරහා සියලු දේ කරන්නට පුළුවවන්.
මගේ ගමන
මම ඈත දුෂ්කර ගමක ඉපදුණේ. සෙරෙප්පු දෙකක් නැතිව ඉස්කෝලෙ ගියේ. විශ්වවිද්‍යාලයට ආපු දවසේ තමයි මම මුලින්ම සෙරප්පු දෙකක් දැම්මේ. එතැන ඉඳන් මම මේ තත්ත්වයට ආවේ.
විශ්වවිද්‍යාල අධ්‍යාපනයෙන් පසු ප්‍රංශයට යන්න ශිෂ්‍යත්වයක් ලැබුණා. ප්‍රංශයේ ඉගෙනගනිද්දී එතැන හිටපු පුහුණු උපදේශකවරයා දිහා බලලා මම හිතුවා එහෙම කෙනෙක් වෙන්න ඕන කියලා. මම ඒ වෙනුවෙන් වැඩ කළා. මනෝ විද්‍යාවට අදාළ විෂයයන් විශාල ප්‍රමාණයක් ඉගෙනගත්තා. පුහුණු උපදේශකවරයෙකු හැටියට විවිධ රටවලට ගොස් පුහුණු වුණා. ඊට පසුව තමයි මම ලංකාවේ පුහුණු උපදේශකවරයෙක් විදිහට ලංකවේ මිනිස්සුන්ගේ ජීවිත වෙනස් කරන්න කටයුතු ආරම්භ කළේ.
'ලංකාදීප' පුවත්පතට එක්වීම
1990 වසරේ 'ලංකාදීප' පුවත්පතට එකතු වුණා. 1997 වනතුරු 'ලංකාදීප', 'ඉරිදා ලංකාදීප' පත්තර දෙකෙහිම උපකර්තෘවරයෙක් හැටියට, විශේෂාංග ලේඛකයෙක් හැටියට වැඩ කළා. මගේ ජීවිතයේ බොහෝ දෙවල් ඉගෙන ගත්තෙ බොහෝ සම්බන්ධතා ඇති කරගත්තේ එතැනින්. පක්ෂග්රාහී නොවී යම්කිසි වෘත්තියක නියැළෙන්නේ කොහොමද?, ජීවත්වෙන්නේ කොහොමද කියලා මම ඉගෙනගත්තේ 'ලංකාදීප' කර්තෘ සිරි රණසිංහ මහත්තයාගෙන්. බොහෙම අපූරු දේවල් 'ලංකාදීප' කාර්යාලයෙන් ඉගෙනගත්තා.
මගේ සතුට
මගේ ජීවිතයේ මම බොහෝ දේවල් ලබාගෙන තිබෙනවා. කොළඹ නගරයේ මහජන පුස්තකාලයේ දේශනාගාරය කුලියට ගෙන විශාල මුදලක් වැය කරලා අවුරුද්දක් තුළ නොමිලේ වැඩසටහන් කිහිපයක් කරන්න තරමට මගේ ආර්ථිකය ගොඩනගාගෙන තිබෙනවා. ඒ වගේම මගේ ජීවිතයේ පොත් 33ක් එළිදක්වලා තිබෙනවා. තවත් බොහෝ දේවල් කර තිබෙනවා. ඒක තමයි මගේ ජීවිතයේ සතුට.
0771494704