රත්න ශ්‍රී විජේසිංහයන්ගේ කව් ගී කුසුම් සුගන්ධයෙන් සිංහල කාව්‍යය හා සුභාවිත ගීත අවකාශය ජීවමාන කරවීමට සංවිධානය කෙරෙන 'සිංහල කාව්‍යයේ රත්න ශ්‍රී ඇසුර' සහෘද සන්ධ්‍යාව අද (05දා) කොළඹ මහජන පුස්තකාල ශ්‍රවණාගාරයේදී පැවැත්වීමට නියමිතය. අපි රත්න ශ්‍රී විජේසිංහයන් සමග ඒ පිළිබඳව කතාබහ කළෙමු.
Q අද මහජන පුස්තකාලයේ සිදුවෙන කටයුත්තෙන්ම කතාබහ ආරම්භ කරමු?
කලකට පසුව මගේ කෘති ත්‍රිත්වයක් හා තවත් කෘති දෙකක් මෙදින එළිදැකීමට නියමිතයි. එයින් මගේ කෘති තමයි 'සඳගිර පාමුල', 'ඉඳුවර පොකුණ' හා 'මල් අහුර' යන කෘති තුන. මෙයින් සඳගිර පාමුල ආඛ්‍යාන කාව්‍යයක් මෙන්ම මගේ අටවෙනි කවිපොත. දෙවැනි ආඛ්‍යාන කාව්‍යය. එය මගේ පෞද්ගලික අත්දැකීම් සහ පහුගිය අවුරුදු ගණනක ජීවිතයේ අත්වින්ද පෞද්ගලික හා දේශපාලනික ක්ෂේත්රය අලළා තමයි ලියවුණේ.
මගේ පොත්වලට අමතරව මගේ තරු ලකුණ කෘතිය පිළිබඳ විචාර කෘතියක් වන පූජ්‍ය ගෝනදෙනියේ විමලජෝති හිමියන් ලියූ 'තරු ලකුණු විනිස' කෘතියද ජනගත කිරීමට නියමිතයි. එමෙන්ම මගේ දුවණිය වූ සම්මානි විජේසිංහගේ 'ශෛලී' නම් ළමා කතාපොත සිබිල් වෙත්තසිංහයන්ට පිළිගැන්වීමද මෙහිදී සිදුවෙනවා. මෙය පැවැත්වෙන්නේ හෙට (05දා) පස්වරු 2.30 ට කොළඹ මහජන පුස්තකාල ශ්‍රවණාගාරයේදීයි. මෙහිදී කවිය පිළිබඳ දෙසුම පවත්වන්නේ මහාචාර්ය සරත් විජේසූරිය මහතා විසිනුයි.
තීරු ලිපි පිළිබඳව දෙසුම පවත්වන්නේ විමලනාත් වීරරත්න විසින්. ගී විචාර කෘතියේ දෙසුම පවත්වන්නේ ආචාර්ය ඩබ්.ඒ. අබේසිංහයන් විසින්. මෙදින කථනයෙන් නිලාර් එන්. කාසිම්ද දායක වන අතර, සන්ථව ප්‍රකාශන මෙම කෘති ප්‍රකාශයට පත් කරනවා.
Q බොහෝ කාලෙකට පසුව තමයි කවි පොතක් ලියවෙන්නේ. ඒ ඇයි?
2010 දි තමයි මගේ අන්තිම කවිපොත වන 'සන්ධ්‍යා තීර්ථය' ලියවෙන්නෙ. ඉන් අවුරුදු පහකට පසුව තමයි නවතම කවිපොත වන 'සඳගිර පාමුල' කවි පොත එළිදකින්නෙ. 'මල් අහුර' යනු තීරු ලිපි එකතුවක්. එහි නිර්මාණ ගැන, අත්දැකීම් සහ සමකාලීන කවි පිළිබඳවත් කතා වෙනවා.
Q නූතන කවියේ තත්ත්වය කෙබඳුද?
යම් පමණකට මේ වනවිට කවි කියවන පිරිසක් ඉන්නවා. කවි පොත්ද යම් ප්‍රමාණයකට විකිණෙන ස්වභාවයක් පවතිනවා. කවි කියවන පිරිසක් ඉන්න බව පේනවා. අලුතෙන් කවි ලියන්න පෙළඹුණ පිරිසකුත් ඉන්නවා. එයට හේතුව තමයි සයිබර් අවකාශයේ තිබෙන ඉඩ. ඒවා හොඳම කවි යැයි කියනවාට වඩා ඒ අතරින් හොඳ කවීන් බිහිවෙලා තිබෙනවා. ඒ නිසා කවිය ගැන වෙනදට වඩා හොඳ උනන්දුවක් සහ බලාපොරොත්තුවක් තබාගත හැකියි.
Q ඒකට හේතු දැක්වුවොත්?
ඒකට හේතු එකක් කියා කියන්න අමාරුයි. එකම හේතුව මං හිතන්නෙ පොදු පාඨක පිරිසකගේ ආකර්ෂණය දිනාගන්න පුළුවන් අලුත් කවි පරම්පරාවක බිහිවීම ලෙසයි මා දකින්නෙ. ඒ අයට පුළුවන් වෙලා තිබෙනවා හුඟ දෙනෙකුට කවියෙන් කතා කරන්න. මෙතෙක් විදග්ධ පිරිසකට සීමාවෙලා තිබුණු කවිය පොදු රසික පිරිස අතරට ගිහින්.
Q මේ ප්‍රවණතාව ගීතයට ගිහින් තියෙනවද?
ගීතයට සාපේක්ෂව ලොකු පරිහානියකට ලක්වෙලා තිබෙනවා. ගීතය ජනප්‍රිය කලාවක් වෙනවත් එක්කම අභාග්‍ය සම්පන්න ඉරණමකට මුහුණදෙන්න පටන්ගන්නවා. එයට වගකියන්න ඕන නාළිකා සමූහයම තමයි. ඔවුන් හිතාගෙන ඉන්නවා කොළඹ ඉන්න සුළු පිරිසකගේ රසිකත්වය තමයි ලංකාවේම රසිකත්වය කියලා. ඒක වැරදි කල්පනාවක්. එයට හරියන්න තමයි ඔවුන් නිර්මාණ කරන්නෙත්.
Q නාළිකා නම් කියන්නෙ නාළිකාත් පවත්වාගන්න ඕනෙ කියලයි?
ඒ කතාව වැරදියි. එය වාසියට හදාගත්ත කතාවක්. නාළිකා පවත්වගන්න ඕන තමයි. තාමත් ඔය තත්ත්වයට නොපිරිහුණු නාළිකා තිබෙනවනෙ. ගම්වලට ගියාම අපට තේරෙන්නෙ රසිකත්වය තවම ගම්වල යම් පමණකට තිබෙනවා. හොඳ නිර්මාණවලට තවමත් ඉඩක් තිබෙනවා. පහුගිය දවස්වල දිවුල්ගනේගෙ ප්‍රසංගයක් තිබුණා. එය රසවිඳින්න විශාල පිරිසක් පැමිණ සිටියා.