අද වන විට කුඩා වයසේ පටන් මහලු විය දක්වාම මිනිසුන්ට ඇති නිර්මාණ ශක්තිය පිළිබඳව බොහෝ දෙනා වටහාගෙන ඇත. මේ හඳුන්වාදීමට උත්සාහ දරන්නේද එවැනි විශිෂ්ට නිර්මාණ ශිල්පියෙකි. Fabian Florin නම් වූ මෙම නිර්මාණකරුවා එක් ආදේශකයකට පමණක් සීමා නොවී සිය හැකියාවන් විදහා දක්වන්නෙකි. ඔහු කුඩා කඩදාසියේ සිට විශාල ගොඩනැගිලි පවා තම නිර්මාණ හැකියාවෙන් සිතුවම් කරනු ලබන්නෙකි.
1982 වර්ෂයේ උපන් ඔහු baneartworks නමින් තමන්ගේම ආයතනයක් පවත්වාගෙන යනු ලබයි. එහි සේවකයන් නොමැති අතර, එහිදී කලා විෂය පිළිබඳව දරුවන්ට අධ්‍යාපනයද ලබාදෙනු ලබයි. Fabian Florin විසින් තම ව්‍යාපාරය ලෙස කරනු ලබන්නේ ව්‍යාපාරික ස්ථානවල සිතුවම් ඇඳීමයි.
ඊට අමතරව චිත්රද සිතුවම් කරනු ලබයි. තම කුඩා කාලයේ සිටම ඉගෙනීම පසෙක තබා නිර්මාණකරණය පිළිබඳව අත්හදා බැලූ ඔහු අද ලෝකයේ දක්ෂතම කලාකරුවන් අතර සිටින්නෙකි. ස්විට්සර්ලන්තයේ Chur Küsntler ප්‍රදේශයේ ජීවත්ව ඇති ඔහු Thalwil ප්‍රදේශයට පැමිණෙන්නේ ව්‍යාපාරයක් ආරම්භ කිරීමේ අරමුණෙනි. ඉන්පසු ඔහු තම නිර්මාණ හැකියාවට වඩාත් ගැළපෙන රැකියාව ලෙස ආරම්භ කරන්නේ 'ටැටූ' ගැසීමයි.
එහිදී තම හැකියාව නිසාම ඒ සඳහා ඇති ඉල්ලුම වඩාත් වැඩි වෙද්දී ඔහුට සිය රැකියා ස්ථානය ලස්සන කිරීමට අදහසක් පහළ විය. ඉන්පසු තම ව්‍යාපාරික ස්ථානය තිබුණු ගොඩනැගිල්ල වර්ණවලින් සිතුවම් කරන ලදී. එම කාර්යය අවසන් වූ පසුව එතැනින් ගමන් කළ ගෘහනිර්මාණ ශිල්පියෙකු විසින් මොහුව මුණ ගැසී ඇති අතර, එතැන් පටන් ඔහුගේ ජීවිතය වෙනස් වූ බව සඳහන් කර ඇත.
එම ගෘහ නිර්මාණ ශිල්පියා විසින් ලබාදුන් පළමු ව්‍යාපෘතියෙන් පසුව ඔහු තමන්ගේම නිර්මාණකරණ ආයතනයක් ආරම්භ කරන ලදී. ඉන්පසු එම රටේ බොහෝ ගෘහනිර්මාණ ශිල්පීන් විසින් මොහුට එක් එක් ව්‍යාපෘති ලබා දී තිබේ. මේ වනවිට එරට ගෘහ අලංකරණයට මොහු නැතිවම බැරි පුද්ගලයෙකු වී හමාරය.